හීලෑ නැති පක්ෂයක්., විසඳුම් නැති රාජ්‍ය මූල්‍ය අර්බුදයක්., අයි.එස් අවතාර., ඊනියා දේශප්‍රේමී නඩයක් සමග ‌ගෝඨාට යා හැකි දුර..!

මහින්ද කියන්නේ ඩීල් කාරයෙක් ඔහු දැන් විශ්‍රාම ගත යුතු යයි පසුගියදා මාගල්කන්දේ හිමි කීවේය. රාජිත කියන්නේ හොරෙක් නොවේ යයි මුරුත්තෙට්‍ටුවෙ හිමි කීවේය.ජාතික ගීය දෙමලෙන් ගැයීම ඔවුන්ගේ අයිතියක් යැයි වාසුදේව කීවේය. අයි.ටී.එන් නාලිකාවට පත් කල සුදර්මන් ජනපති නියෝගයකට අනුව ඉවත් කළේය. මෙම ජවනිකා ඇතමුන්ට ආනන්දජනක විය. ඇතමුන්ට අවිනිෂ්චිත විය. කෙසේ වුවද මෙම රූපාන්තරය කෙළවර වන්නේ නොසිතන ඉසව්වකිනි.

ස්ථාවර රජයක් පිහි‍ටුවීමේ අභියෝගය   

බොහෝ දෙනෙකු මෙකී සිදුවීම් අයියා-මලෝ  බල අරගලයේ නිමිති ලෙස දු‍ටුවේය. එහි ඇත්තක් නැත්තේම නොවේ,නමුත් ගෝඨා මහින්ද භේදය සැබැවින්ම දැකිය හැක්කේ ඔවුන්ගේ වන්දිබට්ටයන් තුලය. ගෝඨා බලයට පත්වීමෙන් පසු ගත්  ඇතැම් තීන්දු  සිස්ටම් චේන්ජ්  කිරීමේ අපේක්ෂාවකින්  චන්දය දුන් ජනතාවගේ කනස්සල්ලට හේතු විය. බොහෝ දෙනෙක්  ගෝඨාගේ ආන්ඩුවේ තනතුරු බෙදා ගැනීමේ බලු පොරය දැක කම්පා විය. කිරි කළයක් දොවා ගොම බිදක්  දැමීම කලාවක් නම් පොහොට්‍ටුවෝ එහි පිකාසෝලා යයි ප්‍රභල ගෝඨාවාදියෙකුගේ මුහුණු පොතේ විය. ජනපතිවරණය ජයගත්තද  ස්ථාවර රජයක් පිහි‍ටුවීමේ අභියෝගය  ගෝඨා  හමුවේ ඇත.

සිංගප්පූරු ක්‍රමය සහ 19වන ව්‍යවස්ථා සංශෝධනය

සිංගප්පූරුවේ  ලී ක්වාන් යූ රට නැගිමේ සූත්‍රය ලෙස ගත්තේ ඒකාධිපති පාලන රාමුවක් සහ ලිබරල් ආර්ථිකයකි. සිංගප්පූරු නායකයා ප්‍රජාතන්ත්‍රවාදය බලු ගුදයේ තැබුවේය. අණ සහ ඔර්ලෝසුවේ ක‍ටු  ලී ක්වාන් ක්‍රමයේ ගාමක බලවේග විය. ගෝඨාගේ මැතිවරන ව්‍යාපාරය තුල සිංගප්පූරු ක්‍රමය උත්කර්ශයට නැගූ ආකාරය දැකිය හැකි විය. අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය සහ මාධ්‍ය එකිනෙකට ස්වායත්තව ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම ලෙස ගැනෙයි. එකී පදනම බිද යටකී බල කනු විධායකය යටතට පත් කෙරෙන ක්‍රමයක් ස්ථාපිත කිරීම ගෝඨාට අවශ්‍ය වී ඇත. එවැනි ඒකාධිපති රාමුවක් තැනීමට නම් 19 අහෝසි කළ යුතු වෙයි.

ගෝඨාට හීලෑ නැති පොහොට්‍ටු පක්ෂය

ගෝඨා ජනපති වූයේ කළුවා මාරපන ගියා මෙනි. ගෝඨාට සිස්ටම් චේන්ජ් කිරීමට උනන්දුවක් තිබුනද ඊට අවශ්‍ය පසුබිම සැකසී නැත. පවතින පොහොට්‍ටු යාත්‍රණය ගෝඨාගේ පාලනය යටතේ නොපවතියි. පක්ෂය තම පාලනය යටතේ නොපවතින විට විට රාජ්‍ය පාලනය දුෂ්කරය . පොහොට්‍ටුවේ කල්ලි ගැසීම එජාපයට වඩා උග්‍රය. මහින්ද-බැසිල්-ගෝඨා කල්ලි වලට අමතරව සිරිසේන විමලේ වැනි සුළු පක්ෂ කල්ලිද පොහොට්‍ටුව තුල ඇත. අන්තවාදී කල්ලිද බොහොමය. කරුණු එසේ හෙයින් රට හැදීමට පෙර පක්ෂය හැදීමට ගෝඨාබයට සිදුව ඇත. නමුත් පක්ෂය හදන මෙහෙයුම රට හදන මෙහෙයුමට වඩා දුෂ්කර එකකි.

