ගෝඨාගෙන් ලෝක වාර්තාවක් – පළමු වසර තුල ” මම ෆේල් නෑ” කියා කැම්පේන්  කළ පළමු රාජ්‍ය නායකයා වෙයි

ගෝඨා ස’ යනු මහජන මුදලින් දෙමාපියන්ගේ සොහොන හැදීම, ලොවෙත් නැති සමාගමකින් මිග් යානා ගෙන්වීම  ඇතුළු  ලෝක වාර්තා ගණනාවකට හිමිකම් කියන දක්ෂයෙකි. මෑතකදී ගෝඨා තවත් ලෝක වාර්තාවක් තැබුවේය. ඒ සිය පදවි ප්‍රාප්තියේ පලමු වසර ගෙවී යාමටත් මත්තෙන් ” මම ෆේල් නෑ” කියා මුදල් ගෙවා කැම්පේන් කළ පලමු රාජ්‍ය නායකයා බවට පත් වීමෙනි.

සූර වීර ගෝඨා මෙලෙසින් තබන වාර්තා බිඳ හෙලීම ලොව කිසිම රාජ්‍ය නායකයෙකුට පහසු නැත.  බිඳින්නේනම් සජිත් වැනි වැඩ්ඩෙක් පමනි. මේ වන විට FAIL තරඟයේ ගෝඨා කරට කර සටනක් දීමට සජිත් සමත් වී ඇත. පලමු වසර තුල  ජනාධිපති ගෝඨා මෙන්ම විපක්ෂ නායකයා ලෙස සජිත්ද අසාර්ථක වී ඇත.  ධූරයේ වසරක් ගතව යාමටත් මත්තෙන් සිය පක්ෂ අහිමි වී  අහසේ පාවෙන  ලොව පලමු විපක්ෂ නායකයා  සජිත්ය.

  ‘ගෝඨා FAIL’  කැම්පේන් එකේ උපත

“ගෝඨ අසාර්ථකයි ” කැම්පේන් එක සජිත්ගේ හෝ එම කණ්ඩායමේ නිර්මාණශීලීඅදහසක් නොවේ .”ගෝඨ අසාර්ථකයි ” යන්න කාලයක් තිස්සේ ලංකා ඊනිවුස් ගණන් ඉලක්කම් සහිතව ගෝඨා ගැන ලියූ ලිපි වලින් ව්‍යුත්පන්න වූවකි. ‘වැඩ අල කරන විරුවා” වැනි උත්ප්‍රාසය දනවන නම් යොදාගනිමින් ලංකා ඊ නිව්ස් ලියන ලද ලිපි කියවීමෙන් ගෝඨා අසාර්ථක බව බත් කන ජනයාට අවබෝධ විය.ගෝඨා අසාර්ථකයි ‍රැල්ල හැදුවේ මහ ජනතාවය.

 ගෝඨා කොරෝනා  වලට පිළියමක් ලෙස මැද පෙරදිග ශ්‍රමිකයන්ට එයාපෝට් වැහුවේය . නමුත් සිය එහෙයියන්ම රටට කොරෝනා ගෙන ආහ. නටපු පදේකුත් නැත බෙරේ පලුවකුත් නැත. ලොව කිසිදු රටක් නොකල මෙවැනි ගොන්කම් නිසා ගෝඨා අසාර්ථක බව මිනිසුන්ට ප්‍රත්‍යක්ෂ විය . ‘ගෝඨා FAIL’  ‍රැල්ලට ගෝඨා කොතරම් බිය වූයේද යන්න ඊයේ ජාතිය අමතා කළ කථා වෙන් පැහැදිලි විය. පදවි ප්‍රාප්තියෙන් වසරක් ගතවීමටත් මත්තෙන් ” මම ෆෙල් නෑ” කියා මුදල් ගෙවා  කැම්පේන් එකක් කිරීමට ගෝඨාට සිදු විය


ගෝඨාභයට FAIL  කියන සජිත් සාර්ථකද ?

