මහින්දට එරෙහිව ගෝඨා බර අවි ඔසවයි,පිංගුත්තර සජියා සිහින දකියි

ගෝඨා සිය මංගල විදේශ සංචාරය ලෙස ඉන්දියාවට ගිය විට, තමා ඉදිරි මැතිවරණයේදී 2/3 බලයක් ලබාගත හොත් 19වන සංශෝධනය අහෝසි කරන බව කීවේය. ගෝඨා  එම  කථාව තවත්  බරපතල කොට රාජාසන කථාවේදී කීවේය. ”ශ්‍රී ලංකාවේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සිදුවිය යුතුමය. ඉලක්කම් වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තා කළ හැකි වුවද, පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැත. මෙම තත්වය  ව්‍යවස්ථා වෙනසකින් විසදාගත යුතුය” ගෝඨා අවධාරණය කෙළේය.

රාජාසන කථාව හෑල්ලුවට ලක් කිරීම 

අගමැති මහින්ද පුවත්පත් කර්තෘන් සමග පවත්වන සාකච්ඡා වැඩ සටහන ඊයේ (09)  ආරම්භ කළේය. කතෘවරුන් මෙහිදී විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ආන්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පිලිබදව මහින්දගෙන් ප්‍රශ්න කළේය. විජයදාස ඉදිරිපත් කළ යෝජනා ආණ්ඩුවේ ස්ථාවරය ‌නොවන බව මහින්ද ප්‍රකාශ කලේය. මහින්දගේ අරමුණ ගෝඨාගේ සැලසුම බකල් කිරීම බව  ඔහුගේ  පිළිතුර  සහ ශාරීරික භාෂාව ඉගි කලේය. කතෘන් සමග පැවති හමුවට  මහින්දවාදී ඇමතිවරුන් කිහිප දෙනෙකුද පැමිණ සිටියහ. මහජනයා සමග සංවාදයකින් පසුව මිස කඩිමුඩියේ එවන් යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකි යයි ඇමති පිරිස මහින්දගේ කථාවට  හූමිටි තැබූහ. දැනට ක්‍රියාත්මක 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වැඩි බලතල අගමැති සතුය.

වියත් මග හරහා මහින්ද පිලට කෙලින සැලසුම

සරලව ගත් කල ගෝඨා සිදු කිරීමට යන සංශෝධනයෙන්  අගමැති පෙර පරිදි පියන් කෙනෙකු වන අතර ජනපති පරම බලධාරියා වෙයි. එමෙන්ම පහලොස්වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා  ඇතිකල සුළු ජාතික දේශපාලන පක්ෂ වලට හිතකර වාතාවරණය අහෝසි වෙයි. 15 සංශෝධනය එවක මුස්ලිම් කොන්ග්‍රස් නායක අෂ්රොෆ් ගේ බලපෑම නිසා සිදු වූවකි. කරුණු එසේ හෙයින්  ගෝඨාගේ ප්‍රොක්සිය  නොහොත් විජේදාස ඉදිරිපත් කල යෝජනා මාකට් කිරීම අපහසු නැත . එමෙන්ම මහින්ද 19 අහෝසි කිරීමට  එරෙහි වන්නේ ඇයි කියා තේරුම් ගැනීමද අපහසු නැත. ගෝඨාගේ ඉලක්කය ජය ගැනීමට පොහොට්‍ටුවෙන් උපරිම මන්ත්‍රීන් පිරිසක් පාර්ලීමේන්තුවට යා යුතු අතර ඔවුන් ගෝඨාවාදීන් විය යුතුය. කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන වියත්මග ක්‍රියාකාරීන් 100 දෙනෙකු ගෝඨා විසින් ඉදිරි  මැතිවරණයට ඉදිරිපත් කරන්නේ යටකී අභියෝගය ජය ගැනීමටය.

