නූතන මහදැනමුත්තාගේ පාලනය කෙළවර වන්නේ විනාශයකිනි – මෝඩයන් සිංහාසනාරූඩ කීරීමේ විපාක

මහදැන මුත්තා විසින් ඔළුවෙ මුට්ටියක් හිර කරගත් එළුවෙකු බේරා ගත් කතාවක් අප අසා ඇත. මුට්ටියත් එළුවාත් දෙකම බේරා ගැනීමට කල්පනා කළ ගමරාළ  මහදැනමුත්තාගෙන් සහය පැතීය .මහදැන මුත්තා ගමරාළ ගේ නිවසට ආවේ ඇතා පිටිනි.ඇතාට ගේට්ටුවෙන් ඇතුලට ඒමට නොහැකි වූ කල ගේට්ටුව කඩා දැමුවේය.එළුවා  සහ මුට්ටිය   යන  දෙකම බේරා ගැනීමේ පළමු පියවර ලෙස එළුවාගේ බෙල්ල කැපීමට මහදැනමුත්තා  නියෝග කළේය. මුට්ටියේ සිරවුණු ඔලුව එලියට ගන්නේ කෙසේදැයි විමසූ විට මුට්ටිය බිඳීමට නියෝග කළේය .මහදැනමුත්තාගේ මොළයට  පින්සිදුවන්නට   තාප්පයත්,එළුවාත්, මුට්ටියක් යන තුනම අහිමි විය. ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කරන්නේ මහදැනමුත්තාගේ ශෛලියෙනි.

නරිවාදන් මිස වැඩ බැරි ‘සර්

ගෝඨා සර් යනු මහදැනමුත්තා මෙන් මම පොර යැයි සිතා සිටින මහදැන මුත්තාගේ ගති ලක්ෂණ සහිත අයෙකි. කොරොනා ආරම්භක අවධියේ දී ඉන්දියාවේ මූලිකත්වයෙන්  සාර්ක් රටවල් කොරෝනා අරමුදලක් පිහිටවූයේ ය. එය වීඩියෝ සංවාදයක් හරහා ගහෙන් ගෙඩි එන්නාක් මෙන් බිහිවූ අරමුදලකි . ඊට කිසිදු වැඩපිළිවෙළක් නොතිබුණි. නමුත්   පිළිවෙළක් නොවූ  සාර්ක් අරමුදලට ගෝඨා සර්   කෝටි දාහක් පරිත්‍යාග කළේය.  මහදැන මුත්තා සිය මහන්තත්වය පෙන්වීමට අලියා පිටේ විත් තාප්පය කඩා දැමුවා සේ   ගෝඨා සර්ගේ මහන්තත්වය   නිසා  මහජන මුදල් කෝටි දාහක් රටට අහිමි විය. මේ වන තුරු සාර්ක් කෝවිඩ් අරමුදලින් නූල් පොටක  දෙයක් අපට ලැබී නැත. ලැබුණු එකම දෙය කොරෝනා දෙවැනි ‍රැල්ල පමනි. 

