රනිල්ට එරෙහි නන්දිකඩාල් සටන ඇරඹෙයි – දෙපාර්ශවයේ සියළු බලමුළු සටන් පෙරමුණට කැඳවයි

2015  රාජපක්ෂ අණ්ඩුව පෙරලීමේ පළමු පියවර ඇරඹුනේ ලන්ඩන් නුවරිනි. තුන් කොන් මන්ත්‍රණයක් වූ එයට සහභාගි වූයේ චන්ද්‍රිකා , මංගල සහ ඊනිවුස් කතෘ සඳරුවන්ය. පොදු අපේක්ෂකයා ලෙස සිරිසේනගේ නම යෝජනා කලේ චන්ද්‍රිකාය.නමුත් සිරිසේන ජනපති අපේක්ෂකයා කරනවාට සඳරුවන් විරුද්ධ විය, ඔහුගේ මතය වූයේ සිරිසේන අගමැති අපේක්ෂකයා කොට කරු ජයසූරිය ජනපති අපේක්ෂකයා කල යුතු බවය. මංගලගේ මතය වූයේද රාජපක්ෂ ගල්ලෙන බිද කවරෙක් පැමිනියද ඔහුට දිය යුත්තේ අගමැති අපේක්ෂකත්වය බවය. නමුත් දෛවයේ සරදමකට මෙන් ලන්ඩන් සම්මුතිය පසුව වෙනස් විය.

බයාදු සිරිසේනයා ජනපති වූ පසුත් වලව්වේ වළං ඇතැයි චන්ද්‍රිකා සිතුවාය

ලන්ඩන් සිට පැමිනි චන්ද්‍රිකා සිරිසේන හමු වූවාය. බයාදු සිරිසේනයා ජනපති වූ පසුත් හොරගොල්ල වලව්වේ වළං සෝදනු ඇතැයි චන්ද්‍රිකා සිතුවාය. මන් මෝහන් සිං බලයේ තබා ගනිමින් තිරය පි‍ටුපස සිට ආණ්ඩුව හැසිරවූ සෝනියා වැනි  චරිතයක් වීමට චන්ද්‍රිකා සීහින දු‍ටුවාය . තවද  රනිල් යනු හොරගොල්ල වලව්වේ ඓතිහාසික ප්‍රතිවාදියාය.  කරුණු එසේ හෙයින් චන්ද්‍රිකාට  රනිල්ට වඩා සිරිසේන ”ෂුවර්”  වූවාය.

සඳළුතලයේ සිට ජනයාට සරම ඉස්සු සිරිසේන

රනිල් හමුවූ චන්ද්‍රිකා  සිරිසේනට ජනපති පු‍ටුවද , රනිල්ට අගමැති පු‍ටුවද හිමිවන අලුත් සැලසුමක් ඉදිරිපත් කළාය. වැලේ වැල් නැතිව සිටි රනිල් චන්ද්‍රිකාගේ සැලසුමට එක පයින් කැමති විය. 2015 ජනවාරි 8 රාජපක්ෂ රෙජීමය පෙරලා දැමුවේ එ.ජා.ප කැ‍ටුව ආ ලක්ෂ 62ක ජන බලවේගයකි. නමුත්  බලයට පත්වී පැය 24ක් යාමටත්  මත්තෙන් සිරිසේන ජන වරමට පි‍ටු පෑවේය. සිය උපදේශකයන් ලෙස සිරිසේන පත්කර ගත්තේ සිරිකොතට ගල් ගැසූ උන්ය. නිර්පාක්ෂිකයයි කියූ සිරිසේන නිදහස් පක්ෂය  කිහිල්ලේ ගහ ගත්තේය. ඉන් අනතුරුව රටේ පැවතියේ එ.ජා.ප රජයක් නොව සිරිසේනගේ ආණ්ඩුවකි. රනිල් සිය තනතුරේ ආශ්වාදය වින්දා මිස අනාථ වූ පාක්ෂිකයන් දෙස හැරී නොබැලුවේය.

