කුපාඩි පුතුන් මංදිර වල, අහෝ! මහළු පියා මඬමේ මියදෙයි

‘රාවය’ රෝසමල් යහනාවක් මත බිහිවූ නිර්මාණයක් නොව දුෂ්කර වටාපිටාවක් තුල බිහිවී වී යුග මෙහෙවරක් ඉ‍ටුකළ පුවත්පතකි.’රාවය’ වික්ටර් අයිවන්ගේ දරුවෙකු ලෙස හැදින්වීමෙහි වරදක් නොමැත. නමුත් මේ වන විට ආර්ථික දුෂ්කරතා  නිසා  රාවය  ඈවර කිරීමට පාලන අධිකාරිය  තීන්දු කොට ඇත. සුවිශේෂ සමාජ මෙහෙවරක් ඉ‍ටු කළ මාධ්‍ය ආයතනයකට මෙවන් ඉරණමක් අත් වීම ඛේදජනක සිදුවීමකි

‘රාවය’ දශක තුනක පමන ඉතිහාසයකට හිමිකම් කියයි. ‘රාවය’ එකී ඉතිහාසය තුල කිසි දිනෙක අයථා ලෙස මුදල් උපයන ජඩ මාධ්‍ය ආයතනයක් බවට පත් වූයේ නැත. කිසි දිනෙක ජාතිවාදයට උඩ ගෙඩි දුන්නේ නැත. රාජ්‍ය නායකයන් සමග ගනුදෙනු කළද ‘රාවය’ ආචාරධර්ම ආරක්ෂා කළේය. රාවයේ ආකල්ප හා දෘෂ්ටිය ගැන විවිධ විවේචන හා මතභේද තිබිය හැකි වුවත් ඉහත දක්වන ලද නිශ්චිත කාරණයේදී රාවයේ ප‍්‍රතිපත්තිගරුකභාවය අභියෝගයට ලක් කළ නොහැක.

රාවයට අත්වූ ඉරණම අප ජීවත් වන සමාජයේ විෂම බව පෙන්වන කැඩපතකි. දැන හෝ නොදැන ඔබත් මමත් එම විෂම ක්‍රමයේ සාමාජිකයන් විය හැක. අද ඕනෑම මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නේ වෙළද දැන්වීම් වලිනි. සුදු හුණු ගෑම වෙනුවට සැඩ විවේචන එල්ල කිරීම නිසා රජයේ ආයතන වල දැන්වීම් රාවයට අහිමි විය. යම් කිසි අද්භූත හේතුවක් නිසා පෞද්ගලික අංශයද රාවයට වෙළද දැන්වීම් නොදෙන ස්ථාවරයක විය. සත්‍යට මුහුණ දීමට මිනිසුන් දක්වන බිය නිසා එය සිදු වූවා විය හැක.

පුද්ගලික සමාගම් රාවයට  වෙළෙඳ දැන්වීම් ලබා නොදෙන ප්‍රතිපත්තිය වෙනස් කිරීමට වික්ටර් අයිවන් අවුරුදු 10 පුරා වෙහෙසුනේය. ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන 50 කට වැඩි ප්‍රමාණයකට ලියුම් ලීවේය. දියුණු රට වල පුවත්පත් වලට දැන්වීම් ලබා දීමේදී , පුවත් පතේ අලෙවිය පමනක් නොව පුවත්පතින් ඉ‍ටුවන සමාජ කාර්යභාරය සලකා බලන බවට ඔහු තර්ක කළේය. නමුත් ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව ඊට ප්‍රතිචාර නොදැක්වූහ.

අන්තර්ජාල විප්ලවය ආරම්භ වීමට පෙර ‘රාවය’ බලසම්පන්න  බ්‍රෑන්ඩ් එකක් විය. ‘රාවය ‘ බ්‍රෑන්ඩ් එක එහි සේවය කළ මාධ්‍යවේදීන්ට ආභරනයක් විය. ඔවුන් රාවය බ්‍රෑන්ඩ් එකෙන් උපරිම ඵල නෙලා ගත්හ. ඇතැමුන් සිය බඩගෝස්තරය වෙනුවෙන් රාවය කෙලෙසූහ. රාවයට ඛේදජනක මරණයක් ගෙන ඒම නොසන්ඩාල පුතුන්ගේ කලකිරියාව ඉක්මන් කළේය. අහෝ! පියාගේ සෙවනේ පෝෂණය වූ පුතුන් මාධ්‍ය ක්ෂේත්‍රයේ පතාකයන් ලෙස වැජබෙයි, දරුවන්ගේ කර දඩු උස් කළ ‘රාවය’  පියා මහළු මඩමක අවසන් හුස්ම හෙලා ඇත.