අපේක්ෂාවේ රචකයා

ජීවිතේ කියන්නෙ රෝස මල් යහනාවක් නෙවෙයි . මුහුණුපොතේ සාමාජික සාමාජිකාවන්ට නම් මම ගැන අමුතුවෙන් කියන්න ඔින නෑ.මගේ ගම මොණරාගල. මම සාපෙ සමත් වුනා. උසස් පෙලත් කලා. නමුත් හරි හමන් ‍රැකියාවක් ලැබුනේ නෑ. දරුවො ලොකු වෙනකොට ජීවිතේ දුෂ්කර වුනා. 2002දී මම මැදපෙරදිග ගෘහ සේවයට ආව. පවුලෙන් ඈත් වුනු ඒ ගමන හරිම වේදනාකාරී එකක්.

එයාපෝට් එක ඇතුලට යන කොට ආත්මය බාගෙට මැරිලා . අරාබි හාම් පුතා මොන විදියට සලකයිද කියල බයක් තිබුනා. ෆ්යිට් එකේ මට එහා පැත්තේ හිටියේ ලංකාවේ මල්ලි කෙනෙක්. ”අක්ක ෆස්ට් ටයිම්ද” කියලා එයා ඇහුවා. ඒ මල්ලි නිවාඩු ඇවිල්ල යන කෙනෙක්, බලදියා ලොරියක් ( කුණු එකතුකරන ) එලවනව කීවා.

අක්ක බය වෙන්න එපා . බලදියා එකේ අපේ කොල්ලෝ හැම තැනම ඉන්නව. ඩම්ප් එක පටවන්නේ , එලවන්නේ අපේ කොල්ලො. හාම් පුතා ගෙදරට කථා කරන්න දුන්නෙ නැති වුනොත් කරන්න ඕනේ දේ ඔහු කීවා. මොන තහංචි දැම්මත් ගෙදර කුනු බාල්දිය ඩම්ප් එකට දාන්න එලියට යන්ඩ පුලුවන් . අන්න ඒ වෙලාවට ලියුමක් ඇඩ්‍රස් කරලා ඩිනාර් 10 ක් එක්ක ඩම්ප් එක යට තියන්ඩ කීවා.

ඩම්ප් එක ට්‍රක් එකට පටවන්ඩ කලින් අපේ කොල්ලො ඒක යට බලනව, තියෙන ලියුම් අදාල ඇඩ්‍රස් එකට පෝස්ට් කරනව කියලා කීව. ඔය ක්‍රමය නිසා ජීවිත ගනනාවක් බේරිලා තියෙනව කියලා කීව්ව. ඔහුගේ කථාව මට ලොකු හයියක් වුනා. මම ගිය ගෙදර ලොකු කරදර තිබුනේ නෑ. නමුත් දිවා රෑ වැඩ කළා, ජීවිතේ හොදම කාලේ කාන්තාරෙට ගෙවිලා ගියා.

2019 දී මට කැන්සර් එකක් තියෙනව කියලා දැන ගත්තා. කැන්සර් එක නිසා මැදපෙරදිග ‍රැකියාවට සමුදෙන්න වුනා. අර්ථසාදක, විශ්‍රාම , පාරි‍තෝෂිත ඒ කිසිවක් අපට නෑ. ලංකාවට ගොඩ බහිනකොට මගෙ අතේ පොඩි මුදලක් තිබුනා. ඒ වෙනකොට කැන්සර් එකත් සෑහෙන්න පැතිරිලා. අතේ තිබුන මුදලුත් පවුලේ අයගෙ ගමන් බිමන් වලට ඉවර වුනා. මගේ ස්වාමීයා වසර 5කට පෙර මිය ගියා. කෙනෙක් නැති නිසා විදේශ ‍රැකියා එකේ රක්ෂණ මුදල් ටික ලබා ගැනීමත් අභියෝගයක්.

