කොරෝනා ක්‍රිකට් තරඟයක් නම් ලංකාව සිටින්නේ පලමු ඕවරය ක්‍රීඩා කරමිනි

මිනිසා වූ කලී විද්‍යාවේ කුළු ගෙඩි පහරින් මෝහනය වූ සත්වයෙකි.  ජීවීන්ගේ අධිපති තමා යයි පරිකල්පනය ඔවුන් තුල විය.  නමුත් බුද්ධියෙන් අසමසමයි සිතූ මිනිසා කෝවිඩ්-19  හමුවේ පරාජය විය. නොගැනිය හැකි තරම් කුඩා ජීවියෙකු මිනිසා ගොඩනැගූ බෙදුම් රේඛා සියල්ල සුන්බුන් බවට කළේය. පලා ගොස් සැඟවීමට තැනක් අහසෙහි ,පොලවෙහි පර්වත විවරයක තියා මිහිපිට වත් නොවුනි. මිනිසා පෙර නොවූ විරූ අයුරින් අපේක්ෂාභංගත්වයට පත් විය . ඔවුන් පරාජය වැළදගත් නිහඬ ප්‍රේක්ෂකයන් බවට පත් විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගොන් වැඩ

කෝවිඩ්-19 ඉදිරියේ ලෝකය අසරණ වූයේ පාලකයන්ගේ ප‍ටු දේශපාලන න්‍යාය පත්‍ර නිසාය. වෛරසය ව්‍යාප්තිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ වුවද ,එමගින් සිය ආර්ථිකයට ඇතිවන බලපෑම් සලකා චීනය එය ලොවට වසන් කළේය. සවුත් චයිනා මෝර්නිං පොස්ට් පුවත් පත වසංගතය ගැන ලොවට හෙළිකළේ නොවැ 17 දිනය. ඒ වන විට වෛරසය  වූහාන් සහ හුබෙයි යන ප්‍රාන්ත ගිලගෙන තිබුනි. රට භයානක වසංගතයකට ගොදුරුව ඇති බව  හෙළිදරව් කිරීමට චීනය ප්‍රමාද වූවා පමනක් නොව  රෝගින් ප්‍රමාණය , මියගිය ගණන  තව දුරටත් වසන් කළේය. එය කෝවිඩ්-19 ලොව පුරා පැතිරයාමට ප්‍රභල හේතුවක් විය. වෛරසය ව්‍යාප්ත වන මුල් අවස්ථාවෙදී ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වගකීම් නිසි ලෙස ඉ‍ටු කිරීමට අපොහොසත් විය

ඉතාලියට කොරෝනා බෝ වූ හැටි

ලෝකයේ   ”ෆැෂන් බ්‍රෑන්ඩ් ” වැඩි ප්‍රමාණයක හිමිකම ඉතාලිය සතුය. ඒවායේ කාර්ය්‍යාල සංකීර්ණ  බොහොමයක් පිහිටා ඇත්තේ ලොම්බාඩි නුවරය. බ්‍රෑන්ඩ් එක ඉතාලි  සතු වුවද ඒවා නිෂ්පාදන කළේ චීනයේ වූවාන් වලය. එම හේතුව නිසා ඉතාලි ජාතිකයන් නිතර නිතර වූහාන් වලට ගියේය. ලොම්බාඩි නුවරට කෝවිඩ් 19 පැමිණියේ ඒ අයුරිණි. ඉතාලි වැසියන්ගේ සම්භාෂණ ජීවන රටාව , නයිට් ක්ල්බ් , පා පන්දු තරග වැනි දෑ  වෛරසයේ පැතිරයාම සීග්‍ර කළේය. පාපන්දු උණ ස්පාඥයට කෝරෝනා ‍රැගෙන ගියේය . ජනප්‍රිය දේශපාලන තීන්දු මිස නිසි අණ පනත් බල ගැන්වීමට ඉතාලි පාලකයන් විචක්ෂණ නොවීය. අණපනත් ක්‍රියාතමක කලේ අශ්වයා පැනගිය පසු ස්තාලය වසන ස්වරූපයෙනි .

