පැතුවේ දියසේන ලැබුනේ නන්දසේන – හැට නම ලක්ෂයේ හදවත් බිඳි පාපය

ගෝඨාබය දේශපාලනයේ රංකිරි කට ගෑවේ වියත් මග හරහාය.  ජනපති  ගෝඨා වියත්මග නම ගෑවුන උන්ටත්  තනතුරු  දුන්නේය. ඇතැමුන් තනතුරු ඉල්ලා පොලොවේ පස් කෑහ.අවසානයේ වියත්මග වියතුන්ම  ”සිස්ටම් චේන්ජ් මල්වට්ටිය” තනතුරු වලට පාවා දුන්හ. රට දැය බේරා ගැනීමේ පාරිශුද්ධ ව්‍යායාමයක්  ලෙස  පෙන්වූ වියත්මග  ඉතිහාසයේ  තවත් එක පෙරේත පිල්ලියක් විය. දේශප්‍රේමී සිංහ හම පොරවාගෙන සිටි  ගෝඨා සහ කැනහිලුන්ට මුල්ම ගල් ප්‍රහාරය එල්ල වූයේ ප්‍රතිවාදීන්ගෙන් නොව තම පිලෙන්මය. එදා  ගෝඨා වෙනුවෙන්  වියත් මගේ කථා කළ එරංග ගිණිගේලා අද විවෘත වේදිකාවේ  ගෝඨා  විවේචනය  කරයි. පළිගු ද්වාරයක් සේ මෙම ජවනිකා ලොවට පෙන්වන්නේ ගෝඨා වැඩ බැරි ලොසෙකු බවය.

පැතුවේ දියසේන ලැබුනේ වැඩ බැරි නන්දසේන

දශක ගණනාවක් තිස්සේ කුණු වූ යාන්ත්‍රණය එක් රැයකින් කෙලින් කළ නොහැක. නමුත් හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’ යයි උපහැරණයක් ඇත. ගෝඨාට එරෙහිව ගෝඨාගේ පිලෙන්  එන විවේචනය මෙයයි. ”සිස්ටම් චේන්ජ්” එක විය යුතුවා මෙන්ම එය සිදුවන බව පෙනෙන්නට තිබිය යුතුය. ගෝඨාගේ අභිනව පාලනය ගෝඨාවාදීන් නොසිතු විරූ පරිදි  වල්මත් විය, අයාලේ ගියේය. එදා මෙදා තුර ගෝඨා ගැන  වැඩිම  විවේචන  කලේ ලියුම්කරු ඇතුළු ලංකා ඊනිවුස්ය. ගෝඨා වැඩ බැරි ලොසෙකු බව අප කීවේ ඊට පාදක වූ  කරුණු සහ විශ්ලේෂණ වලිනි. තල වපුරා මුං නෙලිය නොහැකි බව ලීවේ එහෙයිනි. දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යංශ  අධීක්ෂණ ඇමති ලෙස පත් කළේ නන්දසේනය. කරුණු එසේ හෙයින් ඉරාජ්ගේ පත්වීම ගැන පුදුම විය යුතුද ? ගෝඨාට ගුවන් ටිකට් බුක් කළ ධර්මදාස ගුවන් සේවා අධිකාරියේ සභාපති වශයෙන් ලෙස පත් කිරීම ගැන පුදුම විය යුතුද ?

