නැව් සුක්කානමත් ධර්ම චක්‍රයත් වෙන්කොට හඳුනාගත නොහැකි පොලිස් නිලධාරීන් නීතිය හා සාමය ආරක්ෂා කරන්නේ කෙසේද ?

2014 වසරේ නයෝමි කෝල්මන් මෙරටට පැමිණියේ නිවාඩුවක් ගත කිරීමටය. ඇය බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි.  ඇගේ දකුණු අතේ බුද්ධ රූපයක පච්චයක් කොටා තිබිනි. පච්චය පිලිබදව ගුවන් තොටුපල නිලධාරීන්ගෙන්  කිසිදු ගැටලුවක් නොවිනි. නමුත් අතේ බුදුරුවක් කොටා ඇතැයි කියා ටැක්සි රියදුරන් දෙදෙනෙක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙක් ඇයව අත් අඩංගුවට ගත්තෝය. නයෝමි පොලිස් ස්ථානය වෙත ‍රැගෙන ගියේ ඔවුන්ය .‍රැදවුම් භාරයේ සිටින විට පොලිස් නිලධාරීන් කිහිප විටක් අසාමාන්‍ය ලෙස ඇයගේ ගමන් මළු පරීක්ෂා කල අතර ඇයව බිය ගන්වා මුදල් ගැනීමටද උත්සාහ කර තිබුනි.  

බ්‍රිතාන්‍ය  ජාතික කාන්තාව මූලික අයිතිවාසිකම් නඩුවක් දමයි

මූලික විමර්ෂණ වලින් අනතුරුව ඇය අධිකරණය වෙත ඉදිරිපත් කලාය. ඇයට එල්ල කර තිබූ චෝදනාව වූයේ ශ්‍රී ලංකාවට ඇතුල් වීම  විශාල මහජන කැළඹීමකට ‌ හේතු වන බවය. පොලීසිය ඉදිරිපත් කල කරුනු පිලිගත් මීගමුව මහේස්ත්‍රාත්වරයා ඇයව පි‍ටුවහල් කිරීමට නියෝග කලේය. සිය රට බලා ගිය නයෝමි මෙරට නීතීඥයෙකු හරහා 2014 මැයි මාසයෙදී  මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවාය.

පොලීසියට සහ අධිකරණයට ඇඩ්‍රස් නැතිවූ උපරිමාධිකරන නඩු තීන්දුව

2017 නොවැ මාසයේදී නයෝමි කෝල්මන් පිටුවහල් කිරීම නීති විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේය. පිටුවහල් කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවිය යුතු බවට තීන්දු විය. එපමනක් නොව ඇය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා පෞද්ගලිකව  රු 50,000  බැගින් නයෝමි වෙත ගෙවිය යුතු විය.මීට අමතරව රුපියල් ලක්ෂ 2 ක් වූ නඩු ගාස්තුවද ගෙවීමට සිදු විය.

හසලක කාන්තාව අත්අඩංගුවට

පසුගියදා ධර්ම චක්‍ර රූපයට සමාන රුවක් මුද්‍රිත  ගවුමක් ඇද මාර්ගයේ ගමන් ගත් මුස්ලිම් කාන්තාවක් ගම්වාසීන්ගෙන් ලද පැමිනිල්ලකට අනුව හසලක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුනි. චෝදනා විමර්ශනය කල පොලීසිය අදාල කාන්තාව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් ඉදිරිපත් කළේය. සැකකාරිය මැයි මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝගයක් නිකුත් විය.

ඇත්තටම මෙය බුදු දහමේ ධම්ම චක්රයද?
නැතිනම් නැවක සුක්කානමක්ද?

මෙය ධර්ම චක්‍රයද සුක්කානමද ගැටලුව මතුවූ ප්‍රථම අවස්ථාව නොවේ

ලංකාවේ බෞද්ධයා ධර්ම චක්‍රය ලෙස සලකන වෙනත් රටවල ජනයා සුක්කානම ලෙස සලකන සලකුණ සහිත ඇදුම් පාවහන් අලෙවි කිරීම නිසා ගැටලු ඇති වූ පළමු අවස්ථාව මෙය නො වේ. 2011දී නුගේගොඩ බෙවර්ලි හිල්ස් සාප්පුවේ තිබුණු මෙවැනි සපත්තු කිහිපයක් සිංහල රාවය සංවිධානයේ මැදිහත් වීමෙන් අත්අඩංගුවට ගෙන තිබුනි. ඉන් අනතුරුවද භාන්ඩ වල ධර්ම චක්‍රය කොටා ඇතැයි ගැටලු පැන නැගුනු අවස්ථා එමටය. බෞද්ධ ස්වාමීන්වහන්සේලා කඩ වලට පැන සේවකයන්ට අඩන්තේට්ටම් කරන වීඩියෝ සමාජ ජාලා හරහා පැතිරුනි.

ධර්ම චක්‍රයට ගරාදි  කීයද ?

ධර්මචක්‍රය ආර්යාෂ්ටාංගික මාර්ගය නිරූපණය කරන ගරාදි අටකින් යුක්ත යයි ඇතැමෙක් තර්ක කරති. අනෙක් තර්කය නම් ආර්ය සත්‍ය  කියා පාන ගරාදි 24කින් චක්‍රයක් බවය

දුක්ඛ ආර්ය සත්‍යය -12 , දුක්ඛ සමුදය ආර්ය සත්‍යය -3 ,දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය -1 දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) -8

ධර්මචක්‍රයට පාදක වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනුව චක්ක යනු රෝදය බව ද, පවත්තන යනු ප්‍රවර්තනය හෙවත් පෙරළවීම බව ද එය ගරාදි 24 කින් යුතු විය යුතු බව ද බවමඩිහේ පඤ්ඤාසීහ හිමි 1978දී පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය මෙතැනින්)

ලොව වඩා භයානක වන්නේ නරක මිනිසුන්ගේ සාහසික බව නොව හොද මිනිසුන්ගේ නිහඩ තාවයයි

ධර්ම චක්‍රයද සුක්කානමද නැමති පැටලුමේ ආසන්නතම  වින්දිතයා  වීඇත්තේ  මහියංගන හසලක 47 වියති මසාහිමා නම් මුස්ලිම් කාන්තාවකි.  ඇයගේ ස්වාමිපුරුෂයා  අබ්දුල් මුනාෆ් ය . ඔහු එදිනෙදා කුලී වැඩක් කරමින් දිවි ගෙවන්නෙකි. මසාහිමා කාලයක සිට  කොන්ද ප්‍රදේශයේ ඇති වේදනාවකට ප්‍රතිකාර ගන්නියකි. ස්වාමි පුරුෂයා එවූ මුදල් ලබාගෙන ෆාමසියෙන් බෙහෙත් ටික ‍රැගෙන යාමට ගිය අතර තුර ඇය අත් අඩංගුවට පත් විය. ධර්ම චක්‍රයට අගෞරව කළා යැයි පවසමින් ලබන 27 දින තෙක් ඇය රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.


රජයෙන් හෝ යුක්තිය පසිදලන ආයතන වලින් සාධාරණය ඉ‍ටු නොවන්නේ නම්  නම් තව දුරටත් නිහඩව සිටිය යුතු නැත. තමන්ට හිමි යුක්තිය ඉල්ලා සටන් කරන්නේ නැති ජනතාවක් වේ නම් එම ජනතාව අයුක්තියට යටත්ව ජීවත් වීමට හිත හදා ගත යුතුය.

By – තුෂාරා වන්නිආරච්චි