ගෝටා එනවා කියා මම කීවේ නෑ – මහින්ද සැරසෙන්නේ අක්කා පෙන්වා නංගී දීමටද ?

ගෝටා එනවා කියා මම කීවේ නෑ – මහින්ද සැරසෙන්නේ අක්කා පෙන්වා නංගී දීමටද ? basil

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්‍ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බව තමන් කිසිවිටෙකත් ප්‍රකාශ කර නොමැති බව පොහොට්‍ටු නිර්මාර්තෘ බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් සිදුකළ ප්‍රකාශය මාධ්‍ය විසින් විකෘති කර ඇති බවයි.පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ උපුටා දක්වමින් ගෝඨාභය  ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන  බව මාධ්‍ය වාර්තා කර තිබුනි . එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බැසිල් සතිඅන්ත පුවත්පතකට පවසා ඇත්තේ තමන් එවැනි ප්‍රකාශයක් කිසි විටෙකත් සිදුකර නොමැති බවයි.

‘‘ඇත්තෙන්ම එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසුවේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ගේ සහයෝගය ලබාදෙනවාද නැද්ද යන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩක් තිබෙන බවත්, එසේ වුවහොත් තමන් සහයෝගය ලබාදෙන බවත් එයට පිළිතුරු ලෙස මම පැවසුවා. අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන ඕනම අපේක්ෂකයෙකුට සහයෝගය දීම පාක්ෂිකයන් ලෙස අපේ වගකීම. ඒ අනුව අපේක්ෂකයා ගෝඨාභය වුනොත් මම ඔහුට සහයෝගය දෙනවා. මම කීවේ එම අදහසයි , නමුත් ඒකෙන් කියන්නෙ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා නෙවෙයි.’

‘මේ ප්‍රකාශය තමයි මාධ්‍ය වැරදි විදියට ප්‍රචාරය කළේ. අපි තාම තීරණය කරලා නෑ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා. ඒකට අපිට තව කල් තියනවා. අගෝස්තු 11 වෙනිදා පක්ෂ සමුළුවේදි ඒක ප්‍රකාශයට පත් කරනවා.’පක්ෂයේ අපේක්ෂකයා පිළිබඳ තීන්දුව ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ සමග සිටින දේශපාලන පක්ෂ හා වෙනත් සංවිධාන සමග සාකච්ඡා කර අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් පුළුල් වැඩපිළි‍වෙළක් දියත් කරන බව බැසිල් අදාල පුවත්පතට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනි.

බොහෝ දේශපාලන විචාරකයන් පවසන්නේ මහින්ද රාජපක්ෂ නංගි පෙන්වා අක්කා දීගදෙන ආකරයේ ‍රැවටීමක නිරත වී ඇති බවය. කෙසේ වෙතත්  මහින්දට වඩාත්ම හීලෑ පුද්ගලයා ජනාධිපතිවරණය සදහා ඉදිරි කරනු ඇතෙයි අනුමාන කිරීම තාර්කිකය. ගෝටා වටේ සිටින පුද්ගලයන් සහ ගෝටාගේ කලකිරියාව විමසා බලන කල ඔහු මහින්දට හීලෑ පුද්ගලයෙකුයයි සිතීම උගහටය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව බැසිල් සදහන් කරයි.