යතුරුපැදි තහනම සහ යතුරුපැදි නිෂ්පාදනය ගැන හිටපු මුදල් ඇමති කියන කථාව

මේ වන විට ලංකාවට යතුරු පැදි ගෙන්වීම තහනම් කොට ඇත. එම ක්ෂෙත්‍රයේ ‍රැකියා කළ ලක්ෂ ගණනක දරු පවුල් මේ වන විට අසරණව ඇත. පොඩි මිනිසුන්ගේ වාහන සිහිනය සෑබෑ කළ යතුරු පැදිය පොඩි මිනිසුන්ට අහිමි වී ඇත. එනමුත් පසුගිය වසර තුල සුඛෝපබෝගී වාහන දහස් ගණනක් ගෙන්වා ඇත. මොටර් සයිකල් ගෙන්වනවාට වැඩි මුදලක් ලක්ෂරි වාහන සදහා වැයකොට ඇත.

ලංකාවේ බලපවත්වන යතුරු පැදි ආනයන තහනම ගැන 2020 නොවැ 20 වැනිදා කර්මාන්ත ඇමති විමල් වීරවංශ  යතුරු පැදි ආනයන සමාගම් සමග සාකච්ඡාවක් පැවැත් වූයේය. එහිදී ලංකාවේ මහේන්ද්‍රා වාහන ගෙන්වන නියෝජිතයා වන අයිඩියල් මෝටස් තමන්ට ලංකාව තුල යතුරු පැදි එකලස් කළ හැකි යයි පවසමින් යතුරු පැදි තහනමට පක්ෂව අදහස් දක්වා ඇත.

අනතුරුව විමල් වීරවංශද මාධ්‍ය සංදර්ශනයක් තියමින් ලංකාවේ යතුරුපැදි නිෂ්පාදනය කරනවා කීවේය. විමල්ගේ කථාව බැලූ බැල්මට සුන්දර වුවද මහ පොළොවේ යථාර්ථය ඊට වෙනස්ය.

යතුරුපැදි කර්මාන්ත කරුවන් අතර ‍රැස්වීමේදී විමල් නිහඩ ප්‍රේක්ෂකයෙකු විය, යතුරු පැදි නිෂ්පාදන විෂයේ භූ ආර්ථික මෙලෝ දැනුමක් වීරවංශට නොවීය. විමලේ කලේ මහේන්ද්‍රා වාහන ගෙන්වන අයිඩියල් සමාගමට හූ මිටි ඇල්ලීම පමනි.

මේ අතර සමස්ත ලංකා යතුරු පැදි අලෙවි කරන්නන්ගේ සංගමය, අයිඩියල් මෝටර්ස් ක්‍රියා කලාපය දැඩිව විවේචනය කර තිබූ අතර වත්මන් රජයේ ඉහලම අයෙක් අයිඩියල් සමාගම සමග එකට බිස්නස් කරන බව පවසා තිබුණි.

තවද මහේන්ද්‍රා යතුරු පැදිය අසාර්ථක එකක් බවත් එය මෙරට ජනතාවගේ තේරීම නොවන බව ඔවුන් පෙන්වා දී තිබුනි.යතුරු පැදි වෙළද පොළ අයිඩියල් සමාගම විසින් හැසිරවීම බරපතල තත්වයක් බව ඔවුන් ප්‍රශ්න කළහ.

මේ අතර බිඳ වැටී ඇති යතුරු පැදි කර්මාන්තය පිළිබදව අප, හිටපු මුදල් ඇමතිවරයෙකු වූ රවි කරුණානායකගෙන් විමසීමක් කළ අතර ඒ පිළිබදව ඔහු දැක්වූ කරුණු පහත පරිදිය.

  1. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් මෙරට යතුරු පැදි නිෂ්පාදය කළ නොහැක . පළමුව යතුරුපැදි නිෂ්පාදනය කරන මව් සමාගම් සමග සාකච්ඡා කළ යුතුය. කර්මාන්ත ඇමති විමල් වීරවංශ මේ දක්වා එවැන්නක් සිදු කොට නොමැත. විමල් සාකච්ඡාවක් පැවැත්වූයේ ලංකාවට යතුරු පැදි ආනයනය කරන ඒජනතයන් කිහිප දෙනෙකු සමග පමනි.