රාජ්‍ය මූල්‍ය අර්බුධය

රාජ්‍ය මූල්‍ය අර්බුධයට පිළියම් සෙවීමේදී ආන්දෝලනාත්මක තීන්දු වලට එලඹීමට සිදුවනු ඇත.ද්වීපාර්ශික ගිවිසුම් හෝ ඊනියා දේශප්‍රේමීන් යන දෙකෙන් එකක් ‍තෝරා ගැනීමට ගෝඨාට සිදුවනු ඇත. ගෝඨා වටේ  සිටින සිටින බොහෝමයක් වැඩ බැරි ටාසන්ලාය. ගෝඨා රජයේ ‍රැකියා ලක්ෂයක් දීමට තීන්දු කළේය. නමුත් මුදල් ඇමති බන්දුල මුදල් නැතැයි කනපින්දම් කීවා මිස ව්‍යාපෘතිය නිසි ජවයකින් ඉදිරියට ගෙන නොගියේය. පසුගිය රජය මීට වඩා වැඩි ධාරිතාවයෙන් යුතු ව්‍යාපෘති ක්‍රියාත්මක කළේය. රනිල් සහ රවි  රාජ්‍ය සේවක වැ‍ටුප රු 10000කින් වැඩි කළේය. රට ණය උගුලක සිර කෙළේ රනිල්- රවි නොව  අජිත් නිවාඩ්, බන්දුල වැනි ගොබිලයන්ය. අර්බුධයෙන් රට ගලවාගැනීමට තරම් පරිචයක් බන්දුලලා අජිත් නෙවාඩ්ලා සතුව නොමැත

කලාපයේ චීන ව්‍යාපෘති සහ බල තුලනය

මේ වනවිට  කලාපයේ සෑම රටකම පාහේ චීන ව්‍යාපෘති ක්‍රියාත්මකය. මැදපෙරදිග ගිණි තැබූ ඇමෙරිකාවේ මීලග  ඉලක්කය දකුනු ආසියාවය. ආසියාව ගිණි තැබීමටද ඇමෙරිකාව යොදා ගන්නේ හුරු පුරුදු අයි.එස් කෙමනය. රොහින්ගයා ඉන්දියන් සාගරයට මුහුනලා පිහිටි පලාතකි. ක්යින්පු නම් වරායක් එහි පිහිටියේය. ක්යින්පු වරායේ සිට්  චීනයේ  බීජින් දක්වා  තෙල් නලයක් එලීමේ සැලසුමක් විය . නල මාර්ගය අවසන් වූ විට තෙල් නැව් වලට මලක්කා සමූද්‍ර සන්ධිය වටේ යා යුතු නොවීය.  කි.මී 1000 කින් පමණ මුහුදු ගමන කෙටි විය. යුවාන් වලින් ඉරාන තෙල් මිලදී ගැනීමේ සැලස්මක්ද විය. මේ අතර අභූත ලෙස  රොහින්ග්‍යා ප්‍රදේශය අයි.එස් ත්‍රස්තවාදීන් විසින් ගිල ගත්තේය. ඛේදවාචකයකින් කෙලවර වූ එය තෙල් නලය එලීමේ ව්‍යාපෘතියද  අඩාල කළේය.