ඉතාලිය සහ ලංකාව

ඉතාලියේ මරණ ප්‍රතිශය 11% ආසන්න වී ඇත . ඉතාලියේ මරණ ප්‍රතිශතය වැඩි ඇයි?  රටේ වයස් ගත් වූවන් වැඩි නිසාද ? ඉතාලි ජාතිකයන්ගේ ප්‍රතිශක්තීකරණයේ දුර්වලතාවයක් නිසාද ? සෞඛ්‍ය සේවයේ අවුලක් නිසාද? විනෝදකාමී ජීවන රටාව නිසාද? ඉතාලියේ මරණ ප්‍රතිශතය වැඩි වූයේ ඒ කිසිවක් නිසා නොවේ. ඇත්ත කථාව වෙනත් එකකකි. අද දින වන විට  ඉතාලියේ කොරෝනා වැළදුන රෝගීන් ගනන ලක්ෂයක් ලෙස දැක්වුවද එය වැරදිය . ඉතාලියේ කොරෝනා වැළදුන ගනන මිලියනයකට වැඩිය. එවිට මරණ ප්‍රතිශතය 1%.

මෙම තත්වය ලංකාවටද පොදුය. මේ වන විට ලංකාවේ විශාල පිරිසකට කොරෝනා වැලදී ඇත. එමන්ම රෝගය  ඉතා සීග්‍රයෙන් රෝගය පැතිර යමින් පවතියි. අප දැන් මේ සිටින්නේ  රෝගීන්, රෝහල් කරා පැමිනීම දක්වා ගතවන කාල පමාව තුලය. එමෙන්ම ස්භාවික ප්‍රතිශක්තීකරනය හරහා අතිවිශාල පිරිසකට රෝගය සුව වන අතර සුව වෙමින් පවතියි.එම ගණන් ඉලක්කම් වාර්තා ගත වන්නේ නැත

මහජන මුදලින් බුද්ධි අංශයක් නඩත්තු කරන්නේ කුමටද?

පුරවැසියන්ට  ආරක්ෂාව සැපයීම රටක බුද්ධි අංශයේ  මුඛ්‍ය වගකීම වෙයි. මහජන මුදලින් බුද්ධි අංශයක් නඩත්තු කරන්නේ ඒ වෙනුවෙනි. ජනතාව අනතුරට පත්වීම හමුවේ බුද්ධි අංශයට අත සෝදා ගත නොහැක. මේවන විට ලෝකයේ බුද්ධි අංශ ප්‍රධානීන් ගණනාවක් දුෂ්කර අඩියකට පත්ව ඇත. ඇතැමුන්ට එරෙහිව චෝදනා ගොණු කොට ඇත. සමහරෙක් සේවයෙන් නෙරපා ඇත. නමුත් ලංකාවේ දැකිය හැක්කේ ජනාධිපති  සහ බුද්ධි අංශ ප්‍රධානියා මාරුවෙන් මාරුවට පිට කහ ගන්නා තත්වයකි. පසුගියදා ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශයේ  ප්‍රධානියෙක් රූපවාහිනි නාලිකාවකට ආවේය.(පරාක්‍රම සිල්වා දෙරණට ආවේය ) බුද්ධි අංශය  කොරෝනා වාහකයන් සොයා යන අයුරු අතිශයොක්තියට නැගුවේය. බුද්ධි අංශයේ  වගකීම වාහකයා සමාජ ගත වූ පසු සොයා යාම නොව අනතුරට පෙර නිරෝධායනයට යැවීම බව ඔහුට අමතක විය . 

ව්‍යවසනයට වගකිව යුත්තේ සංචාරක ඇමතිද , බුද්ධි අංශ ප්‍රධානියාද , ජනාධිපතිද

ලංකාවේ  සංචාරක ඇමති කෝවිඩ්-19 සංචාරක ප්‍රවර්ධනය සදහා යොදා ගත්තේය. ලංකාවේදී කොරෝනා  සුව කළ හැකි  යයි  හැඟවෙන ආකාරයේ වීඩියෝවක් සංචාරක ප්‍රවර්ධනය සදහා යොදා ගත්තේය. එම වීඩියෝව කොරෝනා  රෝගීන්ට යැවූ  ආරාධනා පත්‍රයක් බඳු විය. ඊට සමගාමීව එංගලන්තයේ PC Agency සමාගම හරහා  කොවිඩ් 19 න් ආරක්ෂා වීමට හොදම රට ලංකාව ලෙස ප්‍රවර්ධනය කළේය. ඒ අනුව කොරෝනා ආසාදිතයන් මෙරටට එන බව අනුමාන කිරීමට  මහා ලොකු බුද්ධියක් අවශ්‍ය නැත. ලංකාවේ බුද්ධි අංශය එක්කෝ කෝවිඩ්-19 සංචාරක ප්‍රවර්ධනය යොදා නොගන්න ලෙස  ජනාධිපති දැනුවත් කළ යුතුව තිබුණි , එසේ නොමැති නම් ආසාදිත සංචාරකයන් ගුවන් තො‍ටුපොලේදී හදුනාගැනීමට යාන්ත්‍රණයක් සකස්  කළ  යුතුව තිබුනි.නමුත් ඉන් එකක් වත්  සිදු නොවින. කොරෝනා මාරයා ගෙයි එළිපත්තටම පැමිණ සිටියදී  ලංකාවේ ජනාධිපති හැසිරුනේ වගකීම් විරහිතවය. ‘‘කොරෝනා රෝගීන් 28 හිටියා කියලා මට පුළුවන්ද රට ශට් ඩවුන් කරන්ඩ” ලංකාවේ ජනාධිපති කිවේය.

