සිරිසේන දුමින්ද සිල්වාත් නිදහස් කරයිද ?

වරකාපොල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට හිමිවූ ජනාධිපති සමාව මේ දිනවල කාගේත් කථා බහට ලක්ව ඇත.ලක්ෂ්මන් පතිරාජ නොහොත් වරකාපොල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති 1995 වසරේදී  ටෙන්ඩරයක්  අනුමත කර දීමට රු 25,000ක අල්ලස් ගත්තේ යයි චෝදනා ලැබුවේය. ඒ පිළිබදව ක්‍රියාත්මක වූ  අල්ලස් කොමිසන් සභාව අධිචෝදනා 5 ක් යටතේ ඔහුට එරෙහිව නඩු පැවරුවේය. චෝදනාව විභාග කළ කොළඹ මහාධිකරණය  ලක්ෂ්මන් පතිරාජ වරදකරු කොට 18 වසරක සිර දඬුවම් නියම කරණු ලැබුවේය.

මහාධිකරණය මෙම නඩු තීන්දුව දෙන ලද්දේ 2009 වර්ශයේදීය. මහාධිකරණ තීන්දුවට  එරෙහිව ලක්ෂ්මන් පතිරාජ 2010 අභියාචනයක් ඉදිරිපත් කළේය. නමුත් ඔහුට ඉන්  සහනයක් හිමි නොවූ අතර අභියාචනාධිකරණය තීන්දුව තහවුරු කළේය. ඔහුගේ ජීවිතයේ හොදම කාලය නඩුහබ- සිරගෙවල් හා ගෙවී ගියේය. ජනපති සමාව යටතේ ලක්ෂ්මන් පතිරාජ නිදහස් වූයේ මෙවන් තත්වයක් යටතේය.

අල්ලස් නොගන්නා සභාපතියෙකු සෙවීම නොමල ගෙයකින් අබ මිටක් සෙවීමකි. සිරිසේන  මේ  කරන්නේ දුමින්ද සිල්වා නිදහස් කිරීමට මුට්ටිය දැමීමක් විය හැක . නමුත් එය වෙනම කථාවකි . අද රටේ සිදුවන හොරකම් වලට අනුව රු 25000ක අල්ලසකට 18වසරකට හිරේ යැවීම ප්‍රශ්නාර්ථයකි. සමාව දීම හරහා  යහපත් පුද්ගලයෙකු සමාජයට එක් කල හැකි නම් එය සුභවාදීය. වඩා වැදගත් වන්නේ රැළේ පිළිවෙලට යන බැටළු පැටවා නොව කණ්ඩායමෙන් පිට ගිය එකා හරි මගට ගැනීමය.

බෞද්ධ දර්ශනය අනුව ජීවිතය යනු එක් චිත්තක්ෂනයකි. එය භවයෙන් භවයට සැරිසරන සත්ව පුද්ගලයෙකු නොවේ. හිතක් නිරුද්ධ වී අලුත් සිතක් ඉපදෙන විට සිටින්නේ අළුත් පුද්ගලයෙකි. මෙම දර්ශනය  පවතින නීති රාමුවට ආදේශ කල විට වරද කරන්නේ එක් පුද්ගලයෙකි ,දඩුවම් ලබන්නේ තවත් පුද්ගලයෙකි. 1995 කමල් මිනී මැරුමක් කලේ යයි සිතමු. එහි ආදීනව වටහා ගත් ඔහු සියල්ල අත හැර මාර්ගය වඩන්නේය. 2009 වන විට ඔහු මාර්ග ඵල ලැබුවේ යයි සිතමු. ඒ අනුව වරද කලේ පෘතක්ජන කමල්ය, දඩුවම් විදින්නේ මහ රහතෙකි. මෙම සිද්ධාන්තය අඩු වැඩිව සියල්ලට අදාලය.

By තුෂාරා වන්නිආරච්චි

කතෘ- ලංකා නිවුස් ඇප්