මගේ අරමුණ, තනියෙන් සෙන්චරි ගැසීම නොව මැච් එක දිනවීමයි !

ඊයේ දින එනම් (20) මාධ්‍ය සාක්ච්ඡාවක් අමතමින් රවි කරුණානායක පල කළ අදහස් මේ වන විට මහත් ආන්දෝලනයට ලක්ව  ඇත . ඔහු දැක් වූ අදහස්වල සාරාංශය පහත පරිදිය

  1. සිරිකොතට ගල් ගැසු පිරිස් තවමත්  ගල් මුගුරු  බිම තබා  නොමැති වීම කනගා‍ටුවට කරුනකි.
  2. එජාපය හරහා  ජාතික දේශපාලනයට පැමින එම පක්ෂයටම ගැරහීම ගුණමකු කමකි.
  3. අද  ජාතිවාදීන් , අන්තවාදීන් පක්ෂය තුල නැත, සියළු ජනයා ඒකරාශී කරන මහගෙදර එජාපය බව තහවුරු වී ඇත.
  4. අපි වවමු රට නගමු කථාවට පමනක් සිමා නොකර, වවන දේ  අලෙවි කරගත හැකි යාන්ත්‍රණයක් සැක සිය යුතුය.
  5. ක්‍රිකට පිටියක් වෙනුවට , වතුර නැති පාසැල් වලට වතුර දෙමු, අයි.සී.යූ ඇඳන් වැඩි කරමු.
  6. තනියෙන් සෙන්චරි ගැසීම නොව මැච් එක දිනවීම මගේ අරමුනය.
  7. සියල්ල වෙනස්වන ලෝකයේ එජාප නායකත්වයද දිනක වෙනස් වනු ඇත, මා කථා කළේ එම දිනය ගැන පමනි.

අපේ ආතලා මුත්තලාගේ කාලයේ පටන් ඉගෙන ගත්තේ ලංකාව දියුනු වන රටක් ලෙසය. නමුත් රට යන්නේ පසු පසට මිස ඉදිරියට නොවේ. ජනයාගෙන් බහුතරය දිළිදු බවේ පතුලටම වැටී ඇත. ඩී. එස්‌. සේනානායක යුගයේ එංගලන්තයට ණය දුන් ලංකාව අද ලෝකයට ණයකාරයකු වී ඇත.  සංවර්ධනය යන වචනය පවා මෙරට ජනයාට විහිළුවක් වී ඇත. මීට මූලිකම හේතුව දුරවබෝධ දේශපාලඥයන් නොමැති වීම සහ දැක්මක් ඇති දේශපාලඥයන්ට තැන නොලැබීමය.

පවතින දේශපාලන පක්ෂ දෙස බැලූ කල්හි, මෙරට  වාමාංශික පක්ෂ  ප්‍රධාන පක්ෂ දෙකේ අතකොළුය. ජවිපෙ දේශපාලනය අඩසියවසකට ආසන්නය.  ජවිපෙද  ප්‍රධාන පක්ෂ දෙකට මාරුවෙන් මාරුවට  මුක්කු ගැසුවා මිස ඉන් එහා කළ දෙයක් නොමැත. සජබ බංකොලොත් ගැට්ටට පැමිණ ඇත. ශ්‍රීලනිප අවසන් ගමන් ගොස් ඇත. තව දුරටත් මෙරට තනි විශාලතම දේශපාලනය පක්ෂය එජාපය වෙයි. සියලු ජාතීන් එක්වන මහ ගෙදර එතැනය. එය ‍රැක ගැනීම අත්හල නොහැකි වගකීමක් නොවේද?

පවතින ක්‍රමය දෙස බැලූ කල්හි, බෙලි කැපිලි, අවලාද , චරිත ඝාතන මිස මිනිසුන්ගෙන් රටට වැඩක් ගන්නා ක්‍රම වේදයක් මෙරට නැත. එසේ නම් මෙම ක්‍රමය වෙනස් කල යුතු නොවේද? ලලිත් මහපොළ  බිහිකළේ අධ්‍යපන ඇමති ලෙස නොව වෙළද හා නාවික ඇමති ලෙසය. නමුත් කන්නංගරයන්ට පසු මෙරට අධ්‍යාපනයට විශාලම සේවාවක් කළේ ඔහුය. දේශපාලකයෙකු යනු සමාජයක  පෙරගමන්කරුවෙකි. දේශපාලකයන්  සම්මත ආකෘතියෙන් ඔබ්බට සිතිය යුතුය. එවැනි මිනිසුන් රටට අත්‍යවශ්‍යයය.

රවි  අනෙක් පුද්ගලයන් මෙන් නායකත්වය ඩැහැ ගැනීමට කිසිදිනෙක  කුමන්ත්‍රණය කොට නැත.දේශපාලන පක්ෂයක් යනු පියාගෙන් පුතාට බලය හුවමාරු වන ආයතනයක් නොව පොල් කඩන්නාට වුවද දැක්මක් ඇත්නම් පක්ෂය විසින් ඔහු රාජ්‍යත්වය කරා ‍ රැගෙන ආ යුතු යයි රවි යෝජනා කලේ තනියම සෙන්චරියක් ගැසීමට නොව මැච් එක දින වීමටය. පන්සලේ ඝාන්ඨාරය නාද කළ විට විමසිය යුත්තේ එය නාද කළ හේතුව මිස නාද කල පුද්ගලයා නොවේ