එජාපයට පණ දීමට ආශුට, සමන්ට සහ රුවන්ට හැකිද?

ආයතනයක, පක්ෂයක හෝ රටක නායකයා ලෙස පත් කරගනු ලබන තැනැත්තා විශේෂිත අයෙකි. ජනයාගේ  බලාපොරොත්තු මල්ඵල ගැන්වීම බාර වන්නේ ඔහුටය. එහෙයින් නායකයාගේ ගේ සුජාතභාවය ‍රැදෙනුයේ  ක්‍රියාකාරීතවයේදී ජනයාගෙන්  ලබා ගන්නා වලංගු භාවය මතය ( Functional legitimacy ). එනම් වඩා වැදගත් වන්නේ ජනයා ඉදිරියේ නායකයා ලෙස පෙනී සිටීම නොව,  නායකයෙකු සිටින බව ජනතාවට දැනිමය. ජනයාගේ බලාපොරොත්තු ඉ‍ටුකිරීමට අසමත්වන නායකයන්ට ඉතිහාසයේ කුණු බක්කිය උරුම වීම නොවැලැක්විය හැක.

වසර 30 කට ආසන්න කාලය රනිල් එජාපය පාලනය කරන්නේ ජනතා වලංගුභාවයකින් නොව  ගජමිතුරන් සමග පාන ගෝනි සෙල්ලම් වලිනි. රනිල් දශක තුනක් පුරා නායකත්වය ආරක්ෂා කර ගත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේද වලිනි.  එපමනක් නොව රනිල්  තම වංශයේ පැවැත්ම  වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු වීමට වුවද සූදානම් බව මෙවර මැතිවරණයේදී ඔප්පු කළේය.

රනිල් ඉතිහාසයේ කුණු බක්කියට විසි වීමට බල පෑ හේතු

  1. දිගන- මහනුවර සිංහල මුස්ලිම් කෝලාහලය ඇතිවන විට නීතිය හා සාමය භාර ඇමති ධූරය  රනිල් සතු විය. සතියක් ගතවන තුරු තත්වය පාලනය කිරීමට රනිල් අපොහොසත් විය. සහරාන් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු බවට පත් කළේ මෙම ප්‍රහාරය නිසාවෙනි.
  2. බුද්ධි අංශ වාර්තා ලැබී තිබුනද පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට රනිල්ගේ රජය  අපොහොසත් විය. ආරක්ෂක මණ්ඩල ‍රැස්වීමෙන් රනිල් ඉවත් කිරීම ගැන ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අතර නිහඬ ප්‍රේක්ෂකයෙකු ලෙස බලා සිටියේය.
  3. 2015 දී ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තරය රනිල්ට නොමද සහායක් ලබා දුන්නේ කලාපයේ බල තුලනයක් අපේක්ෂාවෙනි. නමුත් රනිල් චීනයට තවත්  වාසි වන අන්දමේ තීන්දු තීරණ ගැනීම නිසා ලෝක ප්‍රජාවේ ගර්භාවට ලක්විය. ධූර කාලයේ අවසන් භාගයට එන විට රනිල්  දේශීයව පමනක් නොව ජාත්‍යන්තරවද කොන් වී සිටියේය
  4. මහ බැංකුව ඇතුලු මර්මස්ථාන ගණනාවකට ගජමිතුරන් පත් කොට එජාප රජය අපහසුතාවයට පත් කළේ රනිල්ය. දේශපාලන සුනාමියක් වූ බැඳුම්කර සිද්ධියේදී සිරිසේන සමග සාකච්ඡා කොට විසඳුමකට යනවා වෙනුවට රනිල්, රවි බිල්ලට දී  සිය බෙල්ල බේරා ගත්තේය. අවසානයේ එය සමස්ත කඳවුරටම පාරාවලල්ලක් විය.

