වෙරි මරගාතේ , නිදි මරගාතේ පාර්ලීමේන්තු පැමිණ රම්බෝ සහ විනෝද සමය පෙන්වන අපේ මන්ත්‍රීවරු

නූතන ප්‍රජාතන්ත්‍රවාදය අනුව බලයේ කේන්ද්‍රය පුරවැසියන්ය. පරමාධිපත්‍ය ජනතාව සතුය වැනි බර වචන වලින් හදුන්වන්නේද ඔය කතාවමය. පුරවැසියන් සියල්ලට පාලකයන් විය නොහැකි නිසා ඔවුන් වෙනුවෙන් පාලනය ගෙන යාමට නියෝජිතයන් පිරිසක් පත් කර ගැනීම සිදු වෙයි. ඒ අනුව ඔවුන් ජනතා මුදලින් ඔවුන් නඩත්තු කරන්නෝය. ජනතාව සහ රට වෙනුවෙන් සේවය කිරීම ඔවුන් විෂයේ  අත්හල නොහැකි වගකීමකි. නමුත්  මෙසිරි ලංකාවේ   මහජන නියෝජිතයන්ගේ  හැසිරීම ලෝකයේ පැරණිතම වෘත්තියටත් වඩා අන්තය . දේශපාලනය තක්කඩින්ගේ සූදුවක් බවට පත්ව ඇත.

ඝනපූරණය නොමැතිවීම නිසා පාර්ලිමේන්තුව ඇණ හිටීම

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට අපොහොසත් වීම  නිසා අන්ඩුවට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංගය අද විවාදයට ගැනීමට නියමිත විය නමුත් දවස මුළුල්ලේම නියමිත ඝන පූරණය නොමැති වීම නිසා පාර්ලීමේන්තුවේ කට යුතු පවත්වාගෙන යාමට නොහැකි විය. පාර්ලිමේන්තු සභාව පවත්වාගෙන යාමට මුලාසනයේ මන්ත්‍රිවරයාද ඇතුළුව මන්ත්‍රිවරුන් 21 දෙනෙක් අවම වශයෙන් සිටිය යුතුය.ඝන පූරණය නොමැතිව පාර්ලීමේන්තුව ඇණහිටි අවස්ථා එමටය. පාර්ලිමේන්තු රැස්වීමක් පවත්වන දිනක වියදම රුපියල් ලක්ෂ 257 කට ආසන්නය.  බොහොමයක් මන්ත්‍රීන් පාර්ලීමේන්තු එන්නේ ”අවාරෙට පොල් වැටෙනවා සේය ”. එපමනක් නොව බොහෝ මන්ත්‍රීවරුන් තමන්ගේ කථාව පැවැත්වීමට සුළු මොහොතකට පෙර පැමිණෙන අතර එය ඉවර වූ විගස සභාවෙන් පිටතට යයි. තවත් සමහරෙක් පැමිණීම සලකුණු කර කැන්ටිමෙන් දන් වළදා පැමිණීම වෙනුවෙන් ගෙවන  2500ද ‍රැගෙන පිටව යයි.

රම්බෝ පරයන සටන් ජවනිකා සහ අනෙස්ලි බර්ටි පරයන විනෝද ජවනිකා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් ද දෙනු ලබයි. ඊට අමතරව ඉන්ධන දීමනාවක්ද හිමි ය.  ජංගම දුරකතන සඳහා මසකට රුපියල් 50,000ක දීමනාවක්  හිමි ය . වසරකට රුපියල් 175000ක මුද්දරද ලබා දෙයි. මීට අමතර තවත් දීමනා ගනනාවක් ඔවුන්ට හිමිය. නමුත් මේ සියල්ල ලබා ගන්නා ඔවුන් වැඩිමනක් කල් ගෙවන්නේ නයිට් ක්ල්බ් වලය.ඩීල් දමන බිස්නස් කරන සහ කප්පම් ගන්නා ම‍ෆියා කරුවන්ද පාර්ලීමේන්තුවෙ හිග නැත .හැට පැන හොට බිම ඇනුණු 72 දෙදෙනෙකු එහි ඇත. කොකේන් ගහන උන්ද එහි ඇත .  නාරි මාංශයට ඇබ්බැහි වූ ව්‍යාග්‍රාවුන්ද සුලභය . සමහරුන්  ‍රැය පහන් කරන්නේ මත් වතුර පිරි සාද වලය. අවසානයේ  වෙරි මරගාතේ , නිදි මරගාතේ පාර්ලීමේන්තු එන්නෝය. ඉනික්බිති රම්බෝ පරයන සටන් ජවනිකා සහ ඇනෙස්ලි බර්ටි පරයන විනෝද ජවනිකා රග දක්වන්නෝය.

වසර 5ට දෙවතාවක් කට සොලවා ජීවිතාන්තය පුරා භුක්තිවිදිය හැකි  විශ්‍රාම වැ‍ටුපක් ලැබීම

පාර්ලිමේන්තු වාද විවාද නාඩගම් මඩුවක් වී හමාරය. දේව දූතයන් පය නොගසන තැන්වල මෝඩයන් පිනුම් ගසනවා කියා කථාවක් ඇත. අද යුගයේ දැවන්තම අර්බුධය බවට පත්ව ඇත්තේ නායකයන්ගේ හිග කමය .  එදා ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක,  ලක්ෂ්මන් කදිර්ගාමර් වැනි දැවැන්ත පෞරුෂයන් සහිත කථිකයන්ගේ වාදවිවාද දෙස මුළු රටම බලා සිටියෝය . ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙනුයේ මාස තුනකට එක් වතාවක් පමණි. එසේ එන්නේද ජන්තාව ගැන කථා කිරීමට නොව තම මන්ත්‍රී ධූරය අවලංගු වීම වලක්වා ගැනීමටය . ඇතැමුන් මුළු පාර්ලිමේන්තු කාලයටම සභාව අමතා ඇත්තේ වතාවක් හෝ දෙකකි. වසර 5ට දෙවතාවක් කට සොලවා ජීවිතාන්තය පුරා භුක්තිවිදිය හැකි  විශ්‍රාම වැ‍ටුපක්ද ලබන්නෝය

By තුෂාරා වන්නිආරච්චි