බලය ලබා ගැනීමට සජිත්ගේ ප්‍රතිවාදියා දියත් කළ සටන හා සසඳන කළ සජිත්ගේ සටන ළදරු වලිප්පුවකි. පරාජිත මහින්ද රාජපක්ෂ බලය උදෙසා වන දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ කළේ පරාජය වී ඊළඟ පැයේදීමය.මැදමූලන ජනේලයේ එල්ලී අනුගාමිකයන්ට ‘මොරාල්’ දීමට ඔහු සමත් විය .නමුත් සජිත් පරාජය වී ඊලග පැයේ යාල මහ වනයේ සැඟවුනේය. 2015 ජනවාරි 8 පරාජයට පත්වූ මහින්ද 2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩ පැවැත්වූ “මහින්ද සුළඟ” හරහා සටන් බිමට ආවේය.

2018  පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණයේ පලමු කඩඉම පසු කොට 2019 දී සටන ජයග්‍රාහීව අවසන් කළේය .රාජපක්ෂලාගේ සටන හුදෙක් මහින්ද සුළග, වියත් මග හෝ  කථා පැවැත්වීමට සීමා නොවුනි.  මහනුවර මුස්ලිම් කෝලාහලය , වඳ පෙති , වඳ කොත්තු පමනක් නොව පාස්කු ප්‍රහාරයද ඔවුන්ගේ සටනේ ජවනිකා විය .  සජිත් පරාජය වී වසරක් ගත වුවද විපක්ෂයේ දේශපාලන සටනට පණපෙවීමට අපොහොසත් වී ඇත. දිනෙන් දින දුර්වල වන විපක්ෂය හමුවේ නිහඬ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටිනවා විනා සජිත් කරන කෙං ගෙඩියක් නැත.


ගෝඨා FAIL ,  සජිත් ඩබල් FAIL 

ගෝඨා Fail කීවද තවත් වසර හතරක්  කරදරයකින් තොරව රට පාලනය කිරීමට ඔවුන්ට හැකි ය.පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අසමසම බලයක් ඔවුන්ට  සතුය. එමෙන්ම සමස්ත රාජ්‍ය බලය යොදවා සිය දේශපාලන  කදවුර තව තවත් ශක්තිමත් කළ හැක  .එහෙයියන්ට තව  වසර හතරක් රිසිසේ හම්බ කරගත හැක. ආණ්ඩුවේ කොන්ත්‍රාත් රිසිසේ ඔවුන්ට  ලබාදිය හැක . මාධ්‍ය නඩය මහජන මුදලින් පඩි ගෙවා නඩත්තු කළ හැක. නීතිය නවා දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කළ හැක. 


ගෝඨා සහ ඔහුගේ ආණ්ඩුව අසාර්ථක වූවා මෙන් දෙගුණයක වේගයෙන් සජිත් අසාර්ථක වී ඇත.සජිත්ගේ අසාර්ථක භාවය කොතෙක්ද යත් පක්ෂ නායක ලෙස වසරක් සම්පූර්ණ කරන විට ඔහුට කියා දේශපාලන පක්ෂයක් නැත. සජිත්ගේ මහගෙදර වූ එජාපය  සහ ඩයනාගෙන් කුලියට ගත්  සජබ යන පක්ෂ දෙකම ඔහුට අහිමි වී ඇත. දැක්මක් සැලැස්මක් නොමැති වීම හේතුවෙන්  විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් නන්නත්තාර වී ඇත.  නිසි අනුග්‍රහයක් සහ මග පෙන්වීමක් නොමැති වීම හේතුවෙන්  මාධ්‍ය ක්‍රියාකාරීන් අතරමං වී ඇත.

