මෝදිගේ හින්දුත්වා රැල්ල අපට කියා දෙන පාඩම්

අද භාරත දේශය දෙවන වරටත් මෝදි රැල්ලකට හසු වී ඇත. භාරතයට පෙම් රැල්ලක් වූ මෝදි සිය දෙවෙනි ඉනිමේදී අපට කුණාටුවෙක් වේද යන්න තවම කිව නොහැක.  නමුත් මතක ඇති තාක් කල් අපේ අසල් වැසි ජාතීන්ට කොකා පෙන්නා ඔවුන්ගේ සතුරු ජාතීන්ට කඩේ ගිය අපට ඉන්දියාවෙන් ලොකු ලෙන්ගතුකමක් බලාපොරොත්තු විය හැකිද යන්නත් ගැටළුවකි.  නමුත් අද ප්‍රශ්නාර්ථය එය නොවේ. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයෙහි මෑත කාලීනව සිදු වූ දේශපාලන සහ මතවාදමය පෙරළිය අපට දෙන රතු එළි රැසක් ඇත.

ගාන්ධි සහ නේහ්රුගේ “ඉන්දීය ජාතික කොන්ග්‍රසය” සහ වැරදී ගිය සුළුජාතීන් පිනවීම.

අද දෙවන වරටත් අන්ත පරාජයට පත් වූ ඉන්දීය ජාතික කොන්ග්‍රසය එරට ඉතිහාසයෙහි සාඩම්බර ස්ථානයක් දැරූ පක්ෂයකි. ලෝක පුජිත මහාත්මා ගාන්ධි සහ ශ්‍රී ජවහර්ලාල් නේහ්රු වැනි නායකයන් විසින් පිහිටවා වසර 65 කට අධික කාලයක් ඉන්දීය දේශපාලනයෙහි ඒකාධිකාරයක් දැරූ පක්ෂයකි. එවන් පක්ෂයක් අද 552ක් වූ ලෝක් සභා පාර්ලිමේන්තුවේ ආසන 55ක් වත් දිනා ගත නොහැකි දුර්වල පක්ෂයක් ලෙස බලු වී සිටී. හේතුන් ගණනාවක් තිබුනද මෙම මහා පරාජයෙහි මූලිකම කරණය අපටද බොහෝ සෙයින් අදාළ වන විෂයකි. එනම් සුළු ජාතීන් පිනවීමයි. (Minority Appeasement). අධික වාර්ගික විවිධත්වයක් ඇති භාරතයෙහි මුලික වශයෙන් ජාතීන් හඳුනා ගන්නේ ඔවුන් අදහන ආගම ඇසුරිනි. 80% කට ආසන්න හින්දූන් මහ ජාතිය වන්නේද අනෙක් ආගමිකයන් සුළු ජාතීන් වන්නේද එබැවිනි. මහජාතීන්ගේ චන්ද ප්‍රධාන පක්ෂ අතර බෙදී ගිය පසු සුළු ජාතීන්ගේ චන්දවලින් මැතිවරණ ගොඩ යාම (Votebank Politics) ඉන්දීය කොන්ග්‍රසයේද පුරුද්දක්ව පැවතුනි. මෙහි ආදීනව අපට වඩා දන්නා තවත් ජාතියක් මිහිපිට සිටීද? සියළු ජාතීන්ට සම තැන් දීම එකකි. නමුත් සුළු ජාතීන්ගේ චන්ද වලට යට වී මහා ජාතිය නොසළක හැරීම දේශපාලන සියදිවිනාසාගනීමකි. (Political Suicide). දශක සයක් වැජඹුණු ඉන්දීය ජාතික කොංග්‍රසයට සිදු වූයේද එයමයි.

සුළු ජාතීන් පිනවීමේ ආදීනව සහ මහජාතිවාදයේ නැගිටීම

සුළු ජාතීන් පිනවා තරඟකාරී චන්ද ජයගැනීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිපදින ලොව බොහෝ රටවල ඇති වූ දේශපාලන රැල්ලකි. දශක ගණනාවක් එම ප්‍රපංචය ඉවසා දරා සිටි මහජාතීන්, ඉන් පසු එයට එරෙහිව නැගී සිටීම ලොව පුරා මහජාතිවාදය (Majoritarianism) හරහා සිදු වන්නට විය. මහජාතිවාදය බොහෝ විට දක්ෂිණාංශික (Right Wing) හෝ මාධ්‍යමික(Centrist)දේශපාලන පක්ෂ හරහා පැතිරුනේ වාමාංශික පක්ෂ (LeftWing) බහුතරයක් සුළු ජාතීන්ට පක්ෂග්‍රාහීව සිටීම නිසාය.  2014 දී භාරතයෙහි සිදු වූ නරේන්ද්‍ර මෝදි ගේ ජයග්‍රහණයද, 2016 දී එක්සත් ජනපදයෙහි සිදු වූ ඩොනල්ඩ් ට්‍රුම්ප් ගේ ජයග්‍රහණයද, 2017 දී ප්‍රංශයෙහි සිදු වූ ඉමැනුවෙල් මැක්රන් ගේ ජයග්‍රහණයද මෙම දේශපාලන රැල්ලෙහි සන්ධිස්ථානයන් වන්නේය. මෙම නායකයන් සහ ඔවුන්ගේ පක්ෂ මහජාතියට සහ ඔවුන් මුල්කොට ගත් ජාතික අනන්‍යතාවයට මුල් තැන දෙන බවට දිවුරා බලය තහවුරු කර ගැනීම, මෙම දේශපාලන ප්‍රපංචයෙහි ස්වභාවය මැනවින් පැහැදිළි කරයි. එයිනුදු නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය සිය පොරොන්දු සාර්ථකව ඉටු කර ඇති බව අද ඔවුන් ලැබූ මහා ජයග්‍රහණයෙන් මැනවින් ඔප්පු වී ඇත.

