ආණ්ඩුව විදෙස් ශ්‍රමිකයන් සමග කරන ගෝනිසෙල්ලම සහ එහි ප්‍රතිවිපාක

ලොව භයානකම දෙය ,සාහසික නොසලකා හැරීම සහ මුග්ධ හෘදය සාක්ෂිය කියා කථාවක් ඇත. මෙම කථාව මතක් කළේ අද කතාවට පූර්විකාවක් ලෙසිනි මේවන විට මැදපෙරදිග ලක්ෂයක් පමන ජනයා අන්ත අසරණ වී ඇත. පනහකට වැඩි පිරිසක් මියගොස් ඇත. තවත් සියයක් පමන ගැන කිසිදු තොරතුරක් නැත. ඇතැමුන් සිය දිවි නසාගෙන ඇත. ඊයේ වීඩියෝවක් නිකුත් කළ කාන්තාවන් පිරිසක්  අසරණභාවය නිස තමන් ගණිකා වෘත්තියට ඇද වැටී ඇති බව කීහ. නමුත් ලංකාවේ රජය නිහඬය , ඔවුන් මැදපෙරදිග  ජීවිත සමග සෙල්ලම් කරමින් සිටියි.

කලාපයේ අනෙක් රටවල් ශ්‍රමිකයන් ගෙන්වා ගත්තා, ලංකාවේ රජය කරඇරියා

ඉන්දියාව , පිලිපීනය , පකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල් මුල් අවස්ථාවේ සිටම  තම ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට සෑම දිනකම ගුවන් වාර පවත්වාගෙන ගියහ. තවද  එම රටවල කොරෝනා උවදුර ලංකාවට වඩා දරුණුය. ලංකාවේ රජය විදෙස් ශ්‍රමිකයන්ගේ ජීවිත සමග සෙල්ලම් කරනවා පමනක් නොව ජනයාගේ ඇසට වැලි ගසමින් සිටියි. ඊයේ ඥානසාර හිමි, සංඝ සේනාවක් සමග කුවේට් තානාපති කාර්යාලයට ගියේය.ඥානසාර හිමි කුවේට් තානාපති කාර්යාලයට ගියේ ඔවුන්  ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් සිය  යුතුකම් ඉ‍ටුකොට තවත් විශේෂ සහන ගණනාවක් ලබා දී ඇති පසුබිමකය. කුවේට් රජය ලබා දුන් සහන පහත පරිදිය,

  1. වීසා නීති උල්ලංඝණය සම්බන්ධව සමාව දීම
  2. දඩ මුදල් අහෝසි කිරීම
  3. නොමිලේ ගුවන් යානා ලබා දීම
  4. නොමිලේ ගුවන් ටිකට් පත් ලබාදීම
  5. අසරණ ශ්‍රමිකයන්ට කෑම බීම සහ ඉඳුම් හි‍ටුම් ලබා දීම

