මෙවර මැතිවරනයේ ජයග්‍රාහකයා කවුද ?

මෙවර ජනධිපතිවරණයේ ඡන්දය දීමට ලක්ෂ 160ක් සූදානමින් සිටියි. ඉන් 85%ක් ඡන්දය දීමට පැමිනෙනු ඇතැයි ගණන බලා ඇත (එනම් ලක්ෂ 136කි) . ප්‍රධාන අපේක්ෂක මුහුණු අළුත් වීම උනන්දුව වැඩි වීමට එක් හේතුවකි.රට භූදේශපාලනික වශයෙන් තීරණාතමක කඩ ඉමකට පැමින සිටීම තවත් හේතුවකි. ලක්ෂ 136ක් චන්දය ප්‍රකාෂ කරන පසුබිමක ජයග්‍රාහකයා ලක්ෂ 68 වත් ලබා ගත යුතු වෙයි. අනුර ජවිපෙ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම නිසා   ”කැම්පේන්” එක ආරම්භ කරන විටම සජිත්ට ඡන්ද ලක්ෂ 5ක් අහිමිව ගියේය. ගෝටා පරාජය කිරීම පොදු යුතුකමක් බව සහ ජවිපෙ ඒ හා එක්වනු ඇතැයි සජිත්වාදීන් බලා සිටියි.

ජවිපෙ දේශපාලන බල මණ්ඩලයේ තීන්දුව

ජවිපෙ යනු ” තින්ක් ටෑන්ක්” එකකින් සමන්විත පක්ෂයකි. අනුර ජවිපෙ  අපේක්ෂකයා ලෙස නම් කලේ එහි අනුමැතියෙනි. අනුර අපේක්ෂකයා කළේ මෙවර මැතිවරණයේ ඔවුන්ගේ භූකිකාව කවරක්ද යන්න නිෂ්චිතව හදුනා ගැනීමෙන් අනතුරුවය. සරළව කිව හොත් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කරවන්නේ  කවුරුන්ද යන්න ජවිපෙ විසින් තීන්දු කොට හමාරය. නමුත් ජවිපෙ දේශපාලන බල මණ්ඩල කථා ඉස්පිල්ලක් හෝ ”ලීක්” නොවන තරම් රහස්‍යයය. කරුණු එසේ හෙයින් මෙවර මැතිවරණයෙදී ඔවුන් දිනවන්නේ කවුරුන්ද යන්න තාර්කිකව විමසා බැලිය යුතු කරුනකි.

සජිත් ජයග්‍රහනය කළහොත් ජවිපෙට අත්වන ඉරණම

යම් හෙයකින් සජිත් ජයග්‍රහණය කළහොත්  එජාපය වසර 10ක පාලනයකට හිමිකම් කියයි. ඒ අනුව  ඊලග මැතිවරණය පැවැත්වෙන්නේ 2025 දීය. එජාපය පළමු වාරයේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමුවේය. හම්බන්තොට වරාය විකුන්ණේය. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට කැබිනට් අනුමැතිය දුන්නේය . පළමු ඉණිමේ  පිති හරඹය එසේ නම්  දෙවැනි ඉණිම  ගැන සිතා ගත හැක. ඒ අනුව 2025 මැතිවරණය පැමිනි විට එජාපය  පරාජය කිරීමේ වගකීමෙන් ජවිපෙට පලා යා නොහැකි වනු ඇත. එනම්  ජවිපෙට රාජපක්ෂලා සමග එකට සිට ගැනීමට සිදු වනු ඇත. එනම් ජවිපෙ ”2030” සැලසුම  පසෙක තබා  යලිත් වරක් දේශපාලන ගණිකාවක් බවට පත් වීමකි.

ගෝටා ජයග්‍රහනය කළහොත් ජවිපෙට අත්වන ඉරණම

යම් හෙයකින් ගෝටා දිනුව හොත් එජාපය කෑලි කැඩීම නියතයකි. එජාපය යලිත් නාගරික බමුණු පැලැන්තිය සතු වනු ඇත. පක්ෂය රනිල් , රවි සතුවන විට  ග්‍රාමීය ජන පදනමට කථා කරන සජිත් එක්කෝ වැටන දේ කා සිටිය යුතුය නැත්නම් පක්ෂය හැර යා යුතුය. ජවිපෙ දැන්  සිටින්නේ තැටිය රත් වූ හොදම කාලයේය. ජවිපෙ ග්‍රාමීය ජනපදනමක් මත ගොඩ නැගුනු පක්ෂයකි. ගමේ ගොඩේ පොඩි මිනිසුන් එක්කොට හැදූ නිදහස් පක්ෂය අද අවසන් ගමන් ගොස් ඇත. දැන් පොඩි මිනිහාට කථා කරන සජිත් අවසන් ගමන් යැවිය හැකි හෝරාවට පැමින ඇත. රටේ දෙවන දේශපාලන බලවේගය වීමට සිහින දකින ජවිපෙ මෙම අවස්ථාව මග හැර යනු ඇතැයි සිතීමට හේතු නැත.