ඇත්ත ලියූ ලසන්ත සහ බොරු ලියූ චන්ද්‍රප්‍රේම

නන්දසේන සායම් බල්දියට වැ‍ටුනු හිවලා වැනි චරිතයකි. යුධ ජයග්‍රහණය නන්දසේන වැඩ්ඩෙකු  ලෙස පෙනීමට හේතු වූ එක් කරුනකි. යුධ ජයග්‍රහණයේ සැබෑ රහස වූයේ ෆොන්සේකාගේ බුල්ඩෝසර් න්‍යාය සහ රාජ්‍ය යටිතලය. මිය ගිය ත්‍රස්තවාදීන් ගණන පත්තු කළ උන්ඩ වලින් බෙදූ විට ලැබෙන පිළිතුර කියන්නේ මෙකී කථාවය. සැහැල්ලු ඇමො 2500ක්,  කාල තුවක්කු උන්ඩ 50 ක්, ග්‍රාඩ් රොකට් 100 ක්, බෝම්බ 200 ක් එක් ත්‍රස්තවාදියෙකු වෙනුවෙන් වැයකොට ඇත.(දළ සටහනකි – පත්තු කල තව බොහෝදේ ඇත). ලෝකයේ කිසිම මිලිටරි ඇකඩමියක් ලංකාවේ  යුද්ධය ”කේස් ස්ටඩි” එකක් ලෙස  නොගන්නේ මෙම හේතුව නිසාය. ගෝඨා මෙම අවි ආයුධ ගෙන්වූයේ තරග කාරී මිල ගණන් වලට නොව බෙලිමිල්සා හෝල්ඩිංග්ස් වැනි ලෝකයේ කොහේවත් නැති අභූත සමාගම් වලිනි. මේවා කොමිස් ගණුදෙනුය . යුද්ධය ගැන  ඇත්ත ලියූ ලසන්ත මරා දමා සුදු හුණු ගාමින් බොරු ලියූ සී.ඒ චන්ද්‍රප්‍රේමට තානපතිකම් ලැබුනේ එහෙයිනි. ලසන්ත පමනක් නොව මහාචාර්ය අමීත් මුනීද්‍රදාසද ගෝඨාගේ  දූෂිත ගණුදෙනු වල වින්දිතයෙකු විය.

ප්‍රමුඛතා පසෙක දැමූ පැලැස්තර නගර අලංකරණය 

නගර අලංකරණයද ගෝඨාගේ ජනප්‍රියත්වයට හේතු විය . නමුත් ගෝඨා  කොළඹ කුණු ප්‍රශ්නයට විසදුමක් දුන්නේ නැත. මීතොටමුල්ලට කුණු පැටවීම ආරම්භ කළේ ගෝඨාය. කොළඹ මල ප්‍රවාහන පද්දතිය අවු 100 වඩා පැරණිය. මෙය කොළඹ දුර්ගන්ධයට ප්‍රධාන හේතුවකි. ජල ප්‍රවාහන පද්දතියද සුද්දාගේ කාලයේ තැනූ එකකි. පිරිසිදු කළ ජලයෙන් 45% ක් අපතේ යයි. ගෝඨා අත්‍යාවශ්‍ය කටයුතු පසෙක තබා ඇවිදින මං තීරු වැනි සිල්ලර වැඩට  මුල් තැන දුන්නේය.මාර්ගස්ත සී.සී.ටී.වී යනු කෘතීම බුද්ධිය විසින් මෙහෙය වන ව්‍යාපෘතියකි. එය රථ වාහන  නියාමනයේ  සිට ”ෆේස් රෙකග්නිෂන් ”හරහා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම දක්වා විහිදුණු ක්‍රියාන්විතයකි. භාන්ඩාගාරයට අදායම් උල්පතකි. ජාතික ආරක්ෂාවට අත්වැලකි.ගෝඨා කොළඹ සී.සී.ටී.වී  සවිකළේය. එය නිරීක්ෂණයට පොලිස් ඒකකයක් ඇති කළේය. ගෝඨාගේ ව්‍යාපෘතිය හුදෙක් සුදු අලියෙකි. ගෝඨාගේ නගර අලංකරණ පැලැස්තර විසදුම් වල වින්දිතයන් වූයේ මීතොටමුල්ලේ අසරනයන් පමනක් නොවේ හමුදා මූලස්ථානයද විය  