කළ කම් පළ දුන් හැටි ඉතාලි අවාසනාව

පෙබරවාරි අවසන් සතිය වන විට ඉතාලියේ තත්වය මාරාන්තික විය. ඒ සමගම එහි සිටින ශ්‍රමිකයන් මෙරටට පැමිනීම ආරම්භ විය. ඉතාලියේ සිටින ශ්‍රි ලාංකික  ශ්‍රමිකයන් බොහොමයකගේ ‍රැකියාව වැඩිහිටියන් බලා ගැනීමය. ශ්‍රමිකයන් හදිසියේ මෙරට එන්නේ මිය යන හෝ රෝහල් ගතවන ඉතාලි ජාතිකයන්ගේ මිල මුදල් සොරකම් කොට යයි කතාවක් විය. ඔවුන්ටද කොරෝනා ආසාදනය වී තිබිය හැකි යයි යන අනතුර ඒ සමග විය. නමුත් ඔවුන් නිරෝධායනය නොවී සමාජ ගත විය. එසේ පැමිණි ඇතැමුන්  රෝග වාහකයන් බව දැන් තහවුරු වී ඇත .ලංකාවේ ශ්‍රමිකයන් මියගිය ඉතාලි ජාතිකයන්ගේ මිල මුදල් සොරකම් කළා හෝ නොකළා විය හැක නමුත් ඔවුන් කෝවිඩ්-19 රැගෙන විත් ඇති බව දැන් ඔප්පු වී ඇත. බලධාරීන්, ඉතාලියේ සිට පැමිනි කොරෝනා  වාහකයන් සමාජ ගත වීම  නැවැත්වීමට අපොහොසත් විය.

සෞඛ්‍ය අංශය සහ ජනාධිපතිගේ මිලිටරිය අතර සීතල යුද්ධයක්

මේ වනවිට ලෝකයේ රටවල් සියල්ලම පාහේ කෝවිඩ්-19 සමග සටනක නියලී ඇත. ලෝකයේ කිසිදු රටක කොරෝනා මර්ධනය පිට දමා  මිලිටරිය උත්කර්ශයට නගන්නේ නැත. නමුත් ලංකාවේ ආරක්ෂක අංශ වීරත්වයට ඔසවන වේදිකාවක් ලංකාවේ දැකිය හැක. කොරෝනා සමග මුහුනට මුහුනලා සටන් කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයවළුන්ය. ලංකාවේ මිලිටරිය  සෞඛ්‍ය සේවකයන් දෙසට ගලා යා යුතු ප්‍රණාමය මිලිටරිය දෙසට හරවමින් සිටියි. මෙම නාටකය  මෙහෙයවන්නේ ලංකාවේ ජනාධිපතිය. මක් නිසාදයත් ලංකාවේ ජනාධිපති  හිටපු හමුදා නිළධාරියෙකි. මේ වන විට සෞඛ්‍ය අංශය සහ ජනාධිපතිගේ මිලිටරිය අතර සීතල යුද්ධයක් දක්වා තත්වය වර්ධනය වී ඇත. කෝවිඩ් -19  ක්‍රිකට් තරගයක් නම් ලංකාව මේ වන සිටින්නේ පලමු ඕවරය ක්‍රීඩා කරමිනි. නමුත් ප‍ටු දේශපාලන න්‍යාය පත්‍ර නිසා ඔවුන් හැසිරෙන්නේ තරගය දිනූ ජයග්‍රාහකයන් පරිද්දෙනි.