2. යතුරු පැදි නිෂ්පාදනය කරන මව් සමාගම් ලංකාවේ කර්මාන්ත ශාලා ඇරඹීමට පෙර දහසකුත් කරුණු සලකා බලනු ඇත. යතුරුපැදි ඉල්ලුම සාමාන්‍ය මට්ටමේ පවතිද්දී බිලියන ගණනනින් අළුතින් වියදම් කොට කර්මාන්ත ශාලා ඉදි කිරීමට න්‍යායිකව සහ ප්‍රායෝගිකව සිදු නොවන්නකි. (ඉල්ලුම සහ පිරිවැය නොවෙනස් වන පසුබිමක් තුල)

3. ආණ්ඩුව සැබැවින්ම මෙහිදී සිදු කොට ඇත්තේ ” උඹලා අපේ රටේ කර්මාන්ත ශාලා පටන් ගනිල්ලා, එහෙම නැත්නම් ඔබලගේ බඩු මෙහෙ විකුනන්න බෑ” වැනි තර්ජනයකි. එය නරක පූර්වාදර්ශයකි. රජය කළ යුතුව තිබුනේ යතුරු පැදි නිෂ්පාදනය කරන දැවැන්ත සමාගම සමග ශිෂ්ඨසම්පන්න ලෙස කතා කිරීමය.

4. කිසිම ව්‍යාපාරිකයෙකු පින් තකා ආයෝජනය කරන්නේ නැත. තම ආයෝජනයේ ප්‍රතිලාභය ROI මූලිකවම සලකා බලයි. රජය පලමුව කළ යුතුව තිබුනේ යතුරු පැදි කර්මාන්ත ශාලා සදහා වන නිදහස් වෙළද කලාපයක්, බදු සහන වැනි දෑ ප්‍රකාශයට පත් කිරීමය. වෙනත් රට වලට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කිරීමටත් , අපනයනය කිරීමටත් පසුබිම සැකසීමය.

5. යතුරු පැදිය ගෙඩි පිටින් එකලස් කිරීම වෙනුවට යම් යම් කොටස් දේශීයව නිපද විය යුතුය. උදාහරණයක් ලෙස, යතුරු පැදියේ උපාංග වලින් අවම 30% දේශීයව නිපදවිය යුතු යයි නීතියක් පැනවීම.

6.යතුරු පැදි නිෂ්පාදය කරන මව් සමාගම් සමග සාකච්ඡාවක් වත් පවත්වා නොමැති පසු බිමක ” අපි ලංකාවේ මෝටර් සයිකල් හදනාව” කීම විහිළුවකි

7 ආයෝජකයෙක් මෙරටට පැමිනෙන්නේ මෙරට ව්‍යාපාර පසුබිම ගැන සොයා බැලීමකින් අනතුරුවය. ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් විසින් සම්පාදනය කරන Doing business index ලැයිස්තුවේ, රටවල් 190 අතරන් ලංකාව සිටින්නේ සිය වැනි ස්ථානයේය . අප්‍රිකාවේ රටක් වන රුවන්ඩාව සිටින්නේ 38 වැනි ස්ථානයේය

කරුනු එසේ හෙයින් යතුරු පැදි නිෂ්පාදන සිහිනය සැබෑ කර ගැනීමට කළ යුතු කැප කිරීම බොහෝය, කථා කී පමනින් එය සිදු වන්නේ නැත.

මේවන විට යතුරු පැදි කර්මාන්තය අශ්‍රිතව ලංකාවේ පුරවැසින් ලක්ෂ ගණනක් අසරණ වී ඇති අතර මහජනයාගේ භාරකාරීත්වය දරණ ලංකා රජය අගතියට පත්වූ පිරිස නොසලකා හරිමින් සිටියි.ආණ්ඩුව වහාම ප්‍රායෝගික විසඳුමක් කරා යා යුතුය