පිපෙන මල් තලා පොඩිකල දැමිය හැකි මුත් වසන්තය එලඹීම නවතාලිය නොහැක

ජනමතය නිදා සිටින සිංහයෙකු වැනිය . දේශපාලනය ගනන් ඉලක්කම් වලින් පුරෝකථනය කිරීම දුෂ්කර එහෙයිනි. 2020  අතිශය  තීරණාත්මකය. අතෙකින්  ජනපති සටනට වඩා අපේක්ෂකයා ‍තෝරන සටන උණුසුම්ය. එය දෙපාර්ෂවයටම පොදු තත්වයකි. අපේක්ෂකයා තේරීමේදී ගෝටාභයට කරට කර සටනක් දීමට චමල්, ජී.එල්, ශිරන්ති සූදානම්ය . නමුත් රාජපක්ෂලා කවරෙකු පැමිනියද සුළු ජාතිකයන් දිනාගත නොහැක. පවතින තත්වය අනුව සුළු ජාතික චන්ද වලින් තොරව ලංකාවේ මැතිවරණ ජයගැනීම දුෂ්කරය. සුළු ජාතික ඡන්ද අහිමි කරමින් මහින්දට වල කැපුවේ අන් කිසිවෙකු නොව විමල් ගම්මන්පිල වැනි එදාවේල දේශප්‍රේමීන්ය. ඊට ගෝටාගේ සහයෝගයද  නොඅඩුව ලැබුණි.

කොක්කෙන් බැරිනම් කෙක්කෙන් වැඩේ දීම

සුළු ජාතිකයන් දිනා ගැනීමට රාජපක්ෂලා නොගත් උත්සාහයක් නැත. ඔවුන්ගේ තියරිය වූයේ හොදින් හෝ නරකින් සුළු ජාතිකයන් තමන් වෙත නම්වා ගැනීමය . කොක්කෙන් බැරිනම් කෙක්කෙන් වැඩේ දීමය. ඔවුන් මහනුවර ප්‍රහාරය සැලසුම් කළේ ඒ වෙනුවෙනි. මහනුවර ප්‍රහාරයේ එක් අරමුණක් වූයේ අළුත්ගම  ප්‍රහාරය තනූක කිරීමය .අනෙක  ගෝටා අනුග්‍රහය දැක්වූ ජමාත් මුස්ලිම් සංවිධාන අවි ගන්නා තැනට පත් කිරීමය. මහනුවර මුස්ලිම්  ප්‍රහාරය එල්ල වූයේ  සිරා-මරා ජෝඩුව මධු සමය ගතකරන අතරතුරය. ඔක් 26 නොමේරු දරුවා බිහි කලේ ඒ අනුවය. පාස්කු ප්‍රහාරයද අන් කිසිවක් නොව රාජපක්ෂලා වැදූ දරුවෙකි. ගෝටා 2018 රාමදාන් මාසයේ ඉෆ්තාර් පාටි සොය සොයා ගීයේය , මෙවර රාමදාන් මාසයේ මුස්ලිමුන් කරකවා අත ඇරියේය .

මුස්ලිම් සාධකය සහ මැතිවරණ

1977 සිට 1994 තෙක් ශ්‍රීල.නි.ප.යට මැතිවරණ දිනීමට නොහැකි වූයේ සුළු ජාතික ඡන්ද ලබා ගැනීමට වැඩපිළිවෙළක් නොවූ නිසාය. 1994දී චන්ද්‍රිකා  එම තත්වය වෙනස් කරමින් මැතිවරණය ජය ගත්තාය .1994දී ආණ්ඩුවක් පිහිටුවූවේ අශ්රොෆ්ගේ මුස්ලිම් කොංග්‍රසය නිසාය. චන්ද්‍රිකා දෙවන වරටත් මුස්ලිම් කොංග්‍රසයේ සහායෙන් ආණ්ඩුවක් පිහිට වූවාය. 2001දී  ආන්ඩුව ඇතුලතින්  චන්ද්‍රිකාට එරෙහිව කුමන්ත්‍රනයක් දියත් විය. එස්.බී, තිංලග ප්‍රමුඛ කුමන්ත්‍රණකරුවන් මුස්ලිම් ජනයා ආන්ඩුව කෙරේ බිද වූහ. ඔවුන් මාවනැල්ලේදී  මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රහාරයක් එල්ල කොට එය චන්ද්‍රිකාගේ ආන්ඩුව පිට දැමූහ. මුස්ලිම් මන්ත්‍රීන්  ආන්ඩුවෙන් ඉවත් වීමත් සමග චන්ද්‍රිකාගේ රජය අවසන් විය.

දේශප්‍රේමය වවාගෙන කෑමට ගොස් කෙලවාගත් මහින්ද

‘2002 පැවති මැතිවරණයේදී මුස්ලිම් සාධකය යලි තීරණාත්මක විය. මැතිවරණ දින උඩතලවින්න  දස පුද්ගල ඝාතනය වාර්තා විය. ඝාතනය වූ සියලු දෙනා මුස්ලිම් ජාතිකයන් විය. ඝාතකයා  වූයේ චන්ද්‍රිකාගේ මාමා වූ රත්වත්තේය. මාවනැල්ල සහ උඩතලවින්න ප්‍රහාර නිසා මුස්ලිම් ජනයා රනිල් වෙත සමීප විය. රනිල් 2002 මැතිවරණය ජය ගත්තේය. 2005 වසරේ ශූක්ෂමව උතුරේ සුළු ජාතික හැසිරවූ මහින්ද ජය ගත්තේය. යුධ ජයග්‍රහනයේ ප්‍රතිරූපය නිසා 2010 මැතිවරණයේදී සුළු ජාතික චන්ද මහින්දට නොවැදගත් විය. නමුත් දේශප්‍රේමය වවාගෙන කෑමට ගොස් මහින්ද කෙලවා ගත්තේය . මහින්දට එවැනි ඉරණමක් අත්වූයේ ඔහු වටා අරක්ගත් පාංගූ පිශාච දේශප්‍රේමීන් නිසා ය.