රෝගය පැතිරීමට හැර වක්‍රය පැතිලි කිරීම – ඇමෙරිකාව උවදුරට මුහුණ දීම සදහා යොදා ගන්නා උපක්‍රමය බව සිහි තබා ගත යුතුය

පසුගිය දින කිහිපය පුරා ආණ්ඩුවට හිතවත්  මධ්‍ය  වල ලංකාවේ කොරෝනා පාලනය උත්කර්ෂයට නගා තිබුනි. ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය සහ ලංකාවේ තත්වය සංසන්දනය කරන අයුරු දැක ගත හැකි විය. ගෝලීය වසංගතයකදී මුළු ලෝකයම එක් රටකි. එහෙයින් ඇමෙරිකාවේ වැඩියි අපේ අඩුයි කීම හරසුන් කථාවකි.

තවද , ව්‍යවසනකාරී  තත්වයෙන් ගොඩ ඒමට කළ යුත්තේ තවත් රටක් කරන දෙයක් කිරීම නොව ඒ ඒ රටවල් වලට ගැලපෙන  දේ කිරීමය. තවද ඇමෙරිකාවට කොරෝනා උවදුරට මුහුණ දීමට ඔවුන්ට අන්‍ය වූ සැලසුමක් ඇත. රෝගය පැතිරීමට හැර වක්‍රය පැතිලි කිරීම ඔවුන්ගේ උපක්‍රමය බව සිහි තබා ගත යුතුය.

රජය වහ වහා පිළියම් යෙදිය යුතු කරුණු 6කි

  1. කොරෝනා ව්‍යසනය හේතුවෙන්  ‍රැකියා අහිමි වන අයට යම් කිසි වෘත්තියක් නියලීම සහ අත්වැලක් සැපයිය යුතුය
  2. නීරෝධායනය හෝ කොරෝනා උවදුරට ගොදුරුවන පවුල් ‍රැක බලා ගැනීම
  3. විදේශ ගත ශ්‍රමිකයන්ගේ පවුල් කොරෝනා ව්‍යවසනයට ගොදුරු වූ විට විශේෂ අවධානයක් යොමු කළ යුතුය
  4. ගම් නගර සියල්ලක්ම ආවරණය වන පරිදි කොරෝනා සමග සටන් කිරීමට සේනාවක් නිර්මානය කළ යුතුය
  5. සෑම හමුදා කඳවුරකම ඇති Non public fund භාන්ඩ හා සේවා නීෂ්පාදනය සහ බෙදා හැරීමේ කාර්ය සදහා සදහා යෙදවිය යුතුය. කුලී පදනම මත සිවිල් වාහන ලබාගත යුතුය. මෙහෙයුම් දියත් කිරීමට සුදුසු සිවිල් පුරවැසියන් ස්වේච්ඡා සෙබලුන් ලෙස හමුදාවට අනියුක්ත කළ යුතුය
  6. හමුදාපති, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතින් වැනි වගකිව යුතු නිලධාරීන් රූපවාහිනී නාලිකා වල කථා පැවැත්වීමට ගෙන්වීම වහාම නවතා දමා ඔවුන්ට ඉහත සදහන් කළ මෙහෙයුම් , රාජකාරීන් ක්‍රියාත්මක කිරීම භාර කළ යුතුය .

ලෝකයේ අනෙක් රටවල හමුදාපති වරු , පොලිස්පතිවරු යනු බුද්ධිය මෙහෙයවා සැලසුම් හදන , ඒවා ක්‍රියාත්මක කරන සහ අධීක්ෂණය කරන පිරිසකි. නමුත් මෙසිරිලංකාවේ හමුදාපතිලා , පොලිස්පතිලා හුදු කථා කථා පෙට්ටි බවට පත් වී ඇත. එම තත්වයට මෙරටේ සියළු මාධ්‍ය ආයතන වග කිවයුතුය , එමෙන්ම පුරවැසියන් වොයිස් කට් වීරයන්ට ආවැඩීම වහාම නවතා දැමිය යුතුය . කථා පැවැත්වීමට නොව ඔවුන්ට බුද්ධිය මෙහෙයවා වැඩ කිරීමට ඉඩ හැරිය යුතුය