රාජපක්ෂලාගේ ජයග්‍රහණයේ තිත්ත කථාව

එදා මෙදාතුර ඉතිහාසයේ වැඩියෙන්ම හොරා කෑවෙ රාජපක්ෂලා යයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. රාජපක්ෂ කඳවුරේ හොරකම් නොකල එකෙක් සෙවීම නොමල ගෙයකින් අබ මිටක් සොයනවා වැනි කටයුත්තකි. යහපාලන ආණ්ඩුව කළ සොරකම්  රාජපක්ෂලා  කළ සොරකම් සමඟ සසඳන විට එය ලූනු සිවියකි. උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වෙනුවට හොරුන්ගෙනුත්  වැඩක්  ගැනීමට  රාජපක්ෂලා ශූක්ෂම විය . යහපාලන රජයේ දූෂණ ගැන සොයා පොතක් ලිවීම භාර වූයේ පට්ට හොරෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ ටය. පට්ට හොරු මහින්ද සුළඟේ පෙරගමන්කරුවන් විය. හොරු ආරක්ෂා කිරීමට ජනාධිපති කොමිසමක් පවා පත් කළේය .ගෝඨාණ්ඩුවේ හොඳම ඇමතිධූර ලැබුණේ හොරුන්ටය.


 සජිත්ගේ පරිහාණියට හේතු වූ කරුණු  

නමුත් සජිත් කළේ කුමක්ද ?කප්පරක් හොරකම් කළ රාජපක්ෂලාට හොරා කීම වෙනුවට රනිල්ට හොරා කීවේය .සජිත්  සිය මහගෙදර වූ එජාපයට හොර ලේබලය ඇලෙව්වේය. රනිල් – රවිට බැංකු හොරු යැයි ලේබල් කළේය.  සජිත්ගේගේ  දේශපාලන සටනේ තේමාව වූයේ  එජාපය හොර ගුහාවක් බව  සහ තම පිල  සුදු නෙළුමක් මෙන් පිරිසිදු බව හුවා දැක්වීමය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ලක්ෂ 30ක පමණ එජාප පාක්ෂිකයන් උකටලී වීමය, රාජපක්ෂ දූෂිතයන්ට තුනෙන් දෙකක බලයක් ලැබීමය.

ව්‍යාපාරික කටයුත්තක් වූ  මහබැංකු බැඳුම්කරය  දේශපාලන සුනාමියක් බවට පත්කළේ එකල සිරිසේනගේ ඔඩොක්කුවේ සිටි සජිත්, කිලී මහරාජා ඇතුළු පිරිසකි.අර්ජුන ඇලෝසියස්ට යම් අනුග්‍රහයක් දැක්වීම හරහා එජාපය බලාපොරොත්තු වූයේ  හිරු දෙරණ මෙන් තමන්ට හිතැති මුදලාලි මාධ්‍ය ආයතනයක් හැදීම ය. මෙම ව්‍යාපෘතිය අඩාල කිරීමේ වාසිය ලැබුණේ රාජපක්ෂ පිලටය. 

සජිත් සිදුකළ මූල ධර්ම වරද 

තම මහගෙදර වූ එජාපයට හොර ලේබලය ඇලවීම සජිත්  සිදු කළ  මූලධර්ම වරදකි.සිරිසේනගේ සහ කිලීගේ ඔඩොක්කුවට පැන  රනිල්ට ගල් පෙරලීම සජිත් සිදුකළ මූලධර්ම වරදකි. රනිල් යනු දේශපාලනයෙන් හම්බ කරගත් අයෙක් නොවේ. කියන්නන් වාලේ රවිට හොරා කීවද, රවී යනු  උපතින්ම විශාල දෙපළකට හිමිකම් කියූ අයෙකි.

රවී යනු වසර විසි දෙකේදී වරලත් ගණකාධිකාරීවරයෙකු වී  වයස  24 වන විට  වරලත් ගණකාධිකාරී සංගමයේ සාමාජිකයන් අතර සාර්ථකම ව්‍යාපාරිකයා බවට පත් වූ අයෙකි.ඒ වන විට ඔහු දේශපාලනයට පැමිණ සිටියේ නැත.  නමුත් පොහොට්ටු පිලේ ප්‍රකෝටිපතියන් බවට පත්ව ඇත්තේ මාල හොරු , කුඩුකාරයන් , කසිප්පුකාරයන්, බාර් කාරයන් , මූල්‍ය ආයතන වල වාහන ‘සීස්’ කළ උන් ය.  එජාප කඳවුර දුර්වල වී දිනෙන් දින රාජපක්ෂලා ශක්තිමත් වීමට බල පෑ කරුනු අතර සජිත්ගේ වැරදි දේශපාලන භාවිතාව  ප්‍රධාන හේතුවකි.   