මහජාතිවාදයෙහි ගුණ සහ නුගුණ

මහජාතිවාදයෙහි අපට නොසළකා හැරිය නොහැකි වාසිද නැතුවාම නොවෙයි.  ප්‍රධාන කරුණ වන්නේ රටක ජාතික අනන්‍යතාවයට සහ ඓතිහාසික පසුබිමට එයින් ලබා දෙන ප්‍රමුඛත්වයයි. මහජාතිවාදය ආරම්භ වනුයේද බොහෝ විට ජාතිකවාදය (Nationalism) සහ දේශමාමකත්වය (Patriotism) හරහාය. මේවා කිසි විටක රටකට අහිතකර සංකල්ප නොවේ. නමුත් මහජාතිවාදයෙහි මහා භයානක පැතිකඩක් ඇත. එනම් කාලයත් සමඟ එය රටේ දේශපාලන ව්‍යුහය තුල ආක්‍රමණකාරී ලෙස ඔඩු දුවා, වර්ගවාදය (Racism) සහ ආගමික අන්තවාදය(Religious Extremism) දක්වා වර්ධනය වීමට ඇති දැඩි නැඹුරුවයි. අවසානයේදී සුළුජාතින් පීඩිත වී තවත් වාර්ගික හෝ බෙදුම්වාදී අර්බුදයක් දක්වා වර්ධනය විය හැක. මෙය ඉතා භයානක විෂම චක්‍රයක ආරම්භය වනුයේ එබැවිනි.

සුළුජාතින් පිනවීම සහ මහජාතියේ  ප්‍රතිචාරය.

බොහෝ දෙනෙක් ඊ ලඟට නඟන පැනය වනුයේ මෙය සාර්ථකව මැඩ පවත්වා ගන්නේ හෝ අපට උචිත ලෙස අනුවර්තනයකර ගන්නේ කෙසේද යන්නයි. මෙහි මතක තබා ගත යුතු කරුණ වන්නේ මහජාතිවාදය යනු ක්‍රියාවකට වඩා ප්‍රතික්‍රියාක්වක් බවයි. අවස්ථාවාදී දේශපාලඥයන් සිය පටු දේශපාලන වාසි තකා අනවශ්‍ය ලෙස සුළු ජාතීන් පිනවන තාක් සහ සුළු ජාතික දේශපාලන පක්ෂ සිය ජාතිය හෝ ආගම විකුණමින් චන්දය රැස් කරනා තාක් එයට එරෙහිව එන ප්‍රති පෙරමුණක් ලෙස මහජාතිවාදය නැගී සිටීම නැවැත්විය නොහැක. එය එක්සත් ජනපදය සහ ප්‍රංශය වැනි දියුණු රටවල සිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් දක්වා එකම ලෙස බලපායි.

නායකයන්ගේ සහ ජනතාවගේ වගකීම

අත්‍යාවශ්‍යම පියවර වන්නේ රටෙහි ජනවර්ග හෝ ආගම් පෙරටු කර ගනිමින් පවතින පක්ෂ අධෛර්යමත් කිරීමයි. මේ සඳහා රටෙහි සියළුම ජනවර්ග සහ ආගම් එකමුතුව ක්‍රියා කළ යුතුය. ජනවර්ගයක් හෝ ආගමක් පෙරටු කරගෙන දේශපාලනය කිරීම ශිෂ්ට සමාජයට නොගැළපෙන ගෝත්‍රික සංකල්පයකි. උගත් බුද්ධිමත් පුරවැසියකුගේ වගකීම වනුයේ රටෙහි ජාතික අවශ්‍යතාවය තේරුම් ගෙන ඊට උචිත මතවාද සහ චින්තන පෙරටු කොට ගත් ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ සහ නායකයන් තෝරා පත් කර ගැනීමයි. ජනවර්ග සහ ආගම් විකුණමින් චන්දය කඩා ගන්නා පටු දේශපාලකයන් සහ පක්ෂ ගෙදර යැවීමට ජාති සහ ආගම් භේද නොසළකා ජනතාව පෙළ ගැසිය යුතුය. නායකයන්ගේ වගකීමද මෙයමය. සිය පටු දේශපාලන අරමුණු ඉවත ලා, රටට හිතැති දැක්මක් සහ වැඩපිළිවෙලක් හරහා ජනතාව දිනා ගත යුතුය. ඔබ ජාති, ආගම් සහ අනෙකුත් බෙදීම් සිය චන්ද ගුණ්ඩු ලෙස භාවිතා කරන තාක් මෙම අවුල තව තවත් පැටලීම කිසිවකු හට නැවැත්විය නොහැක. මේ කර්තව්‍යට අප සුදානම් ද යන්න අප අපගෙන්ම ඇසිය යුතු පැනයකි.

By  ටාන්යා ප්‍රනාන්දු – දූත සේවා නිලධාරීනි