ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සහ හෙට දවස

1939 පෙර ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද්විතීයික අධ්‍යාපනය දෙන ලද්දේ කොළඹ රාජකීය විද්‍යාලය සහ නගර බද ක්‍රිස්තියානි මිෂනාරි පාසල් වල පමනි. රජයේ රැකියා දොරටු විවෘත වූයේ එම පාසැල් වලින් පිටව යනවුන්ට ය. ගම්බද දරුවන්ට ස්ව භාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනයක් ලැබුණු අතර ඔවුන්ට ලැබුනේ කුඩම්මාගේ සැලකිලි ය. මෙම තත්ත්වය තරමක් වෙනස් කරමින් ග්‍රාමීය ප්‍රදේශ වල හොඳ අධ්‍යාපනයක් ලබා දෙන මධ්‍ය විද්‍යාල පිහිටැවූයේ එවක අධ්‍යාපන ඇමති සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ය. 1939 ඔහු ගෙන ආ අධ්‍යාපන ප්‍රඥප්තියේ යෝජනා ප්‍රකාරව එය සිදුවුනි.

ඉන් නො නැවතුණු කන්නන්ගර 1945 අංක 21 දරන නිදහස් අධ්‍යාපන පනත ගෙන ආවේ ය. වාද විවාද මැද සම්මත වූ පනත අනුව ජාති, ආගම්, කුල, වත් පොහොසත්කම් නො තකා සෑම දරුවකුට ම බාලාංශයේ සිට  විශ්ව විද්‍යාලය තෙක් නොමිලයේ අධ්‍යාපනය ලබා ගත හැකි විය. ඉන් වසර දෙකක් ගත වෙත්ම සිදුවූයේ දෛවෝපගත සිදුවීමකි. නිදහස් අධ්‍යාපන පනතේ තීන්ත වියළී යාමටත් මත්තෙන් පැවති 1947 මහ මැතිවරණයේ දී අරක්කු සහ රේන්ද ව්‍යාපාර වලින් ධන කුවේරයෙකු වූ විල්මට් පෙරේරා අතින් කන්නන්ගර පරාජය විය. එතැනින් කන්නන්ගරගේ දේශපාලන ගමන අවසන් විය. එපමණක් නොව 1962 වසර වන විට අසරණ වූ කන්නන්ගර පාර්ලිමේන්තු මහලේකම් වෙත ලිපියක් ලියා පිං පඩියක් ඉල්ලා තිබුණි.

නොමිලේ අධ්යාපනය කියා දෙයක් නැත

ගෙන්දගම් පොළොවේ නොමිලේ අධ්‍යාපනය කියා දෙයක් නැත. අධ්‍යාපනය නඩත්තු වන්නේ මහ ජනතාවගේ බදු මුදල් වලිනි. සෑම පුරවැසියෙකු ම නොමිලේ යැයි කියන සංකල්පයෙන් මිදිය යුතු ය. අධ්‍යාපනය සම්බන්ධව රටක බල පැවැත්විය යුත්තේ නොමිලේ අධ්‍යාපනයක් නොව නිදහස් අධ්‍යාපනයකි. අධ්‍යාපනයේ නිදහසකි. එනම් කිසියම් පුද්ගලයෙකුට ජාති, ආගම්, කුල මල, මිල මුදල් ආදියේ බලපෑමකින් තොරව අධ්‍යාපනයේ නිරත වීමට ඇති අයිතියත් තමන් කැමැති ඕනෑම අධ්‍යාපනයක් ලැබීමට ඇති අයිතියත් ය. තම අභිමතාර්ථය අනුව අධ්‍යාපනයේ නිරත වීමට ඇති නිදහස අතිශය වැදගත් ය. සයිටම් අර්බුදයේ දී ඇදුරන් ගෙන ආ තර්කය වූයේ රජයේ විශ්ව විද්‍යාල වලින් රටේ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව මුළුමනින් සපුරා ගනිමින් පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රතික්ෂේප කළ යුතු බව ය. එනම් විශ්ව විද්‍යාල ඇති කළ යුත්තේ අධ්‍යාපනයේ නිදහස සහතික කිරීමට නොව එක් පන්තියක වරප්‍රසාද ආරක්ෂා කිරීමට විය යුතු ය යන්න ඔවුන්ගේ මතවාදයේ හරය විය.