 එළුවාගේ බෙල්ල කපා මුට්ටිය බේරා ගැනීම 


කොරෝනා වසංගතය කරළියට  පැමිණෙත්ම ගෝඨා සර් සහ බත් ගොට්ටන් කළේ වසංගතය හා සටන් කිරීමට  රට සංවිධානය කරනවා වෙනුවට  වසංගතට මුවාවී ගාන කැපීම සහ  දේශපාලන ගෝනි සෙල්ලම් පෑමය .ගෝඨා සර්  සුරංගනා කතා කියමින් කොරෝනා පාලනය අතින්  ලෝකයේ හොඳම රට ලංකාව යයි කීවේය. ජනයා  ගොනාට අන්දවා ඡන්දය දිනාගත්තේය.   මැද පෙරදිග ශ්‍රමිකයන්  ලංකාවට පැමිණීමෙන් කොරෝනා ගණන ඉහළ යා හැකි යැයි සිතූ ගෝඨා සර්  ඔවුන්ට පැමිණිය නොහැකි සේ එයාර්පෝට් වසා දැමුවේය .මැදපෙරදිග ශ්‍රමිකයන් කාන්තාරයේ මියැදෙන්න  ඉඩ හැර  ලංකාව බේරා ගැනීමට උත්සාහ කළේය. විදේශ ශ්‍රමිකයන් ගෝඨා සර්ගේ ගෝනි සෙල්ලම්  වල  පළමු වින්දිතයන් විය. විදේශ ශ්‍රමිකයන් මැරෙන්න ඉඩ හැර   රට බේරා ගැනීමට ගෝඨා සර් ගත් උත්සාහය   එළුවාගේ බෙල්ල කපා මුට්ටිය බේරා ගැනීමට මහ දැන මුත්තා ගත් උත්සාහයට දෙවෙනි නැත . ගෝඨා සර් ගත් තීන්දුව වැරදි  බව  ගෝඨා සර් පමනක් නොව මුළු රටම  දැන් තේරුම් ගෙන ඇත


විදේශ ශ්‍රමිකයන් ගසා කෑ හැටි

ගෝඨා සර් මහදැන මුත්තාමෙන් ඥානවන්තයෙකු පමනක් නොව සිරිසඟබෝගේ බෙල්ල කැපූ ගෝඨාභය මෙන් චන්ඩියෙකි.එයාපෝට් වැසීම නිසා අසරණ වූ මැද පෙරදිග මිනිසුන්ගේ කඳුළු කතාව යටපත් කරන ලෙස  ගෝඨා සර්  මාධ්‍යයට නියෝග කළේය.එපමණක් නොව “උන් ආවොත් අපිටත්  කොරෝනා  හැදෙනවා ” යන මතවාදය සමාජ  ගත කිරීමට කටයුතු කළේය. . විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමට හෙන ගහන් මුදලක් අය කළේය . ගෝඨා ලංකාවට යලි පැමිණෙන මැදපෙරදිග ශ්‍රමිකයන්ගෙන්  ලක්ෂ තුනක පමණ මුදලක් ගත්තේය.ඇති හැකි උන් මුදල් ගෙවා ලංකාවට සැපත් වෙද්දී නැති බැරි උන්ට කාන්තාරයේ මහපාර උරුම විය. ජාතියේ මව් වරුන්ට ලෝකයේ පැරණිතම වෘත්තිය උරුම වූ අතර ජාතියේ පුතුන්ට හිඟමන උරුම විය. රටක් ලෙස ලංකාවට සිදු වූ අපකීර්තිය වචනයෙන් කිව නොහැකි තරම් විය


වසංගතයට මුවාවී හොරා කෑම සහ  ගෝනි සෙල්ලම් පෑම

ලෝකයේ අනෙක් සෑම රටක්ම පසුගිය කාලය තුළ වසංගත  උවදුරින් ආරක්ෂා වීමට පවතින යාන්ත්‍රණය සංවිධානය කළේය.නමුත් මෙරට පාලකයා  “ත්‍රස්තවාදය පරාජය කළ අපි කොරෝනාවට බය නෑ ” වැනි වහසිබස් දොඩමින් ජනයා මුලා කළා මිස සෞඛ්‍ය අංශය සහ  ආර්ථිකය  වසංගත උවදුරට මුහුණ දිය හැකි ලෙස සංවිධානය කිරීමට ක්‍රියා නොකළේය .කොටින්ම කියතොත් ගෝඨා සර් කළේ වසංගතයට මුවාවී තම ගොට්ටන්ට හොරා කෑමට ඉඩ දීම සහ දේශපාලන ගෝනි සෙල්ලම් පෑමය .ලංකාවේ දිස්ත්‍රික්ක බොහොමයකට තවමත් PCR පරීක්ෂණ යන්ත්‍ර නැත.දුරබැහැර දිස්ත්‍රික්ක වලින්  යවන ස්වැබි සාම්පලයක  ප්‍රතිඵල ලැබීමට ඇතැම් විට  දින හතක් ගත වෙයි. PCR වාර්තා 20000 පමණ  හිරවී ඇත .කොරෝනා රෝගීන් සඳහා ප්‍රමාණවත් ඇඳන් නැත, ස්වසන උපකරණ නැත.රටේ රෝහල් වල බෙහෙත් නැත. 


