පක්ෂ- විපක්ෂ දේශපාලනය වෙනුවට ගෝඨා ජාතික ආණ්ඩුවකට !


යුද්ධය අවසන් කල රාජපක්ෂලා එහි උද්දාමයෙන් රට කිරීමට උත්සාහ කළේය. රාජ්‍ය යාත්‍රණයේ පැවති අකාර්යක්ෂමතාව හා දූෂිත ස්වභාවය තුරන් කිරීමට කිසිවක් නොකළේය. අල්ලස් සහ කොමිස් වලට ගිජුව රට චීනයට උගස් කළේය. 2015 දි ජනතාව රාජපක්ෂලාට දඩුවම් කොට සිරිසේන ප්‍රමුඛ යහපාලනයට රට බාර දුන්නද වෙනසක් කිරීමට එජාපය අපොහොසත් විය .තිත්ත දේශපාලනයේ ඇත්ත කථාව ඕකය.

මහින්ද නිෂ්ක්‍රීය කිරීම ගෝඨාගේ අරමුන විය


2019 දී ගෝඨා ජනපති ලෙස තේරී පත් වුවද ඔහුට විධායක බලයක් නොතිබුණි, එය මහින්ද සතු විය .කරුණු එසේ වූ හෙයින් තුනෙන් දෙක ගෙන අගමැති නිෂ්ක්‍රීය කොට විධායකය ස්ථාපිත කිරීම ගෝඨාගේ සිහිනය විය. ඒ අරභයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පුළුවන්කම ලැබුණු පළමු දිනයේදීම එය විසුරුවා හැරියේය. නමුත් කොරෝනා නිසා මැතිවරණය පැවැත්වීමට නොහැකි විය.

ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තා නසී


පාර්ලීමේන්තුව විසිර වීමෙන් පසුව මුදල් වැය කිරීමේ බලය ජනාධිපතිට ලැබුණද, එය මාස 3 කට සීමා වෙයි . එම නිසා මැතිවරණය කල් තැබීම ගෝඨා විෂයේ ගැටලුවක් විය. මැතිවරණය කල් යන්නේ නම් පැරණි පාර්ලීමේන්තුව කැදවීම විකල්පයකි.නමුත් එහි බහුතර බලයක් නැති නිසා ගෝඨා ඊට අකමැතිය. මැතිවරණය කල් යාමද රාජපක්ෂලාට අවාසිය. දිනෙන් දින රට වැටෙන නිසා ජනතා ප්‍රසාදය අඩු වීම ඊට හේතුවය

ජනයා ‍රැව‍ටුනද වෛරසය ‍රැව‍ටුනේ නැත.

ඉක්මන් මැතිවරණයක් දිනා ගැනීම සඳහා ආණ්ඩුව කොරෝනා ගණන් ඉලක්කම් වෙනස් කළේය. කොරෝනා පාලනය කළා යයි අතේ රෝල් බොරු කියමින් ජනතාවට ‍රැවටීමට කටයුතු කළේය. අප්‍රේල් 19 වනදා වනවිට වසංගත තත්ත්වය අවසන් වන බව එත්තු ගැන්වීමට හැදුවේය. ජනයා ‍රැව‍ටුනද වෛරසය ‍රැව‍ටුනේ නැත. වෛරසය ගෝඨාට අභියෝග කළේය.

කුමක්ද මේ ව්‍යවස්ථා අර්බුධය


මේ අතර මැතිවරණ කොමිසම චන්ද පැවැත්වෙන දිනය ලෙස ජූනි 20 නම් කළේය. නමුත් එම දිනය ව්‍යවස්ථාවේ නියමයන්ට පටහැනිය. පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මාර්තු 2 ය. එතැන් සිට මාස තුනක් ගත වීමට පෙර නව පාර්ලීමේන්තුව ‍රැස් විය යුතුය. එනම් ජූනි 2වනදා හෝ ඊට පෙරය. නමුත් කොමිසම ඡන්දයට දින නියම කළේ ජුනි 20 ය. ජූනි 20 කතාවද ෂුවර් නැත. දැන් ගෝඨා ව්‍යවස්ථා අර්බුධයකට මැදි වී ඇත.

කාලකන්නි පාලකයන් සහ පක්ෂ දේශපාලනයේ වහළුන්


ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම වළකා ගතහැකි පහසුම මග අධිකරණ මතය ලබාගැනීමය. නමුත් ඊට මැකෝ සහ ගෝඨා යන දෙදෙනාම අකමැතිය. දැන් කෝච්චිය තිබෙන්නේ රේල්පාරේ නොව පිටය. යන්න හදන්නේ රේල් පාරේ නොව මහපාරේය. රියදුරා පමණක් නොව දුම්රියේ සිටින මිනිසුන්ද රේල් පාරේ යන ගමනට වඩා මහපාරේ යන ගමනට කැමති සෙයක් දිස් වෙයි.එම ගමන කෝච්චියට මෙන්ම ජනයාට විනාශය ගෙන දෙන බව වටහා නොගැනීම අවාසනාවකි

විනාශය කරා අප යන ගමන දෙගුණ තෙගුණ වී ඇත


අද ලංකාව සිටින්නේ කොරෝනා ආධාරවලින් රට දුවන තත්ත්වයකය. රජයට ආදායම් ලැබෙන මාර්ග බිඳ වැටී ඇත. පුද්ගලික අංශය කඩා වැටී ඇත. රක්ෂා අහිමි වී ඇත. නමුත් ලබා ගත් ණය සතයක් වත් අඩු වී නැත. ඒවා එලෙසම ගෙවිය යුතුය. කොරෝනා සමග ලංකාවේ සමාජ-දේශපාලන හා ආර්ථිකය ක්‍රියාවලිය කඩා වැටීමේ වේගය දෙගුණ තෙගුණ වී ඇත.

පක්ෂ-විපක්ෂ සාම්ප්‍රදායික දේශපාලනය වෙනුවට ජාතික දේශපාලනයක් ගැන සිතිය යුතුව ඇත.70 වසරක් කළ විගඩම දැන් වත් අවසන් කළ යුතුය . එසේ නොවුව හොත් දැන් හෝ නොදැන ඔබත් මමත් රට විනාශ කිරීමේ පාපයට හවුල් වනු ඇත.

ජාතික ආණ්ඩුවක් යනු මහින්ද ගෝඨා- රනිල් සජිත් එකමුතුවකට එහා ගිය සංකල්පයකි.පක්ෂ දේශපාලනය වෙනුවට රට නැගීම වෙනුවෙන් ගොඩනගන එකමුතුවකි.මිනිසුන්ගේගේ එකමුතුවකට එහා ගිය ප්‍රතිපත්තීමය එකමුතුවකි.