නිම්නයක් වැවක් කළ භරණලා සහ කොමිස් කුළුණ හැදූ රාජපක්ෂලා

කාගම සිරිනන්ද හිමි කොයි කාගේත් ආදරය  දිනා ඇති  හිමි නමකි. මෑතක සිදු කල දේශනයකදී  උන් වහන්සේ අපූරු කථාවක් කීවේය. ඒ රාජ්‍ය සේවය සහ රාජ්‍ය සේවකයා පිළිබදවය .කලාවැව සහ අවුකන පිළිමය හෑදූ  ඉන්ජිනේරුවා වූයේ භරණ නම් වූ අයෙකි . හෙලයේ නිර්මාන අතර මුදුන් මල්කඩ  අවුකන පිළිමය සහ කලා වැව යයි පැවසීම අතිශයොක්තියක් නොවේ.මේ මහා නිර්මාන කල රාජ්‍ය ඉංජිනේරුවා දිවි ගෙවූයේ කලා වැව අස බඩ කුඩා පැල්පතකය. ඔහු සතුව මාලිගා තිබුනේ නැත.භෞතික සැපසම්පත් වලින්  දුප්පතෙකු වූ ඔහු  අධ්‍යාත්මිකව මහා ධන කුවේරයෙකු වූයේය. තමා රටට  කළ සේවාව පිළිබද පොහොසත් ආවර්ජනයක් ඔහු සතු විය . 


කාගම සිරිනන්ද හිමි රාජ්‍ය සේවය පිළිබද කී කථාව 


එදා රාජ්‍ය සේවකයා එසේ වුවද අද රාජ්‍ය සේවකයාගේ ස්වරූපය ඊට හාත්පසින් වෙනස්ය. යම් හෙයකින් අද රාජ්‍ය සේවකයෙකුට කලාවැව වැනි නිර්මානයක් කිරීමට බාර දුන හොත් කලාවැව පොල් කට්ටක් තරම් වනු ඇති බවත් රාජ්‍ය සේවකයන්ගේ නිවෙස් කලා වැව තරම් වනු ඇති බව කාගම සිරිනන්ද හිමි කීවේය . ඊයේ විවෘත්ත කල නෙළුම් කුලුනේ ගිවිසුම අත්සන් කරන විට  රාජපක්ෂලා කෝටි 200ක් ගසා කෑ ආකාරය සිරිසේන රටට හෙලි හෙළි කළේය. එම කථාවෙන් අද රාජ්‍ය සේවකයාගේ සහ පාලකයන්ගේ තරම මොනවට පැහැදිලි වෙයි


භරණ නැමති රාජ්‍ය සේවකයා දුන් පරමාදර්ශය 


 අද ලෝකය  දුවන්නේ රැස්කිරීම රජවූ ධනවාදි ක්‍රමයක් තුලය. එකී ක්‍රමය තුල නිම්නයක් වැවක් කළ කළු ගල් වලට පන දුන් භරනලා  දුලබය . නමුත් භරණලා පහල නොවන්නේ නොවේ . කලාතුරකින් පහල වන එවන් යුග පුරුෂයන් ස්වකීය මෙහෙවර ඉ‍ටු කොට නිහඩවම නික්ම යති. ඔවුන් සියලු ගැහැට වින්දේත් පීඩාවන් දරා ගත්තේත් මිනිසුන් වෙනුවෙන් බව මිනිසුන් අවබෝධකොට ගන්නේ කාලයේ වැලිතලාව බොහෝ දේ සඟවා ගත්තාට පසුවය. නුවර කලාවියේ කලාවැව තැනීමට මුල්ගල තබන විට භරණ 74 වියැති වූයේය.  කලා වැව සහ අවුකන පිළිමය තනා නිම කරන විට භරණ 85 වියැති ජ්‍යෙෂ්ඨයෙකු විය. එදා භරණගේ වයස පිළිබදව මිනිසුන් වද වූයේ නම් අද කලාවැවක් හෝ අවුකන පිළීමයක් මිහිපිට නොමැත.

 නායකයා යනු කවරෙක්ද ?


