මහින්ද සජිත්ට බැන වදී , කිච වූ සජිත් යන්න යයි

මහමැතිවරණය ජුනි මස 20 දාට නියම කිරීමෙන් පසු මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා පක්ෂ මහලේකම්වරුන් අතර පැවැති සාකච්ඡාවේදි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට දැඩිව බැන වැදුනේ ය.

ඉකුත් 21 දා මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැති අතර එහිදි මෙම උණුසුම් තත්ත්වය උද්ගත වුනේ ය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් පක්ෂ ලේකම්වරු බොහෝ දෙනෙක් විමසා ඇත්තේ මැතිවරණයට දින නියම කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ එකඟතාවය මත ද යන්නයි. එම පැනයට අවස්ථා කිහිපයකදීම පිළිතුරු දුන් සභාපතිවරයා සෞඛ්‍ය බලධාරීන් තවදුරටත් සෑහීමකට පත් නොවන්නේ නම් තවත් අවස්ථාවක් ඡන්දය කල් දැමීමේ හැකියාව තමන්ට පවතින බව ද පැවසීය.

මෙසේ තිබියදී සජිත් ප්‍රේමදාස යළිත් විමසන ලද්දේ මෙම දිනය නියම කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මතද? කියා ය.

එහිදි කෝප වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම පැනයට තමන් අවස්ථා කිහිපයක දී පිළිතුරු දුන් බවත් ඔබ එය අසා සිටියේ නැතිදැයි උස් හඩින් පිළිතුරු දුන්නේ ය. ඊට ප්‍රතිඋත්තර දුන් සජිත් ප්‍රේමදාස , පක්ෂ නායකයෙකු ලෙස තමන්ට ඕනෑම ප්‍රශ්නයක් විමසිය හැකි බව කීවේ ය.

එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, “ඔයා පක්ෂ නායකයෙක් ද? යි ගත් කටටම විමසුවේ ය. “පක්ෂ නායකයෙක් නම් මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතු බවත් මෙලෙස කටයුතු කිරීමෙන් පක්ෂ නායකයෙක් කියා නොපෙනෙන බවත්”.සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ය. සභාපතිවරයා දිගින් දිගටම උස් හඬින් කියාගෙන කියාගෙන යද්දි සජිත් ප්‍රේමදාස රැස්වීමෙන් නැගිට ගියේ ය.මෙම අවස්ථාවේ දී පක්ෂ නායකයින් රැසක් සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

LEN