සජිත් ඩබල් ෆේල් කියන්නේ ඇයි

සජිත්ට තමාට ලැබුණු නායකත්ව භූමිකාවෙහි සාර්ථකත්වය සහ සුජාතභාවය ක්‍රියාකාරීත්වයෙන් ඔප්පු කිරීමට ඔහු අපොහොසත් වී ඇත. සජිත්ගේ විපක්ෂ නායකධූරය හුදු බෝඩ් ලෑල්ලකකට සීමා වී ඇත . 2019දී සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම කල් මරණ විට බමුණු කුලයේ ගල්ලෙන බිඳිමට පෙරට  ආවේ චම්පිකය.  නමුත් මේ වන විට සජිත් රාජපක්ෂලාට වඩා  චම්පිකට බිය වී ඇත. චම්පිකගේ දක්ෂතාවය  සජිත්ගේ අදක්ෂතාව⁣යෙහි වින්දිතයෙකු වී ඇත.

දක්ෂයන්ට නිසි තැන ලබා දී විපක්ෂයේ  සටනට පණ පෙවීමට සජිත් මේ දක්වා අපොහොසත් වී ඇත. 2025 ජනාධිපතිවරණයෙදී සංහිදියා ආණ්ඩුවක් යලි බිහි වීමට වැඩි ඉඩ කඩක් ඇත. නමුත් මුස්ලිම් සහ දෙමළ දේශපාලකයන් ගණනාවක් මේ වන සජිත් හැර ගොස් ඇත. සජිත් සිංහළ බෞද්ධ ‍රැල්ලට  ඇති බිය නිසා සුළු ජාතීන්ගේ සංවේදී ගැටළු වලින් පලා යමින් සිටියි. මැද පෙරදිග  ගැටළුව , ගොවීන්ගේ ගැටළු,  බිඳ වැටී ඇති  මෝටර් සයිකල් කර්මාන්තය වැනි දැවෙන ප්‍රශ්න ගැන හඬක් නැගීමට සජිත් අපොහොසත් වී ඇත.


කළ නොහැකි නම හැකි අයෙකුට  බාර දී බැස යා යුතුය  

රනිල්ට හොරා කියමින්, තමා සුදු නෙළුමක් ලෙසින්  නිර්මානය කළ සජිත්ගේ පක්ෂය උපන් ගෙයිම අසමත් වී ඇත .නලා කරුට කොකා පෙන්වා පොළේ තනියෙන් නටන්න ගිය නයාට අත්වූ ඉරණම සජිත්ට අත් වී ඇත.  අර්ජුන, රංගේ, තෙවරප්පෙරුම, රවී, රුවන්, අකිල  ආදී වශයෙන් එජාප දේශපාලකයන් නොමැතිව ගෝඨාණ්ඩුව පෙරලා දැමිය නොහැකි බව මහ ජනයා තේරුම් ගෙන ඇත.

කරුණු එසේ හෙයින්  දැන්වත් පොදු සතුරාට පහර දෙනවා විනා තම කඳවුරේ දක්ෂයන්ට සහ එජාපයට එල්ල කරන ප්‍රහාර නවතා දැමිය යුතුව ඈත .  මෝඩ ආතල් දෙන වාචාලයන් පිරිසක් සමග කරන සිගිති දේශපාලනය  නවතා දැමිය  යුතුව ඈත.ගෝඨා ෆේල් සිංදුව කියනවාට අමතරව දිනෙන් දින ගෝඨාගේ පිලෙන් බිදී යන  පුද්ගලයන්ට  ගොඩ වීමට  වේදිකාවක් හැදිය යුතුව ඇත . සජිත්ට එය කළ නොහැකි නම් හැකි අයෙකුට  බාර දී බැස යා යුතුය