විශ්ව යාත්‍රාවේ දිශා දර්ශකය අධ්‍යාපනය යි. එය සදාකාලික ය. එය අනාගත සුරක්ෂිත බවෙහි ප්‍රධාන ම සාධකයයි. නිවහල් සශ්‍රීක දේශයක කොඳු නාරටිය නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස මිස නොමිලේ අධ්‍යාපනය නොවේ. රටේ දියුණුව හා ඉදිරි ගමන රඳා පවතින්නේ මෙම ක්‍රියාවලියෙන් බිහි කරන ප්‍රතිඵල මතය. මෙකී සමස්ත අධ්‍යාපනයේ වගකීම රඳා පවතිනුයේ දේශපාලකයන් මත ද නො එසේ නම් අධ්‍යාපනයේ නියැලෙන ඇදුරු ප්‍රජාව මත ද?  අනාගතයට ඵලදායී ජාත්‍යන්තරය හා උරෙන් උර ගැටිය හැකි අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ දේශපාලකයින්ට නොව ඇදුරන්ට ය. පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා වූ ව්‍යායාමයේ අස්වැන්න රඳා පවතිනුයේ ද ඔවුන් අත ය.

ඉන්ටර්ඇක්ටිව් වයිට් බෝඩ් සහ වෙබිනාර්

අධ්‍යාපනය යනු තාක්ෂණ ඇතුළු බහුත්ව දියුණුවට අනුරූපීව වෙනස් විය යුතු සංවේදී විෂය පථයකි. ගල් ලෑල්ල වෙනුවට ලෝකය ම ඇඟිලි තුඩු මත හොවන ඩිජිටල් පරිපථ පැමිණ ඇත. කළු ලෑල්ල වෙනුවට, ලොව පුරා ගුරු-සිසුන් යා කරන ඉන්ටර්ඇක්ටිව් වයිට් බෝඩ් පැමිණ ඇත. ටියුෂන් පංති වෙනුවට වෙබිනාර් (webinar)  පංති පැමිණ ඇත. පොත් පුස්තකාල වෙනුවට ඊ පුස්තකාල පැමිණ ඇත. නමුත් ලංකාවේ අධ්‍යාපනයේ සාධනීය වෙනසක් ඇදුරන් අතින් ඉටු නොවේ. මෙහි ප්‍රතිඵලය නම් ලංකාවේ අධ්‍යාපන ආයතන සිසුන් කුරුවල් කරන තිප්පොලවල් බවට පත්වීම ය

අද ලොව අති සාර්ථකම ආයෝජනය බවට අධ්‍යාපනය පත් ව ඇත. වර්තමානයේ ඉහළ ම ඉල්ලුමක් පවතින සේවාව වන්නේ ද අධ්‍යාපනයයි. නමුත් අපගේ අධ්‍යාපන ක්‍රමය දිනෙන් දින පරිහානිය කරා ගමන් කරයි. අවාසනාවට අපේ ආචාර්යවරු දකින්නේ තම බඩ වියත පමණි. සමහරෙක් විදේශ ඔත්තු සේවාවල කුලී කරුවන්ය , තවකෙක් දේශපාලන අතකොළු ය. තවකෙක් හොරාචාර්ය වරුය. මෙකී විෂ මුසු වූ ජාතික අධ්‍යාපන ක්‍රමය පිළිකාවක් බවට පත්ව ඇත. මෙහි සම්පූර්ණ වගකීම භාර ගත යුත්තේ සරසවි සහ පාසැල් අධ්‍යයන ඇදුරු ප්‍රජාවය. අපගේ ජාතික අධ්‍යාපන ක්‍රමය පවතිනුයේ අතිශයින් භයානක සහ ඉතාමත් කණගාටුදායක තත්ත්වයක ය.