ශ්‍රමිකයන් අනාථ කලේ කුවේට් තානාපති කාර්යාලය නොව  රාජපක්ෂ රෙජීමයයි

මැදපෙරදිග ශ්‍රමිකයන් අනාථ වූයේ මෙරට රජය ශ්‍රමිකයන්ට යලි පැමිණීමට නොහැකිවන සේ ගුවන්තො‍ටුපොළ වැසීම නිසාය. ඕනෑම අවස්තාවක මව් රටට පැමිණීම පුරවැසියෙකු සතු මූලික අයිතියකි. නමුත් මෙරට පාලකයා දුෂ්ඨ ලෙස එම අයිතිය උදුරා ගනිමින් ගුවන්තො‍ටුපොළ වසා දැමුවේය. ඥානසාර හිමි, සංඝ සේනාවක් සමග  යා යුත්තේ කුවේට් තානාපති කාර්යාලයට නොව ජනාධිපති ලේකම් කාර්යාලයටය. සියළු නොසලකා හැරීම් ආණ්ඩුවේ පාර්ශවයෙන් සිදුව තිබුනද ඥානසාර හිමි ඒ ගැන වචනයක් කථා නොකරයි.  තවද , ශිෂ්ඨ සම්පන්න සමාජයේ අනුමතභාවයක් නැති, කුරාණයට අපහාස කළ  ඥානසාර හිමි වැනි අයෙක් කුවේට් තානාපති කාර්යාලයට යාමෙන් ශ්‍රමිකයන්ට අත්වන සෙතක් නැත. කුවේට් තානාපති කාර්යාලය සමග කථා කිරීමට යමක් ඇත්නම් ඒ සදහා යා යුත්තේ නිසි පුද්ගලයෙකි. ඥානසාර හිමිට එකක් මතක් කළ යුතුය . හිමියනි! අප දොරේ හඬ සහ පඩේ හඬ හොදින් හදුනන්නෙමු.

රාජපක්ෂ රජයේ සාහසික කුමන්ත්‍රණය

කුවේට් තානාපති කාර්යාලය ඉදිරියේ ඥානසාර හිමි පැවැත්වූ කථාවෙන් ඔහු ආණ්ඩුවේ කුණු රෙදි හෝදන බව මොනවට පසක් විය. කොරෝනා වැළදීමෙන්  මැදපෙරදිග ශ්‍රමිකයන් 40 ක් මිය ගොස් ඇති බව  විදේශ සේවා නියුක්ති කාර්යංශය පවා පිළිගෙන තිබියදී ඥානසාර හිමි කීවේ මියගිය පිරිස ‘පහලොවක් , දාසයක්’  බවය. ඥානසාර හිමිගේ කථාවේ තවත් තැනකදී , බලලා මල්ලෙන් එලියටම පැන්නේය. ” ඔවුන් එහෙ සිටියත් ප්‍රශ්නයක්, ලංකාවට ආවත් ප්‍රශ්නයක් ” කියා කියවුනි. ඥානසාර හිමි  කුවේට් තානාපති කාර්යාලයට ගියේ ආන්ඩුවේ කූට සැලසුමක් අනුවය. එනම් ” රාජපක්ෂ රජය වූහාන් මෙහෙයුමේ සිට ඉතා සාර්ථකව මිනිසුන් මුදා ගනිමින් සිටියි, නමුත්  මැදපෙරදිග මුස්ලිම් රටවල නීති රීති නිසා  ශ්‍රමිකයන්  මුදා ගැනීම අඩපන වී ඇත, යන කූට නාටකය ජනගත කිරීමට රාජපක්ෂ රෙජීමයට අවශ්‍ය වී ඇත. ආණ්ඩුවේ  නොහැකියාව මැදපෙරදිග රටවල් මත පැටවීමට කුමන්ත්‍රණය කරමින් සිටියි. ඥානසාර හිමි  ගියේ එම නාටකය රඟ දැක්වීමටය

පොහොට්‍ටු දේශපාලකයන්ගේ සහ සමාජ ජාලා ක්‍රියා කරුවන්ගේ මුග්ධ හෘද සාක්ෂිය

මැතිවරණ කාලයේ  කො‍ටුව දුම්රිය පොළ ඉදිරිපිට සියළු සැප පහසුකම් සහිතව රණ විරුවන් පිරිසක් උද්ඝෝෂණය කරන විට , පොහොට්‍ටු වහළුන්ට එම සිදූවීම  ඇහැට ක‍ටු අනිනවා වැනි යයි ඔවුන් කීහ . ජාතික ආරක්ෂාව සහ  ජාතික ආර්ථිකය  ගහට පොත්ත මෙන් එකට බැදී පවතින්නකි . ලංකාවේ ජාතික ආර්ථිකයේ කොදු නාරටිය විදෙස් ශ්‍රමිකයන්ය. විදෙස් ශ්‍රමිකයන් යනු සමස්ත ජාතියේ මුරදේවතාවුන්ය. මේ වන විට ‘රටවිරුවන්’ දැවැන්ත මානුෂීය ඛේදවාචකයකට මුහුණ පා සිටියි. රාජපක්ෂ රජයට ඒ පිළිබදව වගේ වගක් නැත. පොහොට්‍ටුවාදීන්, දූෂිත දේශපාලුවන්ගේ සහ දළකාරයන්ගේ දරුවන් මුදා ගත් වූහාන් මෙහෙයුම උත්කර්ෂයට නගමින් මැදපෙරදිග ඛේදවාචකය වසන් කරමින් සිටියි. හදවතට තට්‍ටු කර බලන්න .මෙය යුක්ති යුක්තද?