මක්ඛලීගෝසාල සහ ගොං රජා

බුදුන් දවසේ දඹදිව සිටි ජනප්‍රියම දේශකයා මක්ඛලීගෝසාල විය. මොහු බඩ වියත වෙනුවෙන් රාජ රාජ ආමත්‍යන් සමග ඩීල් කරන්නෙක් විය. අනුගාමිකයන් පිරිස සහ ලාභ සත්කාර අඩුවේය යන බිය ඔහු තුල විය. මක්ඛලීගෝසාල තතාගත ධර්මයේ කුඩා කොටසක් අල්ලාගෙන ඊට වැරදි අර්ථකථනයක් දුන්නේය.තමන් කියන දේ සත්‍ය යයිද අනෙක් උන් ධර්මය විකෘති කරන්නේ යයි කීවේය. අත්හැරීම වෙනුවට රැස් කිරීම තෝරා ගත් ඥානානන්ද නූතන මක්ඛලීගෝසාල වැනිය. ඔහු පළතුරු පූජා, පහන් පූජා තියමින් හීන දහමක් දෙසන භික්ෂුවකි. ඥානානන්ද බන කියන්නේ මිනිසුන් එතෙර කිරීමට නොවේ, නමුත් රජාට කඩේ යාමටය, තමා නිවරදි යයි සහ අනෙක් උන් වැරදි යයි කීමටය . මක්කලීගෝසාල මෙන්ම ඥානාන්දද  මිනිසුන් අගතියට හෙලන කෙමනකි. ගෝඨා ඡන්දය හිගා  කෑමට එහෙව් ඥානානන්දගේ අසපුවට ගියේය. බොරු පොරොන්දු දුන්නේය . එය ප්‍රඥා සාසනය අගයන ගෝඨාවාදීන්ගේ බලවත් සංවේගයට හේතු විය.

හාල් මුදලාලිගේ පු‍ටුවේ වාඩි වුනාට හාල් මිල අඩු  වන්නේ නැත

ජනපති ගෝඨා පෙර දැනුම් දීමකින් තොරව  රාජ්‍ය ආයතන කිහිපයකට කඩා පැන්නේය. වේරහැර අල්ලස් ගැනීම් ගෝඨා ආවා කියා නතර වූයේ නැත. ගෝඨා රියදුරු බලපත්  නිකුත් කිරීම කාර්යක්ෂම කිරීමට SMS  විසදුමක්  දුන්නේය.දුර බැහැරින් වේරහැර එන අයෙකුට SMS එකක් ලැබීමෙන් ඇති සෙත කුමක්ද? ජනයාට අවශ්‍ය තම නගරයේ සිට වැඩේ කර ගත හැකි ක්‍රමයකි . සිදුවිය යුත්තේ පවතින යාත්‍රණය අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමය. ලෝකයේ බොහෝ රටවල භාවිතා වන්නේ එම ක්‍රමවේදයයි. මැදපෙරදිග  බිලියන 200ක එළවලු වෙළදපොලක්  ඇතැයි ඡන්ද කාලේ ගෝඨා කීවේය.මැදපෙරදිගට කාන්තාවන් අපනයනය කිරීම වෙනුවට එළවලු පළතුරු අපනයනය  කරන බව කීවේය. එහෙම කියූ ගෝඨා එන්ටප්‍රයිස්ස් ශ්‍රී ලංකා වැඩ සටහන අත්හි‍ටුවූයේය. ගෝඨා වරෙක සිල්ලර කඩ වලට කඩා පැන්නේය. විවෘත අර්ථ ක්‍රමයක ‘හාල් මිල’ යනු ඵලයකි. එය වෙනස් කල හැක්කේ මිලට බලපාන හේතු වෙනස් කිරීමෙනි. හාල් මුදලාලිගේ පු‍ටුවේ වාඩිවී හාල් මිල අඩු  කළ නොහැක. විය යුත්තේ අතරමැදියන් විසින් සූරාකන ගොවියා නිදහස් කිරීමය. ගෝඨාගේ ඡන්ද සටනේ අනුග්‍රාහකයන් වූයේ එකී ජාවාරම් කරුවන්ය.

