කිලීගේ දැක්මෙන් සජිත්ගේ සටන ජය ගත නොහැක !

සුද්දන් ලංකාවෙන් බැහැර වූයේ නිදහස අර්ථවත් කොට නොවේ,  ඉංග්‍රීසි ඌරුවට හැඩ ගැසුනු කළු සුද්දන් පිරිසකට පාලනය බාර දෙමිනි. වරප්‍රසාද ලත් මෙකී පැලැන්තිය ගෙන්දගම් පොලොවේ  පොඩි මිනිහාගෙන්  දුරස් විය. ඔවුන් පෑහුනේ නාගරික වෙළද බමුණු කුලය සමගය. මෙකී දෙපිරිස අතර හිඩසක් විය.කුහක දේශපාලකයන් එම හිඩස මත පිනුම් ගැසුවේය. බන්ඩාගේ සිට සජිත් දක්වා ඊට උදාහරණ එමටය

වරෙක සරමයි බැනියමෙන් පැමිණි බන්ඩා තමන් වෙළද බමුණු කුලයේ ගල් ලෙණ බිඳ දැමුවේ යයි කීවේය. බන්ඩා සඟ, වෙ, ගුරු, ගොවි, කම්කරු  ජනයාට කථා කළේය. එජාපයට බමුණුකුල හංවඩුව ගසා නිදහස් පක්ෂය හැදුවේය. එය පොඩි මිනිසුන්ගේ පක්ෂය යයි කීවේය. නමුත් ‍රැවටීම වැඩි කල් කළ නොහැකි විය. තමා පෙල ගැස්වූ බලවේගයේ එකෙකු අතින්ම බන්ඩා වෙඩි කෑවේය 

පියානෝ කිසිවෙකුගේ රූකඩයක් නොවීය

70 දශකය වන විට පොඩි මිනිසුන් ගැන කථා කරන තව එකෙක් පහල විය. ඔහු රදළවාදයට පහර පිට පහර ගැසුවේය. ඔහු ගම් නියම් ගම් පුරා ඇවිද්දේය. පොඩි මිනිසුන් සමග පෑහුනේය .එකල 255502 නම් දුරකථන  ජනයා වෙනුවෙන් විසිහතර පැය විවෘත්තව තිබුනි.” ප්‍රේමදාස කථා කරනව” එන සෑම ඇමතුමකටම  ඔහු උත්තර දුන්නේය. තමා ලැවරිය කාරයෙකුගේ පුතෙකු බවත් තමාද ලැවරිය විකුනූ බව ප්‍රේමදාස පිළිගත්තේය. උපාධි පට්ටන්දර ගැන අතේ රෝල් ගැසුවේ නැත. ප්‍රේමදාසගේ දේශපාලන සටන් සගයන් වූයේද  අඩු වරප්‍රසාදිත පන්තියේ දේශපාලකයන්ය. ප්‍රේමදාස දේශපාලන පොරපිටියේ ගේම් කාරයෙකු විය, කිසිවෙකුගේ රූකඩයක් නොවින.

ඔහුට තමාගේම කියා වැඩ පිළිවෙලක් තිබුනි

ප්‍රේමදාස නිර්මානාත්මක හැකියාවෙන් යුතු විය. ජනපති අපේක්ෂකයා වූ විගස ” මේ කවුද , මොකද කරන්නේ ? පොස්ටරය එක ‍රැයකින් රට පුරා ඇලෙව්වේය. ප්‍රේමදාස බාල ලමා මහළු කොයි කා අතරත් ජනප්‍රිය චරිතයක් විය. ප්‍රේමදාස නිවාස අරමුදල තර කිරීමට  සෙවන ලොත‍රැයිය හදුන්වා දුන්නේ අපූරු දැන්වීමකිනි. එකල ජිප්සීස් කන්ඩායමේ ” මල්ලි ඕවත් වැඩද ” කියා සිංදුවක් විය. ‘‘මල්ලි ඕවත් වැඩද , මල්ලි ඕවත් වැඩද, ගමින් ගමට ගෙවල් හැදෙන බව දන් නැද්ද කියා ප්‍රේමදාස එම සින්දුව එඩිට් කළේය. එකී දැන්වීම ඇඩ්වර්ටයිසින් කලාව උඩු යටිකුරු කළේය. ප්‍රේමදාස දුරදක්නා නුවණින් යුතු අයෙකු විය, තමාට ම කියා වැඩපිළිවෙලක් තිබුණි. නමුත් සජිත් දශක දෙකක් පුරා කුරුවල් වුනා මිස නිර්මානාත්මක කිසිවක් නොකළේය

යාදෙක නොරත රත ගෙවුන සෙරෙප්පු සහ V8 ජීප්

අඩු වරප්‍රසාදිත පන්තිය නොයෝජනය කළ  සගයන් කිසිවෙකු සජිත්ට නොවීය. සජිත් සමග සිටියේ  පීඩිතයන් උපරිමයෙන් සූරා කෑ පෙලපත් වල උන්ය. පී.අජිත්, සුජීව, හර්ෂ, ශිරාල්  ඇතුලු නඬය ඊට උදාහරණය. සජිත් ජනපති කෙනෙකුගේ පුතෙකු විය. සජිත් දුප්පතාගේ හිතවතා ලෙස කළේ රඟපෑමකි. ඉස්පිරිතාල සූට් එක සහ රබර් සෙරෙප්පු දෙක සරළත්වයේ නොව කුහකත්වයේ ප්‍රතිමූර්තිය විය. පියානෝ ප්‍රේමදාස  සෑම වැඩක්ම  පසු විපරමකට ලක් කළේය. එවැනි කුසලතා කිසිවක් සජිත් තුල නොවීය. සජිත් ලබා දුන් නිවාස වලින් 40 % නුසුදුස්සන් අතට පත් විය. සජිත් හම්බන්තොට තරුණයන්ට  චක්‍ර ලේඛ වලට පිටින් ‍රැකියා දුන්නේය. අද ඔවුන්ට ‍රැකියා අහිමි වී ඇත. දශක දෙකක් ගත වුවද පියානෝ සින්දුව  සහ හම්බන්තොට ලෝකයෙන් එහා යාමට සජිත් අපොහොසත් විය

