අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීම – ලංකාවේ කොරෝනා

ලෝක සෞඛ්‍ය සංවිධානය ට අනුව  චීනයේ කොරෝනා වෛරය පැතිරීම ආරම්භ වී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙදීය. නමුත් ආර්ථිකයට සිදු වන බලපෑම සලකා  චීනය එය ලොවට වසන් කළේය . තම රට භයානක වසංගතයකට මුහුන දී සිටින බව චීනය නොවැම්බර්  පලමුවැනිදා පිළිගත්තේය . චීනයේ  සවුත් චයිනා මෝර්නිං පොස්ට් මාධ්‍ය ආයතනය නොවැ 17  කොරෝනා උවදුර ගැන මුල්ම ලිපිය පල කළේය. ඒ වන විට වූහාන් ප්‍රාන්තයම කොරෝනා වෛරසය විසින් ගිලගෙන තිබුනි.  මිය ගිය ගණන්, ආසාදනය වී ඇති රෝගීන් ගණන්  චීනය තව දුරටත් ලොවට වසන් කළේය. දෙසැම්බර් වන විට චීනය කොරෝනා වෛරසය ලොව පුරා බෙදා හැර අවසානය

මුග්ධ පාලකයන් සහ පූජකයන්

ලංකාවේ මිනිසුන්ට ජනවාරි මාසයේදී කොරෝනා මාතෘකාවක්  විය. නමුත් සැබැවින්ම් අපේ  මිනිසුන්ට මාතෘකාව වූයේ  කොරෝනා උවදුර නොව  වූහාන් වල සිට මෙරටට ගෙන ආ සිසුන් පිරිසය. එය වීරකාව්‍යක් ලෙස පෙන්වා දේශපාලන වාසි ලැබීමට පාලකයන් උත්සාහ කළේය. ආන්ඩුවෙ බත් බැලයන් වූහාන් මෙහෙයුම දිවා රෑ වර්ණනා කළහ . රටේ ජනපති , මාධ්‍ය, හමුදාපති වූහාන් සිසුන් බේරාගැනීම  අතිශයොක්තියට නැගුවා  මිස ලග එන තර්ජනය ගැන සිතුවේ නැත. චීනයට කොරෝනා හැදුනේ  මීයන් අමුවෙන් කන නිසා යයි ගෝඨාගේ ආධ්‍යාත්මික නායක කිරිබත්ගොඩ සාදු අමුතු බනක් කීවේය. චීනයට කොරෝනා හැදුනාට  අපිට හැදෙන්නේ නෑ යන මුග්ධ කල්පනාව පාලකයන් තුල පමනක් නොව පූජකයන් තුලද විය.

වූහාන් සිසුන් සහ විදේශ ශ්‍රමිකයන්

වූහාන් සිසුන් ආන්දෝලනයක් ඇති කළේ ඔවුන් එහි අසරණ වීම නිසා නොවේ නමුත් සිසු පිරිස අතර දේශපාලකයන්ගේ , දළකාරයන්ගේ දරුවන් සිටීම නිසාය. ඔවුන්ට ලැබුන අනුග්‍රහය ඉතාලියේ සිරවුනු මිනිසුන්ට, කොරියාවෙ සිරවුනු මිනිසුන්ට, මැදපෙරදිග සිරවුනු මිනිසුන්ට නොලැබුණි. විශේෂ අනුග්‍රහ  කෙසේ වෙතත්  කොරොනා ආසාදිත  තානාපති කාර්යාල සමහරක් ශ්‍රී ලංකිකයන්ට ඇතුල් විය නොහැකි ලෙස අගුළු දමා වසා ඇත  . ආන්ඩුව ඔවුන් ගැන තැකීමක් කළේ නැත . එපමනක් නොව සැලසුමකින් තොරව වැඩ කළ රජය  කොරෝනා වෛරසය රට පුරා පැතිරීමෙන් පසු  එහි වගකීම විදේශ ශ්‍රමිකයන් මත පැටවූයේය.

ආන්ඩුවේ ප්‍රමාදය සහ සැලසුමක් නොමැති වීම

නොවැ 18 ලෝක සෞඛ්‍ය සංවිධානය කොරොනා වසංගතය ගැන නිළ වශයෙන් දැනුවත් කළද ලංකාවේ රජය  ක්‍රියාත්මක වූයේ නැත . ඊට මුහුන දීමට නිසි වැඩ පිලිවෙලක් සැකසුවේ නැත. ගෝඨා කොරෝනා ගැන සාකච්ඡා කිරීමට ප්‍රථම ‍රැස්වීම කැඳවූයේ මාර්තු මස 10 දිනය . එම ‍රැස්වීමේදී ගත් තීරණයක් අනුව පසුදා සිටම නීරෝධායනය ආරම්භ කළේය . ගෝඨා ස්තාලයේ දොර වසන විට අශ්වයා පැන ගොස් හමාරය.දේශප්‍රේමියා දුර දකින්නෙකි . ගෝඨාබය නියම දේශප්‍රේමියෙක් නම්  කොරෝනා වෛරසයට එරෙහි මෙහෙයුම දියත් කරන්නේ මාර්තු 10 නොව නොවැ 17 දිනය . ගෝඨාභයට මාර්තු 10 තෙක් කොරෝනාවේ භයානක කම වැටහුනේ නැත. එය මැඩීමට වැඩපිළිවෙලක් තිබුනේ නැත.