මොහු කවුද ? මොකද කරන්නේ? ඔහුට පුලුවන්ද ?

පොහොට්‍ටුවේ මෙන්ම එ.ජා.ප තුල අපේක්ෂකත්ව තරගයක් ඇති බව නොරහසකි. නමුත් එ.ජා.ප අපේක්ෂකයා නම් කිරීම පොහොට්‍ටුවට තරම් උභ‍තෝකෝටිකයක් නොවේ. ජනපති අපේක්ෂක තරග කරුවන් අතර සජිත්ගේ නමද ඉහලින්ම කියවෙන බව නොරහසකි . මංගලගේ දේශපාලනයේ වසර 30 සැමරුමට  පැමිණි ආර්. සම්බන්ධන්  සජිත් ගැන වැදගත්  හෙළිදරව්වක් කලේය . ඔහු සජිත්ට අකමැති බව මංගලගේ මූනටම කීවේය. ජ.වි.පෙ ද සජිත් සමග කිසිදිනෙක එකට සිට ගන්නේ නැත . මක්නිසාදයත් දහස් ගනන් තරුණයන් ටයර් සෑ මත යැව්වේ සජිත්ගේ පියාය. කිසිම මුස්ලිම් දේශපාලකයෙකු මේ දක්වා සජිත්ට පක්ෂව වචනයක් කතා කොට  නැත. එක්සත් ජාතික පක්ෂයට 2020 අවශ්‍යව ඇත්තේ දිනන අශ්වයෙකි. එ.ජා.ප සම්බන්ධ අනෙකුත් පක්ෂ වල සහයෝගය ලබා ගෙන ජයග්‍රහනය කල හැකි අයෙකි. එකී පුද්ගලයා සජිත් නොවන බව සක්සුදක් සේ දැන් පැහැදිලිය.

පක්ෂය වෙනුවෙන් බෙල්ල දුන් විරුවන්

ජනවාරි 8 සිදුවූයේ විප්ලවයකි. රාජපක්ෂලා ජනයාට අල්ලස් දුන්හ. සෑම ලයිට් කනුවකම මහින්දගේ කටවුට් එකක් එල්ලූහ.නමුත් ජනයා රාජපක්ෂ පාලනය පෙරළා දැමූහ. සිතූ දේ එලෙසින්ම නොම විය . ජාතියේ අවාසනාවට  විප්ලවයේ නායකත්වයට පත්කල ” සිරිසේන” ද්‍රෝහියෙකු විය. 62 දෙලක්ෂයක බලාපොරොත්තු සුනුවිසුනු කල සිරිසේන විප්ලවය පාවා දුන්නේය.  අහිමිවූ විප්ලවය ජය ගැනීමට නායකයන් මෙන්ම සාමාජිකයන් කල කැප කිරීම බොහෝය. රවි කරුණානයක භූමිකාව එවැන්නකි. සිරිසේන එ.ජා.පට පහරදෙන විට  උපන්දා සිට රජවීමට සූදානම් පුතුන් නෑසු කන්ව සිටියද රවී ක්‍රියාත්මක විය ‘‘මට දඬුවම් දෙන්න, ඉතිහාසය විසින් මා නිදොස්‌ කොට නිදහස්‌ කරනු ඇත’’ ඓතිහාසික ප්‍රකාශය අනුව ගිය ඔහු පක්ෂය ‍ වෙනුවෙන් සිය බෙල්ල දුන්නේය.  

ලබැදි එජාප සොයුරු සොයුරියනි,  මව් බිමේ නාමයෙන් සටන්කාමී ධජය වැලදගත යුතු හෝරාව එලඹ ඇත

සියළු බාහිර අභ්‍යන්තර කුමන්ත්‍රය පරාජය කරමින් දැවන්ත හස්ථිරාජයකු සේ එජාපය  සංග්‍රාම භූමියට ආපන්න වී ඇත. රනිල්ගේ නායකත්වයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ නමින් පුලුල් සංධානයක් ගොඩ නගා අවසන්ය. එහි ජාතික සංවිධායක ධුරයට රවී කරුණානායකත්,  විධායක තනතුරු වලට චම්පික සහ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාත් පත් කිරිමට නියමිතය. ලබැදි එජාප සොයුරු සොයුරියනි දැන් අප යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක සමග නැගී සිටිය යුතුව ඇත. එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස දේශමාමක ජන පවුරක් ගොඩ නැගිය යුතුව ඇත. ජාතියේ දුවා දරුවන්ගේ  මුවේ මැවෙනා  සිනහව ‍රැදෙනුයේ අපගේ දෑත් මතය ‘සවිමත් හෙටක් බලවත් රටක්’ මෙහෙයුමට උරදිය යුතු හෝරාව පැමින ඇත. මව් බිමේ නාමයෙන් සටන්කාමී ධජය වැලදගත යුතු හෝරාව එලඹ ඇත.

චිරං ජයතු ලක් මව්නි ගරු  –

ජයෙන් ජය –  ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’

By තුෂාරා වන්නිආරච්චි