කරුගෙන් කන කිස් කරන ලියුමක්

කරුගෙන් කන කිස් කරන ලියුමක් karu

කරු ජයසූරිය කියන්නේ යුධ හමුදාවේ හිටපු කපිතාන් වරයෙක්. කරු පසුගියදා පාර්ලීමේන්තුවෙදී විමල් කියපු නොමනා  කථාවකට දැඩි ස්වරයෙන් ප්‍රතිචාර දැක්වූවා,  

මම ජාතික ඇදුම ඇන්දේ 1955, ජාතික කොඩිය 1992  ඉදලා මගෙ පපුවෙ ගහනව, එක පටන්ගත්තේ ලංකාවේ ජර්මන් තානාපති හැටියට පත්වෙලා යන වෙලාවෙ. මම රට යනවිටත් අදින්නේ ජාතික ඇදුම , රට යන කොට කලිසමට බහින්නෙ නෑ….

කරුගේ කථාව අහපු ඔහුගේ සමකාලීන හමුදා නිලධාරියෙකු  අපූරු කථාවක් කීවා. මේ කථාවත්  ජාතික ඇදුම හා සමබන්ධ එකක්. සිදුවීම   වෙලා තියෙන්නෙ හැට ගනන්වල පනාගොඩ හමුදා කදවුරේ වැඩ කරනකොට. ඔය කාලේ  හමුදාවේ හිටිය උසස් නිලධාරීන් හැමදෙනාම වගේ සුද්දෝ එක්ක වැඩ කරපු අය.  ඔවුන් හැසිරුනේ සුද්දන්ටත් වඩා ‘වෙස්ටර්න්’ තාලයට . කරු එතකොට දෙවන ලුතිනල් වරයෙක් . කරුගේ අණදෙන නිලධාරියා වුනේ මේජර් ස්ටැන්ලි ප්‍රනාන්දු . සිංහලයෙක් වුනාට  මේජර් හැසිරුනේ අමු සුද්දෙක් වගේ. මේජර් හැමදාම හැන්දෑවට ශෝටක් ගහලා ටෙනිස් ගහන්ඩ යනව.

දවසක්  හැන්දෑවක මේජර් ශෝට ගහලා ටෙනිස් ‍රැකට් එකත් දාගෙන මයිනර් කාර් එක එලවනව. කරූ ජාතික ඇදුම ඇදලා පොඩි බෑග් එකකුත් අරගෙන ඇවිදිනව. මේජර් කරු දැකල  කාර් එක නැවැත්තුවා.

”කොහෙද ඕයි තමුසෙ යන්නෙ ”  පන්සල්  යනව සර්, අද ඇසළ පෝය  , ඉංග්‍රීසියන් අහපු ප්‍රශ්නයට කරු ඉංග්‍රීසියෙන්ම උත්තර දුන්න . ‘හරි, හෙට 9 ට මගේ ඔ‍ෆිස් එකට එනව’… එහෙම්  කියපු මේජර් යන්න ගියා.

කරු පහුවෙනිදා මේජර් හමුවෙන්න ඔ‍ෆිස් එකට ගියා. මේජර් වාඩි වෙන්ඩ කියලා කථාවක් පටන් ගත්තා.

හමුදාවෙ නිළධාරියෙක් වුනාම ගරු ගාම්බීරව ඉන්ඩ ඕනෑ, අපේ ස්ටේටස් මේන්ටේන් කරන්ඩ ඕනේ, තමුසෙ ටෙනිස් ගහන්ඩ දන්නවද ?  ටෙනිස් දැන ගත්තෙ නැතත් කමක් නෑ , පාරෙ යනකොට ‍රැකට් එකක් කරේ දාගන්නව,  ඇවිදිනකොට ඕක වන වනා යනව, එහෙමයි නිළධාරීන් ඉන්ඩ ඕනෑ’’, මේජර් සිය නැණ  පමනින්  කරූට අවවාද කරා 

කරූ ඊලග පෝයටත් පන්සල් ගියා . පන්සලට යන පාර වැටිල තියෙන්නේ ටෙනිස් කෝට් එක ලගින්මයි . එදත් අර ඇදුමමයි ඇදලා ගියේ.  පහුවෙනිදා ඔ‍ෆිස් යනකොට කරූගේ මේසේ උඩ ටයිප් කරපු ලියුමක් තියෙනව. මේජර් කරූගෙන් ”එක්ප්ලනේෂන්” කෝල් කරලා. ඒ කියන්නේ දඩුවම් කිරීමට පෙර නිදහසට කරුනු විමසීමක්. කරූට චෝදනා 2ක් එල්ල කරලා තිබුනා. පලමු චෝදනාව වුනේ නිලධාරියෙකුට නුදුදුසු ඇදුමකින් සැරසීම , දෙවන චෝදනාව වුනේ ඉහල නිලධාරියාගේ උපදෙස් වලට අවනත නොවීම.

මේජර් හිතුවෙ ප්‍රති උත්තර විදියට තමන් ලියපු මාගල වගේ ලියුමක