ගිරවා ගැසීම සහ මයිනා ගැසීම

වරක් ලෙනින් පවසා සිටියේ ගුරුවරයා සිසුන් තැනිය යුත්තේ තමා පිටුපසින් පැමිණෙන්නට නොව තමා පසු කර යන්නට හැකි වන අයුරින් බව යි. එහෙත් සිදුවන්නේ කුමක් ද? අප ඇදුරන් සිසුන් ඔසවා තබන දිසාපාමොක්ලා නොව ඔවුන්ට වල කපන දෙබිඩිකාට්ටුවන් ය. සිසුවකු විසින් කිසියම් විෂය පථයක නව දැනුම සොයා යාම ඔවුන් දකිනුයේ තම පැවැත්මට තර්ජනයක් ලෙසිනි. අද ඇදුරන් බොහොමයක් එතැනට පැමිණියේ ගිරවා ගැසීමෙන් හෝ මයිනා ගැසීමෙනි. (ගිරවා ගැසීම -කට පාඩම් කිරීම, මයිනා ගැසීම – කුඩා කොල වල අනුමාන සටහන් ලියා සඟවා ගැනීම) නව ප්‍රවනතා, දැනුම හා මුසු වූ සිසුන් ඔවුන්ට වහ කදුරු ය.

ලංකාවේ පවතින්නේ සියවසකටත් එහා සුද්දන් හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමයකි. සුද්දන් හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමයේ මූලික අරමුණ වූයේ තමන්ට හීලෑ සුළු සේවක පැලැන්තිය ගොඩනගා ගැනීම ය. එම ක්‍රමයේ මූලික ලක්ෂණයක් වූයේ චින්තනය ශූක්ෂම ව රාමුවකට කොටු කර තැබීම ය. පෞර්ෂය වර්ධනයක් ඇත්තේම නැති මුත් වහල් චින්තයේ ප්‍රවර්ධනයකි. කළු සුද්දන් මෙම තත්වය තීව්ර කර ඇත්තේ ය . කඩ ඉම් විභාග සියල්ලේ ප්‍රශ්න පත්‍ර සකසන්නේ ඇදුරන් ය. නිබන්ධන පිරික්සන්නේ ඇදුරන් ය. ප්‍රශ්න පත්‍ර බලන්නේ ඇදුරන් ය. විභාගය ඉහළින් පාස් වීමට නම් ඇදුරා සමග හාන්සි විය යුතු ය. හාන්සි නොවන උන් එක්කෝ විභාගය ෆේල් ය; නැතහොත් යාන්තම පාස් ය.

යම් සිසුවකු ඇදුරාට ගොටු අල්ලන්නේ නම් සහකාර කථිකාචාර්යකම ගැනීමට සුදුසු කමකි. දිගින් දිගටම ඇදුරා සමග පෑහීම ස්ථිර කථිකාචාර්යවරයකු ව ඉන් පසු ‘‘ඩොක්ටර් පට්ටම ” ගත හැකි පහසු ම මාර්ගය ය. ඇදුරු ශරීරයක පැවැත්මේ රහස කඩේ යාම, ගොටු ඇල්ලීම මිස ඇකඩමික් කෞෂල්‍යය නොවේ. කොපි කරන්නේ නැතිව රිසර්ච් රිපෝර්ට් එකක් ලියාගන්ඩ බැරි අපේ ඇදුරන් පෙම් කවි ලියන්නට, දේශපාලන කථා ලියන්නට නම් ඔස්තාර්ලා ය. මොවුන් පැය විසි හතරේම බැලුවොත් ඉන්නේ මුහුණු පොතේ කොමෙන්ටු දමමිනි. සමහර ඇදුරන් ටියුෂන් කඩ හිමියන්ය. සමහරක් මෙලෝ රහක් නැති පොත් ලියන භූතයන් ය. ප්‍රශ්න පත්‍ර වලට ඇතුළු කරන්නේ ද තමන් ලියූ පොතක කුණු ගොඩකි. තවකෙක් ප්‍රශ්න පත්‍රය ද හීන් සීරුවේ පිට කර ගාණක් කපා ගන්නා වුන් ය.

