කයිවාරු විරුවන් අතර වැඩක් කළ අපේ විරුවා – යුග පුරුෂයෙකුගේ රුව ගුණ

ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමතානන්ගේ 27 වන ගුණ සැමරුම අදට යෙදී ඇත. දාර්ශනික භාවය, මානුෂීය භාවය, අවංක භාවය ආදී යහපත් ගතිගුණවලින් පිරී ගිය ඔහු ජන හදවත් තුළ නොමැකෙන සටහනක් තැබූ  නායකයෙකි. එතුමා ජාතික ආරක්‍ෂක, වෙළෙඳ හා නාවික  සහ කෘෂිකර්ම ඇමැති ධූර දරමින් යුග මෙහෙවරක් කළේය. උපන් බිමට සේවය කිරීමට බුද්ධිමතුන් තැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මහපොළ ශිෂ්‍යත්ව ඇතිකළේය.

ඔහු සමස්ථ දේශපාලන ධාරාවට ආදර්ශමත් චරිතයක්‌ විය, පාර්ලිමේන්තුවේ කතා කළ ආකාරය, හැසිරුණ විදිය, ජනතාව සමග කටයුතු කළ ආකාරය අනෙක් දේශපාලනඥයන්ට ආදර්ශයක් විය. එතුමා තුළ තිබූ දාර්ශනික භාවය, වැකිවල තිබූ ප්‍රබුද්ධ භාවය, මානුෂීය භාවය සහ අනාගත දැක්‌ම අසමසම විය.

ප්‍රශ්නයක්‌ මතුවූ විට ‘කවුද’ නොව එහි ස්‌වභාවයව විමසීම ඔහුගේ ක්‍රමය විය. ‘කවුද’ වැරදි නොව  ‘වරද’ කොතනදැයි සෙවීමට එතුමා යුහුසුළු විය. එතුමා උස් තැන් වල හැකිලුන මිටි තැන් වල ගෙරවූ අයෙක් නොවුනි. මූනිච්චාවට නොව  හදවතින්ම පොඩි මිනිසුන්ට ආදරය කළේය . දිළිඳුකම නැති කිරීමට කළයුතු එකම දෙය උගතුන් වැඩි කරීම බව ඇතුලත්මුදලි මහතාගේ දර්ශනය විය. ඒ වෙනුවෙන් මහපොළ ශිෂ්‍යවත්ව ක්‍රමයට පීතෲත්වය දුන්නේය

මාගේ දේශපාලන ගුරුවරයා ඔහුය. රටකට අවශ්‍යවන්නේ උගත් බුද්ධිමත් වැඩ කරන විරුවන් බව ඇතුලත්මුදලි ප්‍රයෝගිකව ඔප්පු කළේය.   දේශපාලනඥයන්ට මෙන්ම සමාජයට ඇතුලත්මුදලි චරිතයෙන් උගත හැකි පාඩම් බොහෝය. මෙවන් ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ රුව ගුණ වසරකට වරක් නොව නිරන්තරයෙන් සිහිකිරීම සමාජයේ ප්‍රගමණයට හේතු වන බව මාගේ විශ්වාසය වෙයි. දිවි සැරිය තුල ඔහු  කළ  ශ්‍රේෂ්ඨ රචනාව  අනාගත පරපුරට දායාද කිරීම අප සැම සතු යුතුකමකි.

හිටපු අමාත්‍ය සහ පා.ම රවි කරුණානායක