බලය සදහා වූ ගමනේ ජවිපෙට අනන්‍ය වූ සැලසුමක් ඇත

පාලන බලය ඇල්ලීම උදෙසා ජවිපෙ තරම් කැපකිරීම් කළ පක්ෂයක් ලංකාවේ තවත් නැත. එවන්  පක්ෂයකින් සජිත්වාදින් හෝ මහින්දවාදින් ” මුක්කුවක්” බලාපොරොත්තු වීම මහ පොළොවේ යථාර්ථය නොවේ. ජවිපෙ  සැලසුම ”2030 ”  දෙවන ප්‍රධාන දේශපාලන ධාරාව බවට පත් වීමය. ජවිපෙ භුමිකාව අවතක්සේරු කිරීම හෝ ” මුක්කුවකට ” සීමා කිරීම අනුවනකමකි. නිදහස් පක්ෂය සහ එජාපය අවසන් ගමන් යැවීමට ජවිපෙ දහ දැමුවේ අද ඊයේ සිට නොවේ. ගිණි අවි මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නූල් සූත්තර ඒ සදහා යොදා ගත්තේය. 1982 සිට සෑම  මැතිවරණකදීම ජවිපෙ අතිශය  තීරණාත්මක භූමිකාවක් ඉ‍ටු කොට ඇත.

ජවිපෙ ”වැඩ කිඩ” සහ නිදහස් පක්ෂය නැති කිරීමට දග දැමූ හැටි  

1982 දී ජවිපෙ සිය ප්‍රථම ජනපති අපේක්ෂකයා ඉදිරිපත් කළේය. එහිදි ප්‍රතිවාදියා වූයේ  JR ය. නමුත් ජවිපෙ ඉලක්කය වූයේ JR නොවේ. ජවිපෙ JR ගෙන් මුදල් ගෙන නිදහස් පක්ෂය අතුගා දැමීමට වැඩ කළේය. රාජ්‍ය මාධ්‍ය අනුග්‍රහයෙන් ‘ශ්‍රීලනිපයේ ගමනක අවසානය’ නමින් රැස්වීම් මාලාවක් පැවැත්වූයේය . 88දී ජවිපෙ ඩී.එම් ආනන්ද සහ සමන් පියසිරිගෙන් ලද සහාය ප්‍රේමදාස ජයග්‍රහණයේ ප්‍රධාන රහස විය. 1994දී ලිඛිත එකගත්වයකට අනුව ජවිපෙ සිය අපේක්ෂකයා ඉවත් කර ගත්තේය. ජවිපෙ ඒ හරහා බලවත් වලංගුභාවයක් චන්ද්‍රිකාට  ලබා දුන්නේය. 99-2005 කාලයේ ආන්ඩු හැදුවෙ , ආන්ඩු කැඩුවේ ජවිපෙ විසිනි.  ජවිපෙ නොවන්නට මහින්ද කෙනෙකු නැත . 2009දී  ෆොන්සේකා කරලියට ගෙනාවේ ජවිපෙ විසිනි. ජවිපෙ නොවන්නට ජන 8 විප්ලවය පුස්සකි.

එජාපය දිය කර හැරීමට දියත් කළ කුමන්ත්‍රණ

ජවිපෙ දග දැමුවේ නිදහස් පක්ෂය ඝාතණය කිරීමට පමනක් නොවේ. ”තම්බි මුදියන්සේ – රට පාවාදීමේ පුරෝගාමියා” යන පොත ලියුවේ ජවිපෙ ඉදිරි පෙලේ සාමාජිකයෙකි. එම පොතෙන් කියන්නේ  JRලා  රනිල්ලා ඉන්දියාවෙන් පැමිනි කල්ලතොනි දෙමළුන් බවය. ජවිපෙ රනිල් ආරක්ෂා කළේය. අනුරට රතු අලි පැටවා කියා නම් පවා පටබැදුනේය. නමුත් ජවිපෙ සැබෑ අරමුණ වූයේ රනිල් ආරක්ෂා කිරීම නොව පක්ෂයේ අභ්‍යන්තර ගැ‍ටුම තිව්ර කිරීමය. ඒ හරහා එජාපය දෙකඩ කිරීමය. රනිල් – සජිත් සටන තිව්ර වෙත්ම  රාජපක්ෂ කදවුරට එරෙහි පොදු අපේක්ෂකයා  අනුර යයි පිලිගන්නා තැනට එජාප පක්ෂිකයන් පවා මෙහෙයවා තිබුණි.

නිසැක ජයග්‍රාහකයා සහ ”ජවිපෙ 2030” සැලසුම

2019 ජනපතිවරණයෙදී පමනක් නොව ඊට පසුව සිදුවන ක්‍රියාදාමයෙදී ජවිපෙ භූමිකාව තීරණාත්මකය. මෙවර මැතිවරණයේදී සුළු ජාතික ඡන්ද වල වෙනසක් බලාපොරොත්තු විය නොහැක. එය  2015  දී හැසිරුණු ආකාරයටම සිදු වනු ඇත. ජයග්‍රාහකයා තීන්දු වන්නේ  පාවෙන චන්ද වලිනි. ජවිපෙට පාවෙන චන්ද ලබා ගත නොහැකි වුවද එහි දිශානතිය තින්දු කිරීමට විශාල බලපෑමක් කල හැකිය. ගෝටා පරාජය කිරීමට ජ්විපෙ සහයෝගය බලාපොරොත්තු වීම ෆැන්ටසියකි. ජවිපෙ යනු මාසයක් පාසා චීන වන්දනාවේ යෙදෙන පක්ෂයකි. චීනයේ බලාපොරොත්තුව රාජපක්ෂ ආගමනයකි, චීන ගැති ජවිපෙට විපක්ෂයේ වැඩි බලයක් හිමිකරදිමය.ජවිපෙ රගදක්වන්නේ ඊට අදාල භූමිකාවය

හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී කීර්ති රත්නායක