මහරගම පිළිකා රෝහල සහ එහි හුස්ම ගන්නා මිනිසුන්ගේ කථාව වචනයෙන් විස්තර කරන්ඩ අමාරුයි. මමත් හුස්ම ගත්තා , හුස්ම පිටකරා ඉන් එහා බලා පොරොත්තුවක් තිබුනේ නෑ. පිළිකාවට වඩා දරුණු විදියට මානසික පීඩනය රෝගියාව දුර්වල කරනව. මටත් ඒ ඉරණම අත්වුනා. නමුත් ඊයේ මම හීනෙකින්වත් නොසිතපු දෙයක් සිදු වුනා. එජාප උපනායක රවි කරුණානායක මහත්තයා මගෙ දුක සැප බලන්ඩ ආවා.

‘‘ඔබ පවුල වෙනුවෙන් , රට වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු කෙනෙක්. ඔබ යකඩ ගැහැනියක් ” ඔහු කීවා.

ගත්ත හුස්ම පිට කරගන්ඩ පුළුවන් වෙයිද කියලා විශ්වාසයක් නොතිබුණු මට රවි මහත්තයගේ කථාව දිව ඔසුවක් වුනා, ජීවිතේ ආයෙත් දැනෙන්න වුනා. ඇග පුරා දුවන පිළිකාව පරාජය වුනා වගේ හැහීමක් දැනුනා.

‘‘පාර්ලීමේන්තුව නෙවේ මේ ලෝකෙ වැදගත්ම ආයතනය, මේ ලෝකේ වැදගත්ම ආයතනය ” දරු පවුල”. ඒ ආයතනය ‍රැකුනෙ ඔබ නිසා. ඔබ සුවිශේෂී කෙනෙක් වන්නේ ඒනිසා. ඔබ පුරවැසියෙක් විදියට, භාර්යාවක් විදියට, අම්ම කෙනෙක් විදියට වගකීම් උපරිමයෙන් ඉ‍ටු කරපු කෙනෙක්, මේ ලෝකේ පාලනය කරන යම් බලවේගයක් වෙයිද එය විසින් ඔබව ආරක්ෂා කරනවා’’.

රවි මහත්තයා ඒ කියපු වචන ටික පවුලේ කෙනෙකු වත් කියයි කියලා මම හිතුවෙ නෑ. මම කළ කැපකිරීම මගෙ ජීවිත කාලය තුල මේ විදියට කවුරැහරි අගයයි කියලා මම හිතුවෙ නෑ.

ඇත්තටම පවුල කියන එක ආරක්ෂා වෙන්නේ සුවිශේෂී කැපකිරීම් නිසා.සමහර වෙලාවට ඒ කැපකිරීම කරන්නෙ මව හෝ පියා වෙන්න පුළුවන් . නමුත් පවුල ‍රැක ගැනීම වෙනුවෙන් මහමෙරක් තරම් ඉවසන , කෙනා තමන් කරන කැප කිරීම ගැන ලෝකෙට කියන්නෙ නැ.. මම කළ කැප කිරීම් මම හොදට දන්නව . මිහිපිට ඒ වගේ මිනිසුන් තව බොහෝ ඉන්න බවත් දන්නව. පවුල වෙනුවෙන් සුවිශේෂී කැපකිරීමක් කරන පුද්ගලයා නිසැකවම යකඩ මිනිසෙක් නමුත් ඔහු හෝ ඇය සිදුකළ කැප කිරීම ගැන තවත් අයෙක් සාක්ෂි දැරීම යකඩ උණු කිරීමට පිලිකා සෛල පරාජය කිරීමට තරම් ප්‍රභලයි.

අද ඔහුගේ උපන් දිනය , මුළු හදවතින්ම ඔහුට සුභ  උපන් දිනයක් ප්‍රාර්ථාන  කරනව


මම
අයිරාංගනි ජයවර්ධන

ජීවිතේ කියන්නෙ රෝස මල් යහනාවක් නෙවෙයි . මුහුණුපොතේ සාමාජික සාමාජිකාවන්ට නම් මම ගැන අමුතුවෙන් කියන්න ඔින නෑ.මගේ ගම…

Posted by D Irangani Jayawardana on Wednesday, February 12, 2020