විශ්ව විද්යාල වල මට්ටම සහ ඇදුරු හප..

මේ වන විට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 2000 අතර නො මැත. ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාල ද අන්තර් ජාතික මට්ටම අනුව 2125 දක්වා තත්ත්වය පහළ ගොස් ය. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යයන් වන උගන්ඩාවේ, ඉතියෝපියාවේ සහ සිම්බාබ්වේ රටවල විශ්ව විද්‍යාල ද ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාල වලට වඩා ඉදිරියෙන් සිටිති. මේ පරිහානියට ප්‍රධානතම හේතුව ලංකාවේ ඇදුරන් ඇට්ටකුනා වීම ය. ජාතියේ පෙර ගමන් කරුවන් වීමට ඔවුන්ට නො හැකි වීම ය. ලොව ඉහළ පෙළේ සරසවි සමඟ බැඳුණු නෙට්වර්ක් එකක් හරහා අධ්‍යාපන ක්‍රමය ජාත්‍යන්තර තලයට ගෙන යා හැකි ඇදුරන් අප සතුව නැත.

මෙරට සරසවි ඇදුරන්ගෙන් කී දෙනකු නව සොයා ගැනීමක් , සංකල්පයක් ඉදිරිපත් කර ඇත් ? ඇදුරන්ගෙන් බලාපොරොත්තු වන ප්රධානතම කාර්යය එය යි. එහෙත් ඔවුන් නො කරන්නේ එයම ජගත් ප්‍රජාව  පිළිගන්නා මට්ටමේ කිසිදු පර්යේෂණ පත්‍රිකාවක් හෝ පොතක් එළි දක්වා නොමැත. ඇදුරෙක් යයි ලෝකයට පෙන්වීමට එකෙකු සොයා ගත නො හැක. සියවසේ අභියෝග ජයගත හැකි සිසු පරපුරක් බිහි කොට නැත. මෙහි සිටින ඇදුරු හප ජාත්‍යන්තර ආචාර්යවරු සමග සැසඳීම පවා විහිළුවකි. අන්තර්ජාතික දර්ශක වල ඔවුන් සිටින්නේ ඉහළ හෝ පහළ හෝ නොව එවැන්නක පැත්ත පළාතේ දැකීමට ද නො හැකි ය.

රාජ්‍ය සේවයේ ආදායම නූපදවන ආයතන අතරෙන් වැඩිම වැටුපක් සහ සුපිරිතම පහසුකම් ලබන්නේ සරසවි ඇදුරන් ය. පාසල් ගුරුවරයකුගේ වැටුප ද සාපේක්ෂව කිසිවෙකුට දෙවෙනි නො වන්නේ ය. මෙකී සුපිරි වැටුප් යනු අන් කවරක් නොව කිරි පැකැට්ටුවේ සිට මිනී පෙට්ටිය දක්වා ජනයා ගෙවන බදු මුදල් ය. ඇදුරන්ගේ ඉගෙනීමට ඔවුන්ගේ පවුලේ උදවිය වියදම් කර ඇත්තේ සොච්චමකි . ඔවුන් එතැනට පැමිණියේ නිදහස් අධ්‍යාපනයේ පිහිටිනි. අප දහදියෙන්, කඳුලින් ඉපැයූ දෙයින් ගෙවා දැමූ බදු මුදල් ය. දේශයේ රැකවලුන් විය යුතු ඇදුරෝ විනාශයේ දොරටුව පුළුල් කරමින් සිටිති. අධ්‍යාපන ක්‍රමයේ සාධනීය වෙනසක් කතිකාවක් පෙනෙන තෙක් මානයක නැත. වැටත් නියරත් ගොයම් කන කල බඩගින්නේ හූල්ලන දුවා දරුවන්ට කාගේ පිහිට ද ? අන්තර්ජාලය ඇසුරුනි – තුෂාරා වන්නිආරච්චි