නිර්වාන් කුමරු සහ සිරිසඟබෝගේ බෙල්ල කැපූ ගෝඨාභය


කාල්ටන්  රජ පවුලට අළුතින්ම එක්වූ සාමාජිකයා නිර්වාන් රාජපක්ෂය .ඔහු රොකට් විද්‍යාඥ ආචාර්ය රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ලී කුමරියට දාව උපන්නෙකි. නිර්වාන් කුමරු උපන් මොහොතේ සිට ප්‍රාතිහාර්ය පාන බව රජ පවුලේ උදවිය කියයි.මේ වන විට මාස 7 ක් වයසැති මොහු පාන පෙළහර පිලිබදව කාල්ටන් රජ පවුල පමනක් නොව මෙසිරි ලංකාවම  වික්ෂිප්ත වී ඇත.

ඉතිහාස ගවේශක ජැක්සන් ඇන්තනි ශූරීන්ට අනුව රාජපක්ෂ පෙලපත දඹදිව  සුද්දෝදන නොහොත් ශාඛ්‍ය වංශයෙන් පැවත එයි. කාල්ටන් නිවසට අළුත උපන් කුමරුට නිර්වාන් නම තැබුවේ ඒ අනුව යයි මතයක් ඇත. නිර්වාන් කුමරු සහ සිදුහත් කුමරු  අතර සමාන කම් රාශියක් ඇති බව පිරිසකගේ මතය වී ඇත . එපමනක් නොව ඇතැම් සමානකම් පිළිබදව  සකල ලෝක වාසී ජනයා  මවිතයට පත්ව ඇත.

බිළිදු සිදුහත් කුමරු මෙලොව එළිය දැක දින කිහිපයක් ගත වෙත්ම රජපවුලේ ආගමික චාරිත්‍ර කරන අසිත නම් තාපසයාට පෙන්වූයේය. බිළිදු සිදුහත් කුමරු  අභියෙසට  අසිත තාපසතෙමේ පැමිනෙත්ම කුමරා දෙපා එසවූයේය . ශරීර ලක්ෂණ කියවූ තාපස තෙමේ අනාවැකියක් කීවේය. ඒ සමගම සුද්දෝධන පියරජු සිදුහත් කුමරුට වැන්දේය.

රෝහිත සහ ටට්යානාද නිර්වාන් කුමරු උපන් විගස ආගමික චාරිත්‍ර ඉ‍ටුකරන බෞද්ධ භික්ෂුවකට පෙන්වූයේය. බිළිදු නිර්වාන් කුමරු අභියෙසට  බෞද්ධ භික්ෂුව පැමිනෙත්ම කුමරා දෙපා ඉහලට එසවූයේය . ශරීර ලක්ෂණ කියවූ භික්ෂුව  අනාවැකියක් කීවේය.එසැනින් රෝහිත  සහ ටට්යානා මව්පිය දෙපොල කුඩා බිළිදාට වැන්දහ.

මේ වන විට මුළු ලෝකයම වසංගත භීතියකට ලක්ව ඇත. රට සාගතයක එළිපත්තට පැමින ඇති බව ගොඨාභය රජතුමාද කීවේය.ජාතියේ පිනට සිදුවීමට යන විනාශය නිර්වාන් කුමරුට ගෝචර විය. ඒ සමගම ලෝකවාසීන් ඉදිරියේ පෙළහර පෑමට නිර්වාන් කුමරු  ජාතික රූපවාහිණිය හරහා මතු විය. නිර්වාන් කුමරුගේ පෙලහර දැක මුළු ලොවම මවිතයට පත් විය .

සිදුහත් කුමරු පි‍ටුපස දේවදත්ත ආවේ යම් සේද නිර්වාන් කුමරු පි‍ටුපසද ඔවුන් එන බව රාජ පුරුෂයන් සොයා ගෙන ඇත . නිර්වාන් කුමරුගේ රූපවාහීනී පෙළහර පීචං වැඩක් යයි ඔවුන් කියති. වසංගතය හමුවේ ජනතාව දැනුවත් කිරීමට කළ යුතු වැඩ දහසක් තිබියදී නිර්වාන් කුමරුගේ ආශ්චර්ය සදහා ප්‍රයිම් ටයිම් කාලය වෙන් කිරීම අපරාධයක් යැයි ඔවුන් කියති.

ඇතැමුන්, ගෝඨාභය රජුගේ සෞභාග්‍ය දැක්ම මෙය දැයි ඔලොක්කුවට ප්‍රශ්න කරති.නමුත් මහින්දගේ ඇවෑමෙන් රට පාලනය කරන ගෝඨාබය රජු පින් කඳකි. දැහැමි සිරිසඟබෝ නිවන් යැවූයේ ඔහුය.  රජ පෙලපත අපහසුතාවයට පත් කරන පුද්ගලයන්ද  ඒ ආකාරයෙන් නිවන් යවන ලෙස දැහැමි ගෝඨාභය රාජපුරුෂයට දන්වා ඇත. සාදු කාරයක් දෙන්න පින්වතුනි !