වරක් අබ්දුල් කලාම් නායකයා ගැන අපූරු කථාවක් කීවේය. ඉන්දීය රොකට්‍ටුවක් හදට යැවීමේ ව්‍යාපෘතිය  භාරවූයේ සතීෂ් ධාවන් සහ අබ්දුල් කලාම් වෙත.  සතීෂ් ධාවන් ව්‍යාපෘතියේ නියමුවා විය. 1979 දී ”චන්ද්‍රයාන් 1” රොකට්‍ටුව ගුවන්ගත කළේය . නමුත් පෘතුවියෙන් මිදී විනාඩි කිහිපයකදී රොකට්‍ටුව පුපුරා ගියේය. ව්‍යාපෘතියේ නියමුවා වූ සතීෂ් ධාවන් මාධ්‍ය හමුවක් පැවැත් වූයේය . තනිවම මාධ්‍ය හමුවට පැමිනි ඔහු ව්‍යපෘතිය අසාර්ථක විමේ සියළු වගකීම බාර ගත්තේය.ඉන් වසරකට පසු එම කන්ඩායම විසින් සාර්ථකව චන්ද්‍රයා වෙත රොකට්‍ටුවක් යැවීමට සමත් විය.ඉන්දීය ජනයා  ජයග්‍රහනය ගැන  ආනන්දයට පත්ව සිටියහ. නොබෝ දිනකින් සදගමනය ගැන මාධ්‍ය හමුවක් පැවැත්විණ . සතීෂ් ධාවන් අබ්දුල් කලාම්ට සහ ඔහුගේ කන්ඩායමට මාධ්‍ය හමුවට  යන ලෙස කීවේය, ඔහු මාධය හමුවට ආවේ නැත . සතීෂ් ධාවන්  නායකයා කෙසේ විය යුතුද කියා ප්‍රායෝගිකව කියා දුන්නේය . පරාජයේ වගකීම තනිව බාර ගත්තේය . ජයග්‍රහනයේ ගෞරවය කන්ඩායමට දුන්නේය . 

අපේ කාලයේ පරමාදර්ශී නායකයා


අප 2009 වසරේ සිදුවූ යුධ ජය ග්‍රහනයේ  සාක්ෂි කරුවන් වෙමු. එකී විජයග්‍රහනයට දායක වූ පාර්ශව බොහොමයකි.  යුද්ධයේ තීරණාත්මක හෝරාවේදී  මහින්දගේ ආන්ඩුව වැටෙන්න යන විට  යුධ පෙරමුණට ශක්තිය දුන්නේ කරු ජයසූරිය විසිනි. කරුගේ  දේශපාලන තීන්දුව නොවන්නට අප මේ කියවන ඉතිහාසය මීට වඩා වෙනස්ය. එදා සතීෂ් ධාවන් මෙන් කරු ජයසූරියද අනතුරු සහිත අවස්ථාවෙදී පෙරට ආවේය. ජයග්‍රහන්ණය හමුවේ නිහඩ වූයේය . යුධ ජයග්‍රහනය රාජපක්ෂලා තනිව ලියා ගත්හ , නමුත් නමුත් කරුලා රට වෙනුවෙන් නිහඩව සිය යුතු කම ඉ‍ටු කොට නිහඩ වූහ

පසුගිය වසරේ   ඔක්තෝබර් ඇතිවූ දේශපාලන ව්‍යාකූලත්වයේදී කරුගේ එඩිතර බව සහ නායකත්වය යලිත් කරලියට පැමිණියේය. තීරණාත්මක නිමේෂයේදී කරු ස්වකීය භූමිකාව නිර්භීත ලෙස ඉටු කළේය. එය  මහා පෞරුෂත්වය ඔද වැඩුණු භූමිකාවක් විය. තවත් විටෙක, වීරත්වයේ පුරාවෘත්තයක් විය.  නිර්භීත එඩිතර අවංක නිවැරදි තීන්දු තීරණ නිසා දැවැන්ත විනාශයක් රට තුළ වළක්වා ගැනීමට හැකි විය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද කථානායකතුමාගේ තීන්දුව නිවැරදි බව තහවුරු කරනු ලැබීය. 

පට්ටන්දර වලින් හිස උදුම්මා නොගෙන රටට වැඩක් කළ අසිරිමත් මිනිසා


  ‘ජයග්‍රහනයේ ගෞරවය සහ ආනන්දය  සටන් සගයන්ට ලබා දෙන්න, එහෙත් අභියෝගයන් සහ අනතුරු අභිමුවෙහිදී හැමවිටම පෙරමුණ ගන්න”.  අසමසම ඉන්දීය පුත්‍රයෙකු වූ අබ්දුල් කලාම් නායකයා පිලිබද කීවේ එවන් කථාවකි.  ‘දෙයක් වේ නම්, සුදුස්සාටම එය ලැබිය යුතුය’   මෑතකදී අබ්දුල් කලාම් විද්‍යායතනයෙන් පිරිනමන “Pride Of Asia” (ආසියාවේ අභිමානය) සම්මානය    කරු  වෙත පිරිනමනු ලැබීය. කරු ජයසූරිය වෙත  එම සම්මානය හිමි වූයේ  ඔහුගේ නායකත්වය ඇගයිමක් ලෙසිනි.  රටක රාජ්‍ය සේවකයන් සහ දේශපාලකයන් ඕනෑ තරම් සිටිති. දුර්ලභ වන්නේ අවංක සහ දක්ෂ පුද්ගලයන්ය . කරු ජයසූරිය යනු එවැනි අවංක සහ දක්ෂ දේශපාලකයෙකි. කරු යනු  ධනයේ සහ බලයේ පට්ටන්දර වලින් හිස උදුම්මා නොගත්  අසිරිමත් මිනිසෙකි.   ඒ හැමටමත් වඩා ජන දුක හදුනන අවංක වැඩක් කළ හැකි ජන නායකයෙකි.  

