මරා-සිරා හවුල ගෝටාගේ සිහිනය බොද කරයිද ?

සිරිසේන යනු රත්තරන් හැන්දක් කටේ ගහන් ඉපදුන අයෙකු නොවේ. නමුත් ඔහු රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂයේ මහලේඛම් වී අනතුරුව ජනාධිපති ධූරය දක්වා ගමන් කලේය. කවුරුන් කෙසේ කීවද ඒසා දිගු ගමනක් යාමට නම් කෛරාටිකත්වය මෙන්ම දක්ෂතාවය තිබිය යුතුය. 2014 රාජපක්ෂ ආන්ඩුව පෙරලීමේ පලමු පියවර ඇරඹුනේ ලන්ඩන් නුවරිනි. තුන් කොන් මන්ත්‍රනයක් වූ ඊට සහභාගි වූයේ චන්ද්‍රිකා , මංගල සහ ඊනිවුස් කතෘ සදරුවන්ය. පොදු අපේක්ෂකයා ලෙස සිරිසේනගේ නම යෝජනා කලේ චන්ද්‍රිකාය.නමුත් සිරිසේන ජනපති අපේක්ෂකයා කරනවාට සදරුවන් විරුද්ධ විය, ඔහුගේ මතය වූයේ සිරිසේන අගමැති අපේක්ෂකයා කොට කරු ජයසූරිය ජනපති අපේක්ෂකයා කල යුතු බවය. එම මතය ඔහු ලියන ”ආනුභාවනන්දගේ කොලම” හරහා දිගින් දිගටම අවධාරණය කලේය. මංගලගේ මතය වූයේද රාජපක්ෂ ගල්ලෙන බිද කවරෙක් පැමිනියද ඔහුට දිය යුත්තේ අගමැති අපේක්ෂකත්වය බවය. රාජපක්ෂලා පරාජය කිරීමට සැලසුම් හදන විට රනිල් ඒ අහලකවත් සිටියේ නැත.

සිරිසේන හීන් නූලෙන් චන්ද්‍රිකා ඇන්දවූ  හැටි

චන්ද්‍රිකා ලන්ඩන් නුවර පැවති තුන්කොන් සම්මන්ත්‍රයෙන් අනතුරුව සිරිසේන හමු වූවාය. සිරිසේන චන්ද්‍රිකා සමග කථා කලේ වෙනදාටත් වඩා ගෞරවයෙනි .පිටවන වචනයක් ගානේ ඇතුවේ ”මැඩම්’ කියාය. හාමුගේ තැන චන්ද්‍රිකාට දුන් සිරිසේන වහලාගේ තැන වූයේ ස්වේච්ඡාවෙනි. මේකා ජනපති වුව හොත්  මගේ පදයට නැට විය නොහැකිදැයි ඇයට නොසිතීමට හේතු නැත. සිරිසේන මුලින්ම හොරගෝල්ල වලව්වට පැමිනියේ කොලු ගැටයා කාලයේදීය. එදා පටන් වලව්වේ හාමුලාට බය පක්ෂපාතීව කටයුතු කලේය. මහින්ද ආන්ඩුවේ ඇමතියෙකු වුවද චන්ද්‍රිකාට තිබූ ඇගෑලුම අඩු නොකලේය. භාරත ලක්ෂ්මන් ඝාතනය වූ දින චන්ද්‍රිකාට සමග කථාකල සිරිසේන නිදහස් පක්ෂය බේරාගන්නා ලෙස ඇයගෙන් ඉල්ලුවේය. චන්ද්‍රිකා දැන සිටියේ තමන්ට හීලෑ වූ එවන් සිරිසේනයෙකු ගැනය .නමුත් රනිල් යනු හොරගොල්ල වලව්වේ ඓතිහාසික ප්‍රතිවාදියාය . කරුණු එසේ හෙයින් චන්ද්‍රිකාට  රනිල්ට වඩා ”ෂුවර්”  වූයේ සිරිසේනය.

චන්ද්‍රිකා මූලික සැලසුම වෙනස් කල හැටි

චන්ද්‍රිකා ලන්ඩන් සාකච්ඡාවේදී එකගවූ කරුණු වලට පි‍ටුපෑවාය. රනිල් හමුවූ චන්ද්‍රිකා  සිරිසේනට ජනපති පු‍ටුවද , රනිල්ට අගමැති පු‍ටුවද හිමිවන අලුත් සැලසුමක් ඉදිරිපත් කළාය. ඇය පපුවට අත තබා සිරිසේන විශ්වාස කලන ලෙස ඉල්ලා සිටියාය. අවසානයේ ක්‍රියාත්මක වූයේ ලන්ඩන් සැලසුම් නොව චන්ද්‍රිකාගේ සැලසුමය. ජනවාරි 8 පටන් සිරිසේන  ගැසූ  ගේම් ගැන අමුතුවෙන් කිව යුතු නැත. රටට අත්වූ සෙත කෙසේ වුවද රනිල් මහින්ද දෙබානටම හීන් නූලේන් කෙලියේය. ඔක් 26 සිරිසේන අගමැති රනිල් බලයෙන් පහ කලේය. මහින්ද කීවේ එවැනි තීන්දුවක් ගැනීමට තමාටවත් ශක්තියක් නැති බවය. සිරිසේන-මහින්ද ආන්ඩුව පැවතියේ දින 52කි . අධිකරණ තීන්දුවෙන් බිද වැ‍ටුනේ මහින්ද – සිරිසේන  ආන්ඩුව පමනක් නොවේ.  සිරිසේනගේ 2020 බලාපොරොත්තුවද ඉරිතලා ගියේය. එපමනක් නොව සිරිසේන – රාජපක්ෂ ඩීල් වලට රට්‍ටු හිනා වූවෝය