රටේ ජීවනාලියට චීනාගේ බෙට්ටක් තරම්වත් සැලකිල්ලක් නෑ

රට චීන ණය උගුලක සිර කලේ රාජපක්ෂලාය. ලංකාව ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවත් පත්කළේ රාජපක්ෂලාය.මෑතක නිකුත්වූ ඉන්දියානු බුද්ධි අංශ වාර්තාවකට අනුව චීන ජාතිකයන් ලක්ෂ 4ක් මෙරට සේවය කරයි. ලංකාවේ භූමියෙන් හෙක්ටයාර් 60000 කට ආසන්න ප්‍රමානයක් සින්නක්කරව සහ   බදු පදනම යටතේ චීන ජාතිකයන් මිලදීගෙන ඇත. එය  කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයකයට සමාන  වපසරියකි. චීනයට ඉඩම් විකීනීම හැර විකල්පයක් ගෝඨා සතුව නොමැත. චීනයෙන් ණය ගැනීම හැර විකල්පයක් ගෝඨාභයට නැත. ගෝඨා චීන්නු පිලිගන්නේ මල් මාලා දමමිනි . නමුත් අදටත් ශුද්ධ විදේශ විනිමය ඉපයීම අතින් ඉදිරියෙන්ම සිටින්නේ විදෙස් ශ්‍රමිකයන් සහ තේ නිෂ්පාදනයය. රටේ සැබෑ  ජීවනාලිය ඔවුන්ය. නමුත් චීනාගේ බෙට්ටක් තරම්වත් සැලකිල්ලක් ඔවුන්ට නැත. වතු කම්කරු වැ‍ටුප රු 1000 කරනවා කීවේ විහිලුවට යයි කීවේය. චීනාට දෙන අනුග්‍රහයෙන්  අබමල් රේනුවක් මැදපෙරදිග සහ කොරියාවේ ශ්‍රමිකයන්ට නැත.

‘ බබා හුකුං ” දමා සිස්ටම් චේන්ජ් කළ නොහැක

රට ගොඩ නැගිය හැක්කේ නිෂ්පාදනය වැඩි කිරීමෙන් පමනි. ආයෝජකයන් පැමිනීමට නම් ඊට සුදුසු පරිසරයක් තිබිය යුතුය. නීතිය ස්ථාපිත කළ යුතුය. ආගමික ත්‍රස්තවාදීන් අතුගා දැමිය යුතුය. මේවා මුදල් වැය වන වැඩ නොවේ. නමුත් එවැනි දැක්මක්  ගෝඨා තුළ නැත. ගෝඨා අත්‍යවශ්‍ය වැඩ  පසෙක තබා ජාතික බුද්ධි පනත ගෙන ආවේය. හමුදාවට එරෙහි කප්පම් නඩු , මිනීමැරුම් නඩු  ගනනාවකි. එහෙව්  හමුදාවට මුක්තියක් දීමට පනත් ගෙන ඒම ලෝක අපවාදයකි. එවැනි රටක ආයෝජනය කිරීමට තරම් පිස්සුවක් ව්‍යාපාරිකයෙකුට නැත.

ගෝඨා නිදහස් වූනා සේ අනෙකුත් අපරාධකරුවන්ටද  ලංකාවේ අධිකරණයෙන් ලිස්සා යා හැක. නාවික හමුදාවේ කප්පම් දසයා වයිස් අද්මිරාල් නොව නාවික හමුදාපතිද වනු ඇත . නමුත් මේවා ලෝක අපවාදයන්ය. සමස්ථ ජාතියම එහි  ප්‍රතිවිපාක විඳිනු ඇත . තවද මෙවන් අපරාධකරුවන්ට ජාත්‍යන්තරයෙන් ගැලවීම නැත. ආරක්ෂක ලේකම් කමල් ගුනේට බටහිර රටවලට වීසා නැත, හමුදාපති ශවේන්ද්‍රගේ තත්වයද මීට සමානය. රජරට රයිෆල් බලකායෙන් එහා දැක්මක් නන්දසේනට නැත. එවන් ලොසෙකු රටේ නායකත්වයට පත් කළ විට ඉතුරු ටිකටත් කෙලවීමෙහි අරුමයක් නැත.

කීර්ති රත්නායක ලිපිය උපුටා ගැනීම ලංකා ඊ නිවුස්