ගෝඨාගේ ගෝනි සෙල්ලම් සහ මහින්දට එරෙහි බර අවි

ඊයේ ” අලුතින් 100 ක් පාර්ලිමේන්තුවට” නමින් සංදේශයක් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් මහනායක හිමිවරු වෙත බාර දී තිබුනි. මෙම සංදේශය ‍රැගෙන ගියේ  “අලුතින් හිතන අපි ” නමින් වූ සංවිධානයක් විසිනි. අඩුම තරමින් උසස්පෙල සමත්, දැක්මක් ඇති , චරිතවත්  අළුත් 100 දෙනෙකු  පාර්ලීමේන්තු  යැවීම සිය  අරමුණ බව ඔවුන්  මාධ්‍යට ප්‍රකාශ කර තිබුනි. ඔවුන් ජනගත කරන නිර්ණායක අනුව ඊලග පාර්ලීමේන්තු මැතිවරණයේදී මහින්දගේ ගැන්සිය කපෝතිය. මහින්ද  පිලෙන් උසස් පෙල සමත් , දූෂණ චෝදනා නැති චරිතවත් එකෙකු සෙවීම නොමළ ගෙයකින් අබ සෙවීමකි. ඒ අනුව මහින්ද පිලේ බොහෝ පිරිසක් ප්‍රතික්ෂේප වන අතර එම හිඩස පුරවන්නේ  වියත්මග නියෝජනය කරමින් ගෝඨා ඉදිරිපත් කරන අළුත් මුහුණුය. ” අලුතින් 100 ක් පාර්ලිමේන්තුවට” ව්‍යාපෘතියේ ප්‍රධාන න්‍යායාචාරියා කමල් වලේබොඩය. ඔහු ගෝඨාගේ ගොට්ටෙකි.  වනචර දශකයේ ආරක්ෂක ආමාත්‍යශය සංවිධානය කළ ‘සියපත්විල’ ව්‍යාපෘතියේ ප්‍රධාන කථිකයා මොහුය.

රන්ජන්ගේ සී.ඩී හුටපටය නිසා මහින්දට කෙලවෙන හැටි

රන්ජන්ගේ සී.ඩී හුටපටය වාර්තාවිමත් සමගම මහින්ද කලබල වූ බව අප වාර්තා කලෙමු. ගෝඨාට කතා කොට කමල් ගුණරත්නට දෝෂාරෝපණය කල බව කිවෙමු. මක්නිසාදයත් රන්ජන්ගේ සී.ඩී හුටපටයෙන් විනාශ වෙන්නේ මහින්දගේ පිලය.රන්ජන්ගේ සී.ඩී ලීක් වීමෙන් මිනිසුන් කළකිරෙන්නේ  පවතින ක්‍රමය පිලිබදවය එපමනක් නොව මහජනයා වත්මන් ක්‍රමය නියෝජනය කරන දේශපාලකයන් පිලිකුල් කිරීමට පෙලඹෙයි.එහි විපාක ලෙස නිතර දකින දේශපාලකයන් රොත්ත බුරුත්තට ඊලග මැතිවරණයෙදී උන් හිටි තැන් අහිමි වනු ඇත. ඉන් බරපතලම හානිය සිදුවන්නේ මහින්දගේ පිලටය. ඉදිරි මැතිවරණයේදී මහින්දගේ පිලේ බොහොමයකට පරාජය උරුම වනු ඇත. එම හිඩස පුරවන්නේද  වියත් මග ලේබලය ගසා  ගෝඨා ඉදිරිපත් කරන අපේක්ෂකයන්ය.

අළුත් පාර්ලීමේන්තුවේ සංයුතිය

පවතින තත්වය මහින්දවාදීන්ට, බැසිල් වාදීන්ට, සිරිසේන වාදීන්ට  අවාසිය. අඩුම තරමින් උසස් පෙලවත් සමත් විය යුතුය යන්න ” අලුතින් 100ක් පාර්ලීමේන්තුවට”  ව්‍යාපෘතියේ එක් නිර්ණායකයකි. ඒ අනුව බලන කල  විමල් වීරංවශද ගෙදර යැවිය යුතුය. මේ ආකාරයට ඉදිරි  මැතිවරණයේදී පාර්ලීමේන්තුවට තේරී පත් වන බහුතරය ගෝඨා වාදීන්ය  . අළුත් පාර්ලීමේන්තුවේ  2/3 ලබා ගැනීමට නොහැකි වුවහොත් ජාතික ආන්ඩුවකට යාමට ගෝඨා සූදානම්ය. යම් හෙයකින්  ජාතික ආණ්ඩුව යථාර්ථයක් වුව හොත් ඒ සදහා ‍තෝරා ගන්නේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන  කන්ඩායමය. එම අවස්ථාව ලැබෙන්නේ එජාප ටය. ජාතික ආණ්ඩු අවබෝධතා  ගිවිසුම අත්සන් කරනු ලබන්නේ විපක්ෂ නායකයා සමග නොව එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමගය. සජිත් නායකත්වයට මරා ගන්නේ මේ හේතුව නිසාවෙනි