දින 52 ආන්ඩුවෙන් පසු කරලියට පැමිණි ඥානසාර හිමි නාටකය

ඔක් කුමන්ත්‍රණයෙන් පසු සිරිසේන තවත් ”ගේම්” එකකට පිටිය සකස් කළේය. එහි මුල් පියවර වූයේ සිරගතකල ඥාසාර හිමි නිදහස් කිරීමය. ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහානායක හිමිවරු , සිවිල් ක්‍රියාකාරීන් ගනනාවක් බුද්ධ සාසන අමාත්‍යංශයෙන් ඉල්ලීම් කළේය. එම ඉල්ලිම වලට ප්‍රතිචාර නොදක්වා සිටීමට බුද්ධශාසන ඇමතිට බැරි විය .ගාමිනි ජයවික්‍රම තමා වෙත ලැබුනු අභියාචන අවරණ ලිපියක් මගින් සිරිසේන වෙත යොමු කලේය . ඒ සමගම අසාත් සාලි ඇතුලු මුස්ලිම් දේශපාලකයන් කිහිප දෙනෙකුද ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා සිටියෝය. මේ අතර තිලංග සුමතිපාල ඇතුලු පිරිසක් වැලිකඩ සිරගෙදරට ගොස්  ඥානසාර හිමි නිදහස් කිරීමේ සැලසුම සම්බන්ධීකරණය කළෝය. එහිදී සිරිසේන පාර්ශවයෙන් කොන්දේසි ගනනාවක් ඉදිරිපත් කර තිබූ අතර ඥානසාර හිමි ඒවායින් වැඩි ගනනකට එකග වී තිබුනි. පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමගම ඥානසාර හිමිට තිබූ ඉල්ලුම වැඩි විය . එහෙයින් නිදහස් කිරීම කඩිනම් විය.

මහින්ද නාමල්  සිරිසේනගේ පොදු ගුණාකාරය

පාස්කු ප්‍රහාරය ලාංකික දේශපාලනය උඩු යටිකුරු කලේය. පාස්කු ප්‍රහාරය සමග සිංහල  බෞද්ධ බලවේගය ගෙඩිය පිටින්ම රාජපක්ෂලාගේ  ඔඩොක්කුවට වැ‍ටුනේය. ඥානසාර හිමි නිදහස් කිරීම හරහා සිරිසේන බලා පොරොත්තු වූයේ එම බලවේගය දෙකට කඩා තම කේවල් කිරීමේ ශක්තිය වැඩි කර ගැනීමය. නමුත් සිරිසේන බලපොරොත්තු වූ ආකාරයෙන්ම එය සිදු වේ යයි සිතිය නොහැක. මක්නිසාදයත් මිනුවන්ගොඩදී මුස්ලිම් ජනයාට එරෙහිව එල්ල කල ප්‍රහාරය නිසා අන්තවාදයට අන්තවාදයෙන් ප්‍රතිචාර දැක්වීම සිංහල සාමාජය තුල ඝර්භාවට ලක් වීමය. තවද යලි සසුන්ගතවන ඥානසාර හිමි මුහුන දෙන බලවත්ම අභියෝගය වන්නේ යහපත් කල්ක්‍රියාවෙන් වාසය කිරීමය.මක්නිසාදයත් විනය ‍රැකීමේ පුරුද්ද උන්වහන්සේ තුල හිග වීමය. සිරිසේන හා එකගවූ  වූ කොන්දේසි ‍රැකීමට ඇති ඉඩ ඉතා අඩුය . ඥානසාර හිමි නිදහස් කිරීම හුදු හරසුන් නාටකයක් පමනි. නමුත් සිරිසේනගේ දේශපාලන ගේම් අවසන් නැත. ඊලග දේශපාලන සෙල්ලම කරන්නේ අධිකරනය සමගිනි. උපරිමාධිකරණයේ වෙනස්කම් කලේ ඒ වෙනුවෙනි .

තිත්ත වූ ඓතිහාසික සත්‍ය

සිය ධූරකාලය ආරම්භ වන දිනය පිලිබදව තමාට වාසිදායක තීන්දුවක් ලබා ගැනීම සිරිසේනගේ මීලග සැලසුමය. වාසි දායක තීන්දුවක් ලද හොත් සිරිසේන මුලින්ම පවත්වන්නේ ජනාධිපතිවරණය නොව පාර්ලීමේන්තු මැතිවරණයකි. මහින්ද සහ සිරිසේන දෙපලට එකට දේශපාලනය කල හැකි තැන් බොහෝ ය. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ ව්‍යවස්ථාව වෙනස් කිරීමය. බලය මහින්ද අතේ පවතින  සිරිසේනට නාමමාත්‍ර තනතුරක් හිමිවන අළුත් ව්‍යවස්ථාවකට දෙදෙනාම එකග වනු ඇත. මහින්දගේ නාමල්ගේ සහ සිරිසේනගේ පොදු අපේක්ෂා ඉ‍ටුවන්නේ එවන් සැලසුමකිනි. ගෝටාබය රාජපක්ෂ ජනපති අපේක්ෂත්වයට  සූට් මැසුවා ඉක්මන් වැඩිය. 2020 දී ගොටාභයගේ සිහින සඵල වීමට ඉඩක් නොමැත. 2020 දී සඵල වනු ඇත්තේ මහින්ද – නාමල් – සිරිසේන සුසංයෝගයේ සැලසුමය. නමුත් ඔවුන්ගේ සැලසුම යථාර්ථයක් වීමට නම් ඉන්දියාවේ සහයෝගය නැතුවම බැරිය . කැමති වුවද අකමැති වුවද තිත්ත වූ ඓතිහාසික සත්‍ය එයයි.

By- තුෂාරා වන්නිආරච්චි