කිලීගේ දැක්මෙන් සජිත්ගේ සටන ජය ගත නොහැක

සජිත් උපන් ගෙයිම කිලීගේ වහලෙකි. දැක්මක් නොමැතිව දේශපාලන සටන ජය ගත නොහැක. කිලීගේ දැක්මෙන් සජිත්ගේ සටන ජය ගත නොහැක. සජිත්ට මොළේ කලඳක් හෝ තිබුනේ නම් මෙවර කළ යුතුව තිබුනේ  ජනපති අපේක්ෂකත්වය රනිල්ට දීමය. එසේ වූයේ නම්  සියල්ලෝම එක හඬින් පරාජය වූ  රනිල් එලවීමට පෙල ගැසෙනු ඇත. දේශපාලන පොර පිටියේ පරාජිතයෙකු වන රනිල්ට තවත් සේවා දිගුවක් දිමේ වගකීම බාර ගත යුත්තේ  සජිත්ය.  කිලී ,ශිරාල් වැනි අඳ බාලයන්ගේ රූකඩයක් නොවී විචක්ෂණ බුද්ධියෙන් කටයුතු කළේ නම් නායකත්වය ඉල්ලා සජිත්ට අද අරගල කළ යුතු නැත. නිසැකවම 2025 මැතිවරණය ජය ගැනීමට සජිත්ට හැකි වනු ඇත. අද සජිත්ට එරෙහි වන්නෝ රනිල් නිර්දේශ කොට නැත. නමුත් පණ අදින රනිල්ට කිලී සහ  සජිත් ඔක්සිජන් දී ඇත

පක්ෂ නායකත්වය  පමනක් නොව විපක්ෂ නායකකමද සජිත්ට අහිමි වනු ඇත

විධායකය ජනපති ධූරය අරඹයා දියත් කරන සටන රූකඩයකට ජය ගත නොහැක. බංකොලොත් ගැට්ටේ සිටින කිලී සජිත් නටවන්නේ ඔහුගේ බඩ වියට ‍රැක ගැනීමටය. පසුගිය කාලය පුරා සජිත් කල්ලිය කිලීගේ පදයට නැ‍ටුවේ බෙල්ල ගිය කුකුළන් මෙනි. මෙකී නාඬගම් දෙස පාක්ෂිකයන් බලා සිටියේ පිළිකුලිනි. මෙවර පාර්ලීමේන්තු මැතිවරණයෙදී ඒවාට පිළිතුරු ලැබෙනු ඇත. නිසැකවම සජිත් කල්ලියේ බොහෝ දෙනෙකු ඇපත් නැතුව පරාජය වනු ඇත. එකී හිස්තැන පුරවන්නේ රනිල් ඉදිරිපත් කරන අළුත් මුහුණුය .එවිට පක්ෂ නායකම පමනක් නොව විපක්ෂ නායකමද සජිත්ට අහිමි වනු ඇත. ඒ අනුව පක්ෂ නායකයා පමනක් නොව ඉදිරි පාර්ලීමේන්තුවේ විපක්ෂ නායකයා වන්නේද රනිල්ය. අසාර්ථක නායකයෙකුට  සේවා දිගුවක්  දීමේ වගකීම කිලී සහ සජිත් බාර ගත යුතුය.

රනිල් සජිත් දෙදෙනාම අසාර්ථක නායකයන්ය

ආශ්වාර්යා රායි රූ ‍රැජිණකි, නිලියකි.  ඇය දෙව් අඟනක  මෙන් රූසිරියෙන් හෙබිය. ඇතැමෙකුට ආශ්වර්යා  රූපවාහිනීයට සීමා වූ ෆැන්ටසියකි. තවකෙකු ඉන් ඔබ්බට ගොස් ඇය සියසින් දැක ඇත. සමහරෙක් ඇය ස්පර්ෂ කොට ඇත. නමුත් ෆැන්ටසිය පරිදි ඇය සමග යහන් ගත විය නොහැක. එය කළ හැක්කේ සීමිත වැඩ්ඩන් පිරිසකට පමනි. රජ වීමද ෆැන්ටසියකි. හැම එකාටම රජ විය නොහැක. රනිල් යනු දක්ෂයෙකි. විශේෂයෙන් මෙරට අධ්‍යාපනයට අසමසම සේවාවක් කළ අයෙකි. නමුත් රනිල්ට ඇමති ධූරයකට එහා  ගමනක් නැත. රනිල් මෙරට රජ වීමට තරම් වැඩ්ඩෙකු නොවේ . රනිල් පක්ෂයට නිසි නායකත්වයක් දුන් බවටද ඉතිහාසයේ සාක්ෂි නොමැත. පක්ෂ නායකත්වය යනු පියාගෙන් පුතාට ලැබෙන උරුමයක්  නොවේ. කුසලතාව ක්‍රියාවෙන් පෙන්නා ලබා ගත යුතු එකකි. එය රනිල්ට සජිත්ට පමනක් නොව  ඕනෑම අයෙකුට අදාලය

කීර්ති රත්නායක ලියූ ලිපිය උපුටා ගැනීම ලංකා ඊ නිවුස්