මැදපෙරදිග ඛේදවාචයක හුදකලා සිදුවීමක් නොවේ, මෙය ඔබටද බලපානු ඇත

දුර නොපෙනෙන ඊනියා දේශප්‍රේමී රාජපක්ෂ රෙජීමය මැදපෙරදිග ඛේදවාචකය හුදකලා සිදුවීමක් ලෙස යට ගසන බව රහසක් නොවේ. නමුත් මෙය  සමස්ථ රට වැසියන්ට වන්දි ගෙවීමට සිදුවන  පාරාවල්ලකි. මේ වන විට මාලදිවයින සංචාරකයන් සදහා විවෘත්ත කොට ඇත. ඩුබායි තව නොබෝ දිනකින් විවෘත්ත කිරීමට නියමිතය. නමුත් ලංකාවට එය කළ නොහැක. මක්නිසාදයත් මැදපෙරදිග  ජනයා මරණ මංචකයේ සිර කොට විදේශිකයට රට විවෘත්ත කළ නොහැක. රජය විදෙස් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම කර ඇරීම නිසා දැන් එය බැරෑරුම් අභියෝගයක් බවට පත්ව ඇත. ශ්‍රමිකයන්  ගෙන්වා ගැනීමට ගුවන් වාර 500 වත් අවශ්‍ය වෙයි. ඒ සදහා විශාල  කාලයක් ගත වෙයි. කරුණු එසේ හෙයින් සංචාරකයන් සදහා රට විවෘත කිරීම සරල නැත .ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් යැපෙන පිරිස  ලක්ෂ 5කට ආසන්නය. තැඹිලි විකුණන පුද්ගලයාගේ සිට තරු හෝටල් අයිතිකරුවන් දක්වා නට්ටං වීම නොවැලැක්විය හැක.

කපටි ආරක්ෂකයන්ට ‍රැවටෙන්න එපා

රාජපක්ෂ ආණ්ඩුව බුවනෙකබාහු රජුගේ රාජසභා මන්ඩපය බුල්ඩෝසර් කළේය. සිද්ධිය යටපත් කීරීමට දැන් කූට උත්සාහයක නියලෙන බව රටම දන්නා කරුනකි. රාජපක්ෂලාගේ නියම ස්වරූපය මෙයය. බොරුව ආගම කොටගත් රාජපක්ෂලා විදෙස් ශ්‍රමිකයන්ටද කොකා පෙන්වමින් සිටින බව තේරුම් ගත යුතුය. ඥානසාර හිමි  ආන්ඩුවේ කොත්‍රාත්කරුවෙකි.  ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි මැදපෙරදිග ශ්‍රමිකයන් ගැන කථා කරන  බව ඇත්තකි. නමුත්  දැන හෝ නොදැන උන්වහන්සේ ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවේ රබර් මුද්‍රාවක් ලෙසිනි. යම් හෙයකින් මෙවන විට  එජාප රජයක් පැවතියේ නම් තත්වය කෙබදු වනු ඇතිද?  හිරු සහ දෙරණ ‘බේකින් නිවුස්’ දමමින් මැදපෙරදිග කඳුළු කථා විකාෂණය කරනු ඇත. රාජපක්ෂවාදී බෞද්ධ භික්ෂූන් විදේශ අමාතංශය ඉදිරිපට උපවාස කරනු ඇත. වීරවංශලා , ගම්මන්පිලලා යටි ගිරියෙන් කෑ ගසනු ඇත. රාජපක්ෂලා උපවාස කරුවන්ට තැඹිලි වතුර පොවනු ඇත. (රාජපක්ෂලා විපක්ෂයේ සිටියේ නම් මේ වන විට ශ්‍රමිකයන් මව් රටට ගොස් අවසානය, මක්නිසාදයත් ඔවුන් නගන හඬ එතරම් ප්‍රභලය )

නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස සිටිනවා වෙනුවට

කරුණු එසේ හෙයින් රාජපක්ෂ රජය සාහසික ලෙස විදෙස් ශ්‍රමිකයන් නොසලකා හැර ඇති  බව තේරුම් ගත යුතුව ඇත. තවදුරටත් දූෂ්ඨ පාලනයේ  නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස සිටිනවා වෙනුවට විකල්ප ක්‍රියාමාර්ග වලට එලඹිය යුතුව ඇත.

1. ඔබගේ දුක්ගැනවිලි  හැකි පමන  සමාජ ගත කරන්න.  ජනප්‍රිය සමාජ ජාලා වෙත කථා  කොට ඔවුන්ගෙන් උදව් ඉල්ලා සිටින්න

2. දන්නා හදුන මාධ්‍යවේදීන්ට කථා කොට  මැදපෙරදිග ඛේදවාචකය ගැන හඬක් නගන ලෙස  ආයාචනය කරන්න.

3. මැදපෙරදිග ඛේදවාචයක  ඥානසාර හිමි වැනි කොන්ත්‍රාත් කරුවන්ට හයිජැක් කිරීමට ඉඩ නොදෙන්න. බෞද්ධ , හින්දු, ක‍තෝලික, ඉස්ලාම් පූජකයට කථා කොට ඔවුන් දැනුවත් කරන්න.

4. රජය විසින් කරන ප්‍රෝඩාව ගැන ලංකාවේ සිටින ඥාතීන් දැනුවත් කරන්න

5. ලංකාවේ නීතිවේදීන්ට කථා කරන්න , ඔබගේ මූලික අයිතිවාසිකම් කඩවීම,  මහජන අර්ථ සිද්ධි නඩුකර යටතේ අධිකරණය හමුවට ගෙන යන්න.

හොද මිනිසුන්ගේ නිහඬතාව භයානකය

රජයේ සාහසික නොසලකා හැරීම නිසා විදෙස් ගත  ශ්‍රී ලංකිකයන් අසරණ වී ඇත . අපිට වඩා දුප්පත්,  වසංගතයෙන් අපිට වඩා පීඩා විඳින රටවල් ශ්‍රමිකයන්  යලි මව් රටට ගෙන්වා ගැනීමට කටයුතු කොට ඇත. මැදපෙරදිග ශ්‍රමිකයන් යනු  අපේ රටේ ජීව නාලියයි. රටට මේසා විශාල සේවයක් කළ ඔවුන්ට රටට පැමිණීමට නොහැකි වන සේ ගුවන් තො‍ටුපොල වැසීම ගෙන ගහන අපරාධයකි.  විදෙස් ශ්‍රමිකයන් ඔවුන් සිටින රටවල කො‍ටු කර තැබීමෙන්  කොරෝනා වලින් ආරක්ෂා විය හැකි යයි යමෙක් සිතන්නේ නම් ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතුය. ආණ්ඩුව විසින් කර අරින මැදපෙරදිග ඛේදවාචකය පිළිබදව හඬක් නගන ලෙස දේශපාලකයන්ගෙන්, නීති වේදීන්ගෙන්, පූජ්‍ය පක්ෂයෙන් , සමාජ ජලා ක්‍රියා කරුවන්ගෙන් ලංකා ඊ නිවුස් අප ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්