හුවාවි තහනමේ සැගවුනු කථාව

හුවාවි සමාගම චීනය සහ ඇමෙරිකාව අතර ගිණියම් වන ‘’සීතල යුද්ධයේ’’ ප්‍රථම ගොදුර බවට පත්ව ඇත. ගිණි යට පුළිගු මෙන් කාලයක්  පුරා පැවති මෙම ආරෝව මෑතක සිට ගිණි  දළු ළමින් ඇවිළ යන සෙයකි. පසුගිය වසරේ ඔක්  04 වන දා ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් චීනයට අනතුරු ඇගවීමක් කළේය. චීනය පිලිබදව වන ඇමෙරිකානු පිලිවෙත ගැන දේශනයදී “මේඞ් ඉන් චයිනා 2025” සැලසුම චීනය විසින් අත්හැර දැමිය යුතු බව  කියා සිටියේය. “මේඞ් ඉන් චයිනා 2025” යනු රොබෝ තාක්ෂනය, ජීව තාක්ෂනය, සහ කෘතීම බුද්ධිය ඇතුලු ලෝකයේ වඩාත් දියුනු කර්මාන්ත වලින්  90%  ක  පාලනය සියතට ලබා ගැනීමට සදහා වන චීන සැලසුමයි

හුවාවි ප්‍රධාන විධායකවරිය අත්අඩංගුවට ගැනීම

පසුගිය වසරේ දෙසැ මාසයෙදී  හුවාවි නිර්මාතෘගේ දියණිය කැනඩාවේදී අත්අඩංගුවට ගත්තේය. ඇය  හුවාවි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස කටයුතු කළාය . පසුව කැනඩාව විසින් ඇය අමෙරිකාවට බාර දීමට කටයුතු කලේ අත් අඩංගුවට ගැනීම පි‍ටුපස සිටියේ ඇමෙරිකාව බව පසක් කරමිනි . ඉරානයට එරෙහිව පනවා ඇති වෙළෙඳ සම්බාධක උල්ලංඝනය කිරීම හුවාවි සමාගමට එරෙහිව වූ එක් චෝදනාවකි. හුවාවී ප්‍රධාන විධායකවරිය ඇප මත නිදහස් කලේ අමෙරිකානු ඩොලර් මිලියන 10ක ඇපකරයකට යටත්වය.

ඔත්තු බැලීමේ චෝදනාව

ප්‍රධාන විධායකවරිය නිදහස් කලද හුවාවි සමාගමට එරෙහි විමර්ශන ඉදිරියට ගියේය. හුවාවි සමාගම ව්‍යාපාර සිදුකරන මුවාවෙන් ඇමෙරිකාවේ රහස්‍ය තොරතුරු සොරකම් කරන බවට ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කළේය . ඉන් නොනැවතුනු රාජ්‍ය දෙපාර්තමේන්තුව හුවාවි සමාගම සමග වෙළෙඳ ගණුදෙනු අනතුරුදායකයයි ආයෝජකයන්ට අනතුරු ඇගවීමක් කලේය. ඇමෙරිකානු රජය නොකියා කීවේ  හුවාවි සමාගම චීනය වෙනුවෙන් ඇමෙරිකාවේ ඔත්තු බැලීමේ  නියලෙන බවය.

හුවාවි බ්ලැක් ලිස්ට් කිරීම

චීනයට එරෙහි සීතල යුද්ධයේ ප්‍රථම බර අවි ප්‍රහාරය ඊයේ වාර්තා විය .අමෙරිකානු රජය චීනයේ ‘හුවාවි’ විදුලි සන්දේශ සමාගම සිය අසාදු ලේඛනයට ඇතුළත් කළේය. ඒ සමගම ඇමෙරිකාවේ ගූගල් සමාගම ‘හුවාවි’ සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුම් අවලංගු කරන තැනට පත් විය. ඒ අනුව, මින් ඉදිරියට ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හුවාවි සමාගමට අහිමි වන්නේය.සරලව කිවහොත් ගූගල් ප්ලේ, ජී මේල් ඇතුළු ඇප් සේවා සියල්ල  හුවාවි සන්නිවේදන උපාංගවලට අහිමි වන්නේය.

හුවාවි තමන්ට ප්ලෑන් බී එකක් ඇතැයි කියයි

නමුත් පසුගිය දා සවුත් චයිනා මොර්නින් පෝස්ට් පුවත්පත ප්‍රකාශ කලේ ගූගල් ඇන්ඩ්‍රොයිඩ් සේවා අහිමි වුවද ඔවුන්ට ප්ලෑන් ”බී” එකක් ඇති බවය. 2012 සිට ඔවුන්ගේම මෙහෙයුම් පද්දතියක් වැඩි දියුනු කිරීම ආරම්භ කල බවත්   නිසි වේලාවට එය එලි දක්වන බව එහි දක්වා තිබුනි. නව මෙහෙයුම් පද්ධතියක් නිර්මානය කරන විට එයට ගැලපෙන ඇප්ස් නිර්මානය කිරීමට වෙනම වෙහෙසක් දැරිය යුතුය . අයි.ඕ.එස් (ios) සහ ඇන්ඩ්‍රොයිඩ් වලට විකල්ප ලෙස මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය ස්මාර්ට් දුරකථන සදහා හදුන්වා දුන්නත් එය සාර්ථක නොවිනි

හුවාවි – සන්නිවේදන ලෝකය උඩුයටිකුරු කරයිද?

බ්ලැක්බෙරි සමාගමද තමන්ගේම කියා  ඕ.එස් පද්ධතියක් නිර්මානය කලේය . එයද සාර්ථක නොවිනි. සැම්සුන්ග් සමාගම ඔවුන්ගේ දුරකථන සදහා Tizen OS හදුන්වා දීමට ක්‍රියාකරන මුල් අවධියේදීම එයද  අසාර්ථක විය. එවැනි තත්වයක් තුල හුවාවි සමාගම තමන්ගේ උපකරණ සදහා හදුන්වාදීමට යන නව මෙහෙයුම් පද්ධතිය සාර්ථක වේද?  එය සාර්ථක වුව හොත් නිසැක වශයෙන්ම සන්නිවේදන ලෝකයේ පෙරළියක් වනු ඇත.  

By – තුෂාරා වන්නිආරච්චි