නායකත්වය දුන්නද මාස දෙකක්  තුල කළ හැකි ලබ්බක් නැත

”ගෝඨා ජනපති සජිත් අගමැති ” ලෙසින් මැතිවරණ  තේමාවක්   සජිත් ප්‍රේමදාස දැනටමත් ප්‍රසිද්ධ කොට ඇත. සජිත් මෙවැනි තේමාවක් ගෙන එන්නේ පාර්ලීමේන්තුවේ 113  ලබාගෙන අගමැති වීමට  නොව ජාතික ආන්ඩුවකට ගොස් පින් අගමැතියෙකු  වීමටය. පක්ෂ නායකයා රනිල් වීම  සජිත්ගේ පිංගුත්තර  සිහිනය සැබෑ කර ගැනීමට බාදාවක් වී ඇත.මක්නිසාදයත් ජාතික ආණ්ඩු ගිවිසුම හදන්නේ පක්ෂ නායකයාය .

සජිත්ගේ,  කිලීගේ  සැබෑ උවමනාව පක්ෂය ගොඩ නැගීම නම් විපක්ෂ නායක ධූරයෙන් සෑහීමකට පත්වී පක්ෂය ගොඩනැගීම ආරම්භ කළ හැක. ඉන් අනතුරුව පක්ෂ නායකත්වය ඉල්ලා සිටිය හැක. එපමනක් නොව මේ අවස්ථාවේදී සජිත්ට පක්ෂ නායකත්වය ලබා දුන්නද මාස 2ක් වැනි කෙටි කාලයක් ඇතුලත  කල හැකි ලබ්බක් නැත. සජිත් පක්ෂ නායකයා වීම හෝ නොවීම  ඉදිරි මැතිවරණයේ  ගණන් ඉලක්කම් වෙනස් කිරීමට හේතු නොවෙයි.

සජිත්,කිලී,අජිත් ප්‍රමුඛ පිංගුත්තර කල්ලිය

සජිත්ගේ සහ කිලී මහරාජාගේ අරමුණ පක්ෂය ගොඩනැගීම නොවන බව ඉතා පැහැදිළිය. කිලිට අවශ්‍ය වී ඇත්තේ සජිත් මුදුනා කොට ජාතික ආණ්ඩුවකට  ගොස් ගෝඨා සමග ගනුදෙණු කිරීමට පොටක් පාදා ගැනීමය . කැපිටල් මහරාජා ව්‍යාපාර ජාලයට නව පනක් දීමය. සජිත්ට පක්ෂ නායකත්වය ලැබුන හොත් ජාතික ආණ්ඩු ගිවිසුම හදන්නේ ඔහුය. ගෝඨා සමග කේවල් කීරීමේ බලයද ඔහු සතු වෙයි  . සජිත් පක්ෂ නායකත්වය   ඉල්ලන්නේ   පක්ෂය ගොඩ නැගීමට නොව ජාතික ආණ්ඩුවේ අගමැති ධූරය ගැන පහල වූ තණ්හාව නිසාය.  අජිත් පී, සුජීව , තලතා වැනි අදබාලයන් අරගල කරන්නේද  පක්ෂය ගොඩ නැගීමට නොව ජාතික ආණ්ඩුවේ තනතුරු  වලට කෑදර කමිනි. කිලී මහරාජා දගලන්නේ ජාතික ආන්ඩුවට පූට්‍ටු වී  බංකොලොත් ගැට්ටේ පවතින තම ව්‍යාපාර ටික ගොඩ ගැනීමටය.

කීර්ති රත්නායක ලංකා ඊ නිවුස් වෙත ලියූ ලිපියකි