සජිත්  ඉතිහාසයේ කුණු බක්කියට විසි නොවුනද අසාර්ථක වීමට හේතු

සජිත්ට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 55ක් ලැබුනි. නමුත් මෙවර මැතිවරණයෙදී ඔහුගේ පක්ෂයට  ලබාගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 27 කි. සජිත්ද විපක්ෂ නායකධූරය ලබා ගත්තේ  ක්‍රියාකාරීත්වයෙන් යුක්ති යුක්ත කළ වලංගු භාවය කින් නොව  ගෝනි සෙල්ලම් වලිනි. සජිත් යනු ජනයා වෙනුවෙන් වීදී සටන් කොට ඉන් ලබා ගන්නා පන්නරය තුලින්  විපක්ෂ නායක ධූරයට පත් වූවෙකු නොවේ. සජිත් යනු ජනයා වෙනුවෙන් එකදු වීදි සටනක් හෝ නොකළ අයෙකි. ඔහු කළ එකම වීදි සටන නම් සිරිකොතට ගල් ගැසීමය. එය ජනයා වෙනුවෙන් කළ අරගලයක් නොව නායකත්වය ඩැහැ ගැනීම වෙනුවෙන් කළ අරගලයකි.

රනිල් නැත්නම් රුවන් ඉල්ලා වැළලීම

ජනතා අභිලාශ නොව හුදෙක් තමන් ගැන සිතූ නායක රනිල්  සහ උපනායක සජිත්  නිසා එජාපය විනාශ වී හමාරය. එපමනක් නොව රනිල් මුලුමනින්ම වීනාශ වී අවසන්  අතර සජිත්ටද යලි පිළිසකර කළ නොහැකි තරමේ හානි සිදුව ඇත.රනිල්ගේ පක්ෂය සහ සජිත්ගේ පක්ෂය ලෙස  වෙන් වුන පක්ෂ  තුල මේ වන විට  අභන්තර ගැ‍ටුම්  ඇවිළ ඇත. බරපතලම අර්බුධය පැන නැගී ඇත්තේ එජාපය තුලය.

ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය වැනි පැරෂුට් කාරයන් පිරිසක් පක්ෂයේ නායකයා ලෙස  රනිල් නැත්නම් රුවන් ඉල්ලා කැ‍රැල්ලක් ආරම්භ කොට ඇත. රනිල් නැත්නම් රුවන් ඉල්ලන පිලේ අරමුණ එජාපය ගොඩ නැගීම නොව තම බඩ වියත් ‍රැක ගැනීමය. මෙම පිලට අනුග්‍රහය දක්වන්නේ අන්කිසිවෙකු නොව සජිත්ය.

රුවන්ගේ රූකඩ සංදර්ශණයට සජිත්ගේ සහාය

රුවන් විජේවර්ධන වැනි නිවටයෙකුට කිසියම් තනතුරක් දුන් විට ජීවිත  කාලයටම සජිත්ගේ  පැවැත්මට තර්ජයනයක් එල්ල නොවෙයි, අඩු වියදමකින් එජාපය සතු කර ගැනීමට සජිත්ට හැක.එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු බා ගත හැක.

නමුත් එජාප පාක්ෂිකයින්ට එවැනි ගණුදෙණුවක අවශ්‍ය තාවයක් නැත.කරු, අකිල, ජෝන් නවීන්, දයා, රවී, රංගෙ, අර්ජුන, තෙවරප්පෙරුම වැනි එජාප ජේෂ්ඨයන්ටද එවැනි ගණුදෙනුවක අවශ්‍ය තාවයක් නැත. මෙවර පාර්ලීමේන්තු  මැතිවරණයේදී එජාප වෙනුවෙන් ලක්ෂ ගණන් වියදම් කළ අපේක්ෂකයට සහ දිස්ත්‍රික් නායකයන්ටද එවැනි ගණුදෙනුවක අවශ්‍යතාවයක් නැත.

ඡන්ද පොළට නොපැමිනි ලක්ෂ 30ක එජාප අනුගාමිකයන් කා සමගද ?