විශ්වයේ සනාතන ධර්මතාවය

කොරෝනා වෛරසය පිළිබද විවිධාකාරයේ මතිමතාන්තර ඇත. (Conspiracy theories). වෛරසය ඇමෙරිකානු විද්‍යාගාරයක  නිපදවූ එකක්  බවට  කථාවක් විය. නමුත් එම කථාවෙහි වලංගු භාවය දිනෙන් දින අහෝසි වෙමින් පවතියි.  මිහිමත ශක්ති උත්පාදනයේ  ප්‍රභවය සූර්යා නොව මිනිස් සිතය. සූර්යා  ශක්ති කෝෂයක් පමනි. මිනිස් සංකාරයදී නොහොත් සිතුවිල්ලකදී  සිතට (භවයට), ශරීරයට සහ විශ්වයට ලෙසින්  ශක්ති කදම්බ තුනක් පිට වෙයි  . මිහිමත ජීව, අජීව සියල්ල උද්පාද වන්නේ සංකාර වලට අනූරූපවය . වෙනත් වචන් වලින් කිව හොත්,  විශ්වය යනු විපාක නම් උප කුලක සමූහයකි. අතීතයේ HIV  වෛරසය කියා එකක් තිබුනේ නැත. HIV වෛරසය කාම සංකාර වලට ප්‍රතිරෝද විපාකයකි. HIV වෛරසය කරන්නේ ප්‍රතිශක්තීකරණය දුර්වල කිරීමය. ප්‍රතිශක්තීකරණය දුර්වල කරන රෝග බොහොමයකට හේතුව අවිචාරවත් ලෙස පංචස්කන්ධය පිනවීමය. කෝවිඩ් 19 ප්‍රතිශක්තීකරණය දුර්වල අයට මරණ වරෙන්තුව ‍රැගෙන විත් ඇත. අතීතයේ වෛරස් රෝග වලට දෙයියන්ගේ ලෙඩ කීවේ කට කහනවාට විය නොහැක.

කෝවිඩ් -19 විභාගයකි

කෝවිඩ් -19 වෛරසයේ  හැසිරීම සහ පර්යේෂණ ප්‍රතිඵල අනුව පෙනීයන්නේ රෝගය සුව කළ හැකි ඖෂධයක් පිළිබද තැබිය හැකි බලාපොරොත්තු අවම බවය. කරුණු එසේ හෙයින් කෝවිඩ් -19 පාලනය කිරීමට ඇත්තේ ප්‍රතිකර්ම 2කි.

  1. චීන ක්‍රමය – දැඩි නීති රීති පනවමින් වෛරසය ආවරණය කිරීම. මෙහිදී මරණ ප්‍රමාණය අඩු වන නමුත් පුද්ගල නිදහස අභාවයට යනු ඇත. තවද වෛරසය තවත් වටයකදී යලි පැමිණිය හැක
  2. බටහිර ක්‍රමය – ලිහිල් නීති රීති සහ සහ වෛරසය නිරාවරණය කිරීම.  මෙය ස්වාභාවික ප්‍රතිශක්තීකරණය සහ වෛරසය අතර ද්වන්ධ සටනකට ඉඩ සැලසීමකි. ප්‍රතිශක්තීකරණය සිරුර තුල ජනිත වීමත් සමග කෝවිඩ් -19 හුදෙක් සාමාන්‍ය උණක් බවට පත් වනු ඇත. මෙම ක්‍රමය අභිජනන වේගය අඩු කිරීමේ උපක්‍රමය  ලෙස හැදින් වෙයි .යම් ඉලක්ක ගත මරණ සංඛ්‍යාවක් මෙහිදී අපේක්ෂා කෙරේ

කැමති වුවද අකැමැති වුවද පාලකයන්ට සහ පුරවැසියන්ට මෙම ක්‍රම 2න් එකක් ‍තෝරා ගැනීමට සිදුවනු ඇත . පුරවැසියන්ට වඩා දුෂ්කර කාලයක් ගෙවීමට සිදුවන්නේ පාලකයන්ට සහ පූජකයන්ටය. ඉතිහාසය පුරා ජනතාව ‍රැවටූ ඔවුන්  වන්දි ගෙවන කාලය පැමින ඇත. ඔවුන් පැදුරටත් නොකියා අතුරුදහන් වන යුගය එළඹෙනු ඇත.

වචන වෙනස් වුවද ත්‍රීපිටකයේ අනිච්ඡත්වය. බයිබලයේ ප‍ටු දොර‍ටුව , කුරානයේ ‘තමා සෙවීම’ එකම කථාවකි. Die before death වෛරසයට නොවරදින ප්‍රතිකර්මයකි. අවසන් හුස්මට පෙර ‘මම’ නසාලීමෙහි වැදගත් කම  කෝවිඩ් -19 සිහිකැඳවා ඇත. කෝවිඩ් -19 විභාගයකි . පාස්වීමේ ප්‍රතිශතය රටින් රටට වෙනස් විභාගයකි .

By කීර්ති රත්නායක