කරුගේ දේශපාලන පරිචය  

නුවර කලාවියේ යසට හැදුන වැඩුණ කුඹුර පෝෂණය කිරීමට ඇළ දිගේ පැමිණි වතුර වැවට අයත් බව වැවේ හිමිකරු කිසිදින කියා නැත. අස්වැන්න කපා ගෙට ගන්නා ඔවුන් වැව තැනූ ”භරණ” ගැන කිසිවක් කියන්නේ නැත . කිසිදින එසේ කියනු ද නැත. ඇළ ද වී කරල්වලට එය නොකියනු ඇත. එහෙත්, වැව් මහා විශාලයි. නිහඬයි. ගැඹුරුයි.කරුගේ දේශපාලන පරිචයද එවැනිය.

One thought on “නිම්නයක් වැවක් කළ භරණලා සහ කොමිස් කුළුණ හැදූ රාජපක්ෂලා

  1. සමුද්‍රාදේවී මොණරවිල

    - Edit

    එකක් ගැන පමණක් කියමි.භරණ නම් සිංහල බෞද්ධයාට ඔබ සිත ගත් මහළු වැඩිහිටියන් සම කල නොහැක.භරණ සේවය කලේ තම ජාතිය ආගම හද තුල රුවා ගෙනය.දයාබර සොයුරිය සංවේගයෙන් කියමි…ඔබ කුමන දේශපාලන පාක්ෂිකයෙකු දිරිමත් කලද වත දුටු සැණින් නම දුටු සෑණින්…මගේම බව දැණුනි ! ත්‍රිවිධ හමුදා පොලීසිය ඇතුළු ආරක්ෂක පද්ධතිය අති දක්ෂ සෙබළුන් හා අණ දෙන්නන් ගෙන් පිරී තිබුණද පලක් නොවිණි.ජනපති අණ වැනෙමින් තිබුණි. දහස්ගණන් සෙබලුන් සිවිල් වැසියන් පමණක් නොව ඉන්දියාවේ පාලකයා පවා ත්‍රස්තවාදීන් ගොදුරු කරගත් බව අදාල නැත මතකද නැත… මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා “යුද්ධය අවසානය දක්වාම කරන්න” යන අණ නුදුන්නා නම්… රටට ජාතියට ආගමට ආදරය ඇති පරම්පරානුගත සිංහල බෞද්ධ නායකයෙකුට මිස එම අණ සෘජු ව දිය නොහැක.ව්‍යවස්ථාව බොරුවෙන් හොරකමෙන් කුමණ්ත්‍රණයෙන් සහ අපරාධයෙන් රට ජාතිය ආගම විකුණන් කමින් සුර සැප විඳින යහපාලකයින් ගන්නා විටත් කීවේ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුර්ණ විධායක බලතල සහිත ජනාධිපති වරයා පරම්පරානුගත සිංහල බෞද්ධයෙක් වීම අනිවාර්ය බවයි. මහජන මුදලින් යැපෙන සියළු පාර්ලිමේන්තු සාමාජිකයන්ට අපි ගරු කරමු.මන්ද ජනතාව අගරුවෙමින් ඔවුන් ගරු කොට ඇති නිසා. සූරියකන්ද මිනී ගොඩ අදිද්දී ඩිංගිරි බණ්ඩා විජේතුංග කිරි අත්තා චන්ද්‍රිකා කුමාරතුංග අතිගරුජනාධිපතිතුමියට කීවේ “දුවේ ඕවා වෛරයේ ගිනි දැල්.ඇවිලෙන්න නොදී නිවා දමන්න” කියලායි. ඔබ ස්වාධීන දක්ෂ ගුණ නුවණ ඇති ලේඛිකාවක් නම්… 225 දෙනාගේම හොඳ ලියන්න. ඔවුන්ට චන්දය දුන් අය කුලල් කා ගැනීම ත්වරණය කිරීමට අවශ්‍ය නම්… නරක ලියන්න. ගරු වචනයේ ගෞරවය ට හානි නොකරමින් සේවය කිරීමට බැරිනම් ඉල්ලා අස්වීම ලොකුම සේවය බව සියළු පාර්ලිමේන්තු සාමාජිකයන්ට සිහි කරමින්… රාජපක්ෂ පවුලට නින්දා අපහාස කිරීම ගැන යලි යලිත් සිතන ලෙස කාරුණිකව ආයාචනා කරමින් මම ඔබ වෙබ් අඩවියේ, මගේ ප්රථම සටහන අවසන් කරමි. අපක්ෂපාතීව නිවැරදිව නීතිගරුකව සත්‍යතොරතුරු පමණක් අසරණ වූ මහජනතාව වෙත ගෞරවයෙන් ඉදිරිපත් කිරිමට ඔබට ගුණ නුවණ ලැබේවා ! යි අවංකව ම පතමින් මම නවතිමි දයාබර සොහොයුරියනි. ඔබට බුදු සරණයි !

Comments are closed.