එජාප පාක්ෂකයන් ලක්ෂ 30 කට ආසන්න පිරිසක් මෙවර මැතිවරණයේදී ඡන්ද පොළට ආවේ නැත. ඔවුන් ඡන්ද පොළට නොගියේ ඔවුන්ගේ පැතුම සජිත්  හෝ රනිල්  නොවූ නිසාය. ලක්ෂ 30  සජිත්වාදීන් නම්  සජිත් නව පක්ෂය බිහි කළ විගස  හා හපුරා කියා   මුලින්ම ඡන්ද පොලට යන්නේ ඔවුන්ය. ඉන් ගම්‍ය වන්නේ   මෙම ලක්ෂ 30 සිටින්නේ සජිත්ගේ ගොඩේ නොව අලියා සමග බවය. කරුණු එසේ හෙයින් නව  නායකයෙකු පත් කොට පක්ෂ ප්‍රතිසංවිධාන පෙරස්ත්‍රොයිකාව ඉදිරිපත් කළ විගස පාවෙන අනුගාමිකයන්  යලි එජාපය වටා රොක් රොක් වීම මහ පොළොවේ යථාර්ථයකි.

සජබ – එජාප  සංධානයේ  තනතුරු ගැනීමට හෝ බඩ වියත ‍රැක ගැනීමට ජේෂ්ඨයන්ට අවශ්‍ය නැත

කරු, අකිල , ජෝන්, නවීන්, දයා, රවී, රංගෙ, අර්ජුන, තෙවරප්පෙරුම වැනි එජාප ජේෂ්ඨයන්ගේ එකම අරමුණ එජාපය යලි ගොඩ නැගීමය. ඒ සදහා රොද බැඳීමට සූදානම් කැපුවත් කොළ  එජාප පාක්ෂිකයන් ලක්ෂ ගණනක් ඇත. මේ අවස්ථාවෙදී සජිත් සමග සංධාන ගත වීමට  ඔවුන් කිසිවෙකුට අවශ්‍ය නැත. සජබ – එජාප  සංධානයේ  තනතුරු ගැනීමට ඔවුන් කිසිවෙකුට අවශ්‍ය නැත.  ඉදිරි මැතිවරණයෙකදී  ලක්ෂ 25  ඉක්මවා යන ජන බලයක් පෙන්වීම ඔවුන්ගේ එකම ඉලක්කය වී ඇත. සජිත් සමග සංධාන ගත වීමට සාකච්ඡා කරන්නේනම් එය සලකා බලන්නේ එවැනි වටපිටාවකය. මේ අවස්ථාවේදී එජාපයේ නායකත්වය බාරදිය යුත්තේ ආශු සහ සමන් රත්නප්‍රියගේ පදයට නටන රූකඩයකට නොව කරු, අකිල , ජෝන්, නවීන්, දයා, රවී, රංගෙ, අර්ජුන, තෙවරප්පෙරුම වැනි පතාකයන්ටය.

එජාපයට පණ දීමට  ආශු මාරසිංහට , සමන් රත්නප්‍රියට සහ රුවන්ට හැකි වෙයිද?

 ආශූ සහ සමන් රත්නප්‍රිය කියන පරිදි එජාප නායක ධූරය රුවන්ට දුන හොත් එජාපය යලි ගොඩ ගැනීමට මොවුන් තිදෙනාට හැකි වෙයිද? රනිල් සහ සජිත් දෙදෙනාම එපා කියා මෙවර ඡන්දය පොළට නොගිය  ලක්ෂ 30 ක් පමන වූ එජාප  පාවෙන ඡන්ද දායකයන් ඡන්ද පොළට ගෙන ඒමට ආශු මාරසිංහට , සමන් රත්නප්‍රියට සහ රුවන්ට හැකි වෙයිද? ගමේ  කඩ පිලේ  සජිත්ගේ පාවාදීම  හෙලාදකිමින්  කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළ එජාප  පාක්ෂිකයාගේ ගෞරවය ආරක්ෂා කිරිමට  මොවුන්ට  හැකි වෙයිද ?  සජිත්ගේ පිල සමග යලි එක් වීමෙදී  ‘කැපුවත් කොළ’  පාක්ෂිකයන්ගේ  අභිමානය ආරක්ෂා කිරීමට හොරාචාරියාට, මේල් නර්ස්ට  සහ කම්මැලි කුසීත රුවන්ට හැකි වෙයිද?

By සුනන්ද සේමසිංග