කලාපය අයි.එස් බීජ ගොවිපොළක් බවට පත්වීම

කාර්ෂ්මීරයෙන් ලඩක් වෙන් කිරීම , මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීම, අයෝධ්‍යා හින්දුන්ට පැවරීම සහ ජාතික පුරවැසි පනත යන සිදුවීම මුස්ලිම් ප්‍රජාව වෙත කරන බලපෑම විශාලය. පුරවැසි පනතට විරෝධය දැක්වූ මුස්ලිම් ජාතිකයන් 24 දෙනෙකු දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇමෙරිකාව කලාපයේ අයි.එස් බීජ වැපිරීමට දක්වන දායකත්වය පසුගිය මස  22දා  සිදුවීමකින් මනාව පැහැදිලි විය. මෝදි මුස්ලිම් ජන සංහාරයක් සිදු කළ බවට ආකාෂි භාත් (Dr. Aakashi Batt) නම් තරුණියක් ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය හමුවෙ සාක්ෂි දුන්නාය. ඉරාක ආක්‍රමනයට පෙර නයිරා අල් සබා (NayirahAl-Sabah) නම් තරුනියක්ද මේ ආකාරයේම සාක්ෂි සම්පින්ඩනයක් දුන්නාය. නයිරා මහා විනාෂයකට පාර කැපුවාය , ආකාෂි සිදු කරන්නේද එවැන්නකි. නයිරා සහ ආකාෂි කළේ  සී.අයි.ඒ කොන්ත්‍රාත්තුවකි.

නයිරා අල් සභාගේ සාක්ෂිය – https://www.youtube.com/watch?v=LmfVs3WaE9Y

ආකාෂි භාත්ගේ සාක්ෂිය – https://www.youtube.com/watch?v=vh0bwHnC-gQ

ගෝඨාගේ ඊනියා දේශප්‍රේමී නඩය සමග යා හැකි දුර

නයිරාගේ සහ ආකාෂිගේ කථාව කීවේ නිකම් නොව ඒ හා සමාන සිදුවීමකට ලංකාව මුහුන පා ඇති බැවිනි. දෙසැ මස 7 වැනිදා මුස්ලිම් ඩයස්පෝරාව නියෝජනය කරමින් මොහොමඩ් මතීන් නම් තරුණයෙක් ජිනීවා ගොස් ලංකාවට එරෙහි අභූත චෝදනා නැගුවේය. ජිනීවා මෙහෙයුම සංවිධානය කළේ  මුස්ලිම් ඩයස්පෝරාවේ ප්‍රධානියා ලෙස පෙනී සිටින මුවිස් වහාබ්දීන්ය. මුස්ලිම් ඩයස්පෝරාව දිනෙන් දින සක්‍රිය වන පසුබිමක ගෝඨාගේ දේශප්‍රේමී නඩය නිහඩ ප්‍රේක්ෂකයන් ලෙස සිටී යයි සිතිය නොහැක. යම් හෙයකින් ගෝඨාගේ දේශප්‍රේමී නඩය අයි.එස් අවතාර සමග ගැ‍ටුන හොත් එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ මහජනයාටය . දේශපාලනිකව යම් වාසියක් ගත හැකි වුවද එවැනි ගෝනි සෙල්ලම් සිස්ටම් චේන්ජ් ව්‍යාපෘතිය සමග නොපෑහෙයි

මොහොමඩ් මතීන් එ.ජා සැසිවාරයේදී කළ අභූත කථාව මෙම දිගුවෙන් නරඹන්න https://www.youtube.com/watch?v=nkh3A5Svk3g&feature=youtu.be

මොහොමඩ් මතීන් , මුවිස් වහාබ්ඩීන් සහ  අලි සබ්‍රිගේ කථාකරන පින්තූර.

බයියන්ගේ දෑස් නිලංකාර කරන ජාතික ආන්ඩුව

සාම්ප්‍රදායික දේශපාලනය හරහා ගෝඨාගේ සිස්ටම් චේන්ජ් ව්‍යාපෘතිය ජය ගත නොහැක. 2/3 බහුතර බලයක්  සහිත රජයක් තැනීමට ගෝඨාබයට නොහැක. රාජ්‍ය මූල්‍ය අර්බුධය ජයගැනීමට තරම් පරිචයකින් යුතු පිරිසක් ගෝඨා සමග නැත. කලාපයේ බලතුලය වෙනුවෙන්  ඇමෙරිකාව සමග ගණුදෙණු කළ යුතුව ඇත. බැසිල්ගේ පක්ෂය හැදීම රට හදනවාට වඩා අමාරු එකකි . නමුත් රට හදා මිස ආපසු නොහැරෙන බව පසුගියදා  ගෝඨා කීවේය. අභියෝග ජයගැනීමට ගෝඨාට ඇති එකම විකල්පය එජාපය සමග ජාතික ආන්ඩුවකට යාමය. කරුණු එසේ හෙයින් සාම්ප්‍රදායික දේශපාලනය උඩු යටිකුරු කරමින් ජාතික ආන්ඩුවක් බිහි වීමේ වැඩි ඉඩක් ඇත. ගෝඨා සිය රාජාසන කථාව කරමින් ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යය සඳහා එකතුවන ලෙස ඉල්ලා සිටියේය. ඒ තුල  ගැබ්වූ පණිවිඩය ජාතික ආන්ඩුවක් මිස අන්යමක් නොවේ

By keerthi Ratnayaka