විදේශ ශ්‍රමිකයන් ඉත්තෙකු ලෙස යොදා ගැනීම

රටේ ජීවනාලිය විදේශ ශ්‍රමිකයන්ය . මාර්තු 10 ක‍ටුනායකට ගොඩ බට මිනිසුන්ගෙන් කොරෝනා වැලඳුනු අය සිටියේ එක් අයෙක් පමනි.  නිසි වැඩපිලිවෙලක් නැති  රජය නිරෝගී මිනිසුන් 16 ක් වෛරසයට බිලි දුන්නේය.විදේශ ශ්‍රමිකයන් පෙරුම්පුරාගෙන මව් රටට එන්නේ ඉක්මනින් ගෙදර යාමේ අරමුනින්ය . නමුත් දින 14ක නීරෝධායනයක් ගැන පූර්ව දැනුම් දීමක් නොතිබුනි . එවැන්නක් දැනගත් ගත් පසු කළබල වීම සාමාන්‍ය දෙයකි.  පූර්ව දැනුම් දීමක් නොකිරීම රජය අතින් සිදුවූ වරදකි . තම වරද  වසා ගැනීමට ආණ්ඩුව නොහොඹිනා වැඩක් කළේය. කලබල වූ විදේශ ශ්‍රමිකයන් ඉත්තෙකු ලෙස යොදා ගත්තේය .  වචන හුවමාරුවේ යෙදෙන විදේශ ශ්‍රමිකයන්ට වැරදි අර්ථකථනයක් දුන්නේය . රජය ඉතා හොදින් නිරෝධයනය කරද්දී  විදේශ ශ්‍රමිකයන් ඊට එරෙහි වන්නේ යයි රටට පෙන්වූයේය.

පාලකයා ඇතා නම් හෙන්ඩුව විපක්ෂ නායකයාය

විපක්ෂ නායකයා රටේ සහ ජනයාගේ ආරක්ෂාව ගැන නිරන්තර සෝදිසියෙන් සිටිය යුතුය. විපක්ෂ නායකයා  දුරවබෝධ මිනිසෙක් විය යුතුය . පාලකයා යම් නොකළ යුත්තක් කරන්නේ නම් හෝ කල යුත්තක් නොකර සිටින්නේ නම් විපක්ෂ නායකයා විසින් එය ප්‍රශ්න කළ යුතුය. කොරෝනා වෛරය නිළ ලෙස ලොවට එළිදරව් වූයේ නොවැ 17 දිනය , පාර්ලීමේන්තුව විසිර වූයේ මාර්තු 2 දිනය. නමුත්  කොරෝනා රකුසා ගැන විපක්ෂ නායක සජිත් එකදු වචනයක් පාර්ලීමේන්තුවේ කථා කොට නැත. සජිත් චම්පික සමග එක්ව අලුත් පක්ෂයක් හැදීමට දත කෑම මිස රට ගැන හෝ පුරවැසින් ගැන සිතුවේ නැත. සජිත් දේශපාලන ‍රැස් වීම් පවත්වමින් , හරසුන් කථා කියමින් මෝඩයෙකු ලෙස හැසිරුනේය.

නායකයෙකුගේ සුජාත බව

ගෝඨා ජාතිය අමතමින්, ” තමන් කියන දේ අහන්නේ නෑ” යයි නිවට කථාවක් කිවේය. තමා එපා කියද්දී රෝයල්- ‍තෝමස් ක්‍රිකට් තරගය පැවැත්වූයේ යයි චෝදනා කළේය. රෝයල් – ‍තෝමස් ක්‍රිකට් තරගය ඇද ගනිමින් ගෝඨා පහර දුන්නේ නාමල්ටය. බෙන්ගමුවේ ධම්මදින්න හිමි සිරීපාදය වසන්නේ නැතැයි කීවේය. ධම්මදින්න හිමි මහින්දට හිතවත් නිසා  ඒ හරහා මහින්දට පහර දුන්නේය. මඩකලපුව විශ්ව විද්‍යාලය නිරෝධායනය සදහා ගැනීම මත ඇතිවූ ගැටලුවේදී එලිපිටම මහින්දට පහර දුන්නේය. රෝයල්- ‍තෝමස් ක්‍රිකට් තරගයට විරෝධය පෑ ගෝඨා ආනන්ද – නාලන්ද ක්‍රිකට් තරගය  බලන අයුරු මුළු රටම දැක්කේය. නායකයෙකු සිය සුජාත භාවය ඔප්පු කරන්නේ ජයග්‍රහණයෙදී නොව දුෂ්කර අවස්ථා කළමනාකරණය කරන ආකාරයෙනි . නිවරදි තීන්දුව නියම වේලාවට ගැනීම පාලකයා විෂයේ අත්හල නොහැකි වගකීමකි