 වසංගතයට මුවාවී කළ  හොරකම් සහ  ගෝනි සෙල්ලම් 


රටේ පාලකයා ලෙස පොදු සෞඛ්‍ය පහසුකම් දියුණු කරනවා වෙනුවට ගෝඨා සර් සිය බත් ගොට්ටන්ට දුම් හට්ටි ව්‍යාපාර කිරීමට ඉඩ දුන්නේය , තවත් එකෙකු කොරෝනාවට ඖෂධයක් කියා පැණියක් පෙන්වා මහා පරිමාන ජාවරමකට කැස කැවීය.මිත්‍යාව වපුරමින් කල ගෙඩි සෙල්ලමක් පෙන්වූයේය . කොරෝනා අස්සේ ගෝඨා සර් නටපු ආර්ථික පිස්සුවද සුළු ප‍ටු නැත.ලංකාවේ මෝටර් සයිකල් වෙළපොළ ඉන්දියානු ඒකාධිකාරියකි. චීනාගෙන් ලැබුණු අල්ලසකට යටත්වදෝ  මෝටර් සයිකල්  කර්මාන්තය  මුළු මනින්ම අකර්මන්‍ය කළේය .ගෝඨාසර්ගේ තීන්දුවෙන් හතර ගාතෙන් වැ‍ටුනේ  ඉන්දියානු ව්‍යාපාරිකයන් නොව මෝටර්සයිකල් ගෙන්වීම,  අලෙවි කිරීම ,සේවා සැපයීම  ආශ්‍රිත ‍රැකියා කල අසරණ ශ්‍රී ලාංකිකයන්ය.  ලක්ෂ 3 ක පමන අපේ මිනිසුන්  මහපාරට වැ‍ටුණි. 

 නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස  ව්‍යවසනය දෙස බලා සිටීම භයානකය 


වසංගතයක් යනු එක්තරා ආකාරයක යුද්ධයකි.  ගෝඨා සර්ට  යුධ කලාවේ මූලධර්ම 10  ගැන  අඹමල් රේණුවක දැනුමක් තිබුණේ නම්  වසංගත යුද්ධය අභිමුවේ පිස්සු  කෙලින්නේ නැත.    ගෝඨා සර්  කළ  වැඩ  දෙස බලන විට   ඔහු යුද්ධ කළ හැටි , Cadet course කළ හැටි  ගැනද සැක උපදියි.  මුට්ටිය බේරාගැනීමට මහදැනමුත්තා ඉදිරිපත් වීම කෙලවර වූයේ මහා විනාශයකිනි. ”මම පොර”  යයි සිතා සිටින ගෝඨා  රට පාලනය කිරීම කෙළවර වන්නේ මහා විනාශයකිනි.   මහදැන මුත්තා වැනි ගොබ්බයෙකුට  ගොබ්බ වැඩ කිරීමට අවස්ථාව ලැබුනේ ජනයාට කොන්දක් නොමැති වීම සහ වහල් මානසිකත්වය නිසාය . ගෝඨා සර් නම් වූ මහදැන මුත්තාගේ කාබන් කොපිය මෙරට ”පොරක්”  වූයේ මහදැන මුත්තා ශෛලියේ වැඩ ඉඩ හසර ලැබෙනුයේ ජනයාට කොන්දක් නොමැති වීම සහ වහල් මානසිකත්වය නිසාය . 

රටට අත්වූ අභාග්‍ය ගෝඨාගෙන් ඉවර නැත. මෙරට විපක්ෂ නායකයා ගෝඨා අභිබවා යන මහදැන මුත්තෙකි. මෙවැනි මහදැන මුත්තන් පිස්සු කෙලින්නේ ජනයාගේ වරදින් බව දැන්වත් කල්පනා කළ යුතුය

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්