පළිඟු ද්වාරයක් සේ  දිස් වූ රනිල්ගේ නපුංසකත්වය

ඔක්තොබර් කුමන්ත්‍රණය සිදුවූයේ රනිල්ට එරෙහි අභ්‍යන්තර කැ‍රැල්ල කරලියට එන්න ඔන්න මෙන්න තිබියදීය. ඔක් කුමන්ත්‍රණය රනිල්ට වෙස් වළාගත් ආශිර්වාදයක් විය. පුපුරා යාමට ඔන්න මෙන්න තිබූ එ.ජා.පය යලි එක්සත් විය. අවස්ථාවෙන් ප්‍රයෝජනගත්  රනිල් ඉදිරි වසර කිහිපයකට පක්ෂ නායකත්වය සිය  නමට ලියා ගත්තේය. නමුත් මේ සියල්ල පාස්කු ප්‍රහාරය නිසා උඩු යටිකුරු විය. පළිඟු ද්වාරයක් සේ  රනිල්ගේ නපුංසකත්වය පාස්කු ප්‍රහාරය හරහා මොනවට දිස්විය. ඒ සමගම එ.ජා.පයේ  අභ්‍යන්තර කැ‍රැල්ල යලි ආරම්භ විය.

තරුණ මන්ත්‍රීන් පණ පෙවූ අභ්‍යන්තර කැ‍රැල්ල

රනිල් එලවීමේ සටන ඇරඹුනේ එ.ජා.පයේ තරුණ මන්ත්‍රීන්ගේ මූලිකත්වයෙනි. මෙකී සටනට මලික්, කරු, සජිත් , අකිල වැනි ජේෂ්ඨයන් එකට එක් වීම විශේෂත්වයක් විය. ජනප්‍රිය පුද්ගලයෙකුට අවස්ථාව දී නායකත්වයෙන් බැස යන ලෙස රනිල්ගෙන් ඉල්ලිමට ඔවුන් තීරණය කළෝය. මෙම ඉල්ලිම රනිල් වෙත ඉදිරිපත් කිරීමට ඔවුන් යොදා ගත්තේ  මලික් සමරවික්‍රමය. මලික් විසින් ජනප්‍රිය නායකයෙකු  ලෙස මුලින්ම යෝජනා කලේ කරූගේ නමය.  කරූගේ නමට කිසිසේත් එකග නොවුනු රනිල් සජිත් පිලිබදව  මුණිවත  ‍රැක්කේය.

මලික් සිය මෝටර් රථයට නැගීමටත් පෙර රනිල් ආරම්භ කල ප්‍රති ප්‍රහාරය

කපටි රනිල් මලික් යෝජනාව ඉදිරිපත් කරන අතරතුර අභ්‍යන්තර කැ‍රැල්ල පිලිබදව සියලු තොරතුරු ලබා ගත්තේය. මලික් සිය මෝටර් රථයට නැගීමටත් පෙර රනිල් පක්ෂයේ  කැරළි කරුවන්ට ප්‍රති ප්‍රහාර ආරම්භ කලේය. අකිල විරාජ්ට එරෙහිව ”සුරක්ෂා” කේස් එක කරළියට ගෙනාවේය. අකිල පිළිබදව මෙම  වෙබ් අඩවියේ පලවූ පුවත ලබා දුන්නේද  රනිල්ගේ කාර්යාලය විසිනි. අග්‍රාමාත්‍ය ඩිජිටල් මාධ්‍ය ඒකකය වසා  දැමීමට නියෝග කල රනිල් ඒවායේ යතුරු සිය නැගෙණියක වන ශානිකා වික්‍රමසිංහ භාරයට පත් කළේය.නුදුරේම කැරළිකරුවන්ට පහරදෙන නව ඩිජිටල් මාධ්‍ය ඒකකයක් රනිල්ගේ සෘජු අධීක්ෂණය දියත් කිරීමට නියමිතය.

අපගේ පුවතට මෙන්න සාක්ෂි

 මේ දක්වා අගමැති ඩිජිටල් මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ තුෂාර. ඩී වන්නිආරච්චිය . ඊයේ දොර අගුළු දැමුවේ ඔහුයේ කාර්යාලයට සහ කාර්ය මණ්ඩලයටය. මේ පිලිබදව තුෂාර ඩී ගෙන් කල විමසීමේදී ඔහු ප්‍රකාශ කලේ දින 52 ආන්ඩුවෙන් පසු තමා අගමැති ඩිජිටල්  මධ්‍ය කටයුතු වලට දායක නොවූ බවය.  තමා කාලයක පටන් අකිල ඇතුළු එ.ජා.පයේ තරුණ මන්ත්‍රී පිරිස සමග එකාවන්ව කටයුතු කරන අයෙකු බවත් ඉදිරිදීත් එය එසේම වනු ඇති බව ඔහු කීවේය. ඔහුගේ මෙම  ප්‍රකාශයෙන්ද  ගම්‍ය වන්නේ අපගේ පුවතෙහි සත්‍යතාව මිස අනෙකක් නොවේ

By – තුෂාරා වන්නිආරච්චි

Editor- lanka news app