වචන වලින් තොරන් ගැසූ කාලය ඉවරයි, වැඩ කරන යුගය ඇරඹෙයි

ලංකාව තරම් දේශප්‍රේමයෙන් ඔද වැඩුනු රටක් තවත් නොමැත. නමුත් දේශප්‍රේමය හුදෙක් වචන වලින් කැටයම් කරනවා විනා ක්‍රියාවෙන් එය ඔප්පු කරන මිනිසුන් අඩුය. ආතලා මුත්තලාගේ කාලයේ පටන් ලංකාව දියුනු වන රටක් යයි කියන්නේ එබැවිනි. ලංකාව දිනෙන් දින යන්නේ ඉදිරියට නොව පි‍ටු පසටය. මීට මූලිකම හේතුව දුරවබෝධ පුරවැසියන් නොමැති වීම සහ දැක්මක් ඇති අයට තැන නොලැබීමය.

පවතින දේශපාලන ක්‍රමය දෙස බැලූ කල්හි, මෙරට  වාමාංශික පක්ෂ  ප්‍රධාන පක්ෂ දෙකේ අතකොළුය. ජවිපෙද  ප්‍රධාන පක්ෂ දෙකට මාරුවෙන් මාරුවට  මුක්කු ගැසුවා මිස ඉන් එහා කළ දෙයක් නොමැත. ශ්‍රීලනිප අවසන් ගමන් ගොස් ඇත. තව දුරටත් මෙරට තනි විශාලතම දේශපාලනය පක්ෂය එජාපය වෙයි. සියලු ජාතීන් එක්වන මහ ගෙදර එතැනය. එය ‍රැක ගැනීම අත්හල නොහැකි වගකීමකි.

දේශපාලකයෙකු යනු සමාජයක  පෙරගමන්කරුවෙකි. දේශපාලනය නිර්මානාත්මක භූමිකාවකි. දේශපාලකයන් සහ පුරවැසියන් යන දෙපාර්ශවයම  සම්මත ආකෘතියෙන් ඔබ්බට සිතිය යුතුය. රට ගොඩනැගීමට අවශ්‍ය වන්නේ එවැනි මිනිසුන්ය.

කලින් කලට නව ‍රැලි පෙරළි  ප්‍රවණතා ඇති වීම නොවැලැක්විය හැක. ලෝක සිතියම තුල  කඩා වැ‍ටුනු දැවැන්ත දේශපාලන පක්ෂ ඕනෑ තරම් ඇත. කඩාවැ‍ටුනු සෑම දේශපාලන  ව්‍යාපාරයක් තුලම දැකිය හැකි පොදු ලක්ෂණයක් ඇත. එනම් ඔවුන්ගේ පරිහානියට පත් වූයේ බාහිර බලවේග නිසා නොව අභ්‍යන්තර කුමන්ත්‍රණ නිසාවෙනි

අභ්‍යන්තර  කුමන්ත්‍රණ  එජාපය දුර්වල වීමට බලපෑ ප්‍රධනතම සාධකය විය. එජාපය පරිහානියට පත්වූයේ පක්ෂ සාමාජිකත්වය ලැබුනු දා පටන් නායකත්වයට කස කැවූ  පුතුන් නිසාය. පමාවී හෝ එවැනි ජුදාස්ලා පක්ෂයෙන් නෙරපා හැරීම නිවරදි තීන්දුවකි.

එජාපයේ ස්ථාවරය, පක්ෂය යනු පියාගෙන් පුතාට උරුම වන බූදලයක් නොව පොල් කඩන්නාට වුවද දැක්මක් ඇත්නම් ඔහු රාජ්‍යත්වය කරා ගෙන ඒමය. එජාපය ක්‍රියාත්මක කිරීමට යන පෙරස්ත්‍රොයිකාව හේතුවෙන් සම්ස්ථ දේශපාලනය උඩු යටිකුරු වීමට නියමිතය

  1. ජාතික ප්‍රතිපත්ති සැකසීමට විද්වත් මණ්ඩලයක් පත් කිරීම – පොල් කඩන්නාගේ සිට මහාචාර්ය වරු දක්වා සියළු ස්ථර ඊට අන්තර්ග්‍රහනය කිරීම. මහජන පරමාධිපත්‍ය යථාර්තාවත් වන්නේ එවැන්නකිනි.
  2. විද්වත් මණ්ඩලය පරිපාලන රේඛාවේ උත්තරීතර සභාව බවට පත් වීම – තනි  පුද්ගලයෙකු , අභ්‍යන්තර කවයක් හෝ  හිතෛශීන් පිරිසක් මෙහෙයවන යාත්‍රණයක් වෙනුවට සුජාත මණ්ඩලයකට පාලන බලතල පැවරීම
  3. සංවරණ සහ තුලිත ක්‍රම හරහා ප්‍රජාතන්ත්‍රවාදය සු‍රැකීම (අභ්‍යන්තර සහ බාහිර) – ප්‍රජාතනත්‍රවාදයේ හතර වන බල කණුව ජනමාධ්‍ය වෙයි. සමාජ ජාලා ක්‍රියාකරීන් විධායක බලතල සහිතව පක්ෂයේ පරිපාලන රාමුව තුලට ඇතුල් කිරීමට යෝජිතය.
  4. ජන සමූහ නොව තනි පුද්ගයන් හඹා යාම – ( පක්ෂ, ආයතන, කන්ඩායම්, ශක්තිවන්තයන් , බලවන්තයන් කේන්ද්‍ර ගත වූ දේශපාලනය  වෙනුවට   හුදී ජනයා නාභිගත කිරීම)

අප ජීවත්වන ලෝකය තිරසාර ලෙස වෙනස් කළේ තනි පුද්ගලයන් මිස  පක්ෂ,කන්ඩායම් නොවේ. ගෞතම බුදුන් වහන්සේ තනි පුද්ගලයෙකි. ජේසුස්වහන්සේ තනි පුද්ගලයෙකි. ප්‍රොපට් මොහොමඩ් තනි පුද්ගලයෙකි. නිසැකවම, ඔබට ලෝකය වෙනස් කළ හැක. ඔබගේ ආදරනීය දුවා දරුවන්ගේ හෙට දවසේ සිනහව ‍රැකීමට නම් අප යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක හඹා යා යුතුව ඇත. එවන් උදාර මිනිසුන්ට අත්වැලක් වීමට එජාප සූදානමින් සිටියි