සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට බකට් අදින කොමිස් කපුටා කවුද?

ජපන් මූල්‍ය සහයෝගිතාව මත ඉඳිකිරීමට නියමිත වූ මාලඹේ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මේ වන විට අඩපන වී ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන බැව් පසුගිය රජය සමයේදී ප්‍රකාශ විය. එම මුදල පලමු අදියෙර සදහා පමනක් වන අතර  ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඩොලර් බිලියන 06ක් විය.

ජපන් ආයතනය ඒ සඳහා ඩොලර් බිලියන 1.8ක ණයක් ලබා දීමට නියමිත විය. 2019 මාර්තු මාසයේදී දෙරට අතර ගිවිසුම්ද අත්සන් කෙරිණි. මෙම ණය මුදල වසර 40ක් තුල ගෙවීයාමට නියමිත වූ අතර, වසර 12ක් යන තෙක් අය කිරීමට නියමිත වූ පොළිය 0.1%ක් විය.

කෙසේ වුවද  සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කර දැමූ බව, නව රජයේ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම පසුගියදා කියා සිටියේය. මෙම ව්‍යාපෘතිය චීන ණය යටතේ යටතේ පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘතියක් ලෙස ඇරඹීමට බලාපොරොත්තු වන බවට ඔහු ඉඟි කළේය.

මාලඹේ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය  මේ වන විට නවතා දමා ඇති බව පසුගියදා චම්පික රණවක ප්‍රකාශ කළේය. එපමනක් නොව අදාල ව්‍යාපෘතිය චීනයට බාරදීමට සැලසුම් කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වුවද අදාල ව්‍යාපෘතිය නවතා දැමූ බව ජපන් රජය මේ දක්වා නිළ වශයෙන් නිවේදනය කොට නැත.  තවද ජපානය සමග අත්සන් කළ ගිවිසුම  අවලංගු කළ බවට ශ්‍රී ලංකා රජය, ලිඛිතව ප්‍රකාශ කොට නැත.

කරුණු එසේ හෙයින්   මෙම ව්‍යාපෘතිය ඩැහැ ගැනීමට චීන රජය යම් කිසි  කුමන්ත්‍රණයක් දියත් කොට තිබේද යන සැකය කොළඹ තානාපති අංශ වෙත මතු වී ඇත. විශේෂයෙන් වත්මන් මුදල් ඇමති මහින්ද රාජපක්ෂ’ ජපන් ණය ව්‍යාපෘතිය අහෝසි කර දැමීමට උල්පන්දම් දෙන්නේද යන සැකය ඔවුන් තුල ඇත

ජපානය සමග අත්සන් කළ ගිවිසුම අනුව 0.1% සහන පොළී අනුපාතිකයක්  සහ අවු 40 සහන කාලයක් හිමි වූ නමුදු, චීන ණය යටතේ 6 %  හෝ ඊට වැඩි පොලියක් ගෙවීමට සිදු වෙයි.

මේ වන විට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය එක්ව සංවර්ධනය කිරීමට ගිවිසුම් අත්සන් කොට ඇති අතර, එම ව්‍යපෘතියද චීන – ශ්‍රී ලංකා හවුල් ව්‍යාපෘතියක් බවට පත් කිරීමට කැසකවන්නේ  මහින්ද පාර්ශවය විසින්ය යන සැකය තානාපති අංශ තුල වෙයි.

ජපානය චිරාත් කාලයක් තිස්සේ ලංකාවට උදව් කළ රටකි. නමුත් ඊට වඩා වැදගත් කරුනක් මෙහි ඇත . යම් හෙයකින් මෙම ව්‍යපෘති චීනයට ප්‍රධානය කළ හොත් එය බැරෑරුම් රාජතාන්ත්‍රික ගැ‍ටුමක් දක්වා වර්ධනය වනු ඇත