ෆසාල් මොහොමඩ් නිසාර් අත්අඩංගුවට ගනී

මුහුණු පොත ඔස්සේ ජාතීන් අතර සංහිඳියාව බිඳ දමන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයෙකු වූ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මොහු සමාජ ජාල ක්‍රියාකාරියෙකු ලෙසද ප්‍රචලිතය. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ දින 2කට පෙරය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම සැකකරු ජාතීන් අතර සුහදතාවය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශවවලට අපහාස වන ආකාරයෙන් විවිධ ප්‍රකාශ මුහුණුපොත හරහා නිකුත්කර තිබෙන බවය.

මේ තුළින් ඔහු එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇති බව එම නිලධාරීන් සඳහන් කරයි.

ඊට අමතරව මෙම සැකකරු ව්‍යාපාර රැසක් බිඳවැටී තිබියදී විශාල ධනවතෙකු මෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව පෙන්වාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සැකකරුට කිසියම් නීති විරෝධී මාර්ගයකින් මුදල් ලැබෙන්නේ ද යන්න පිළිබඳව විමර්ශන පවත්වන බව ද දැනුම් දුනි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමකළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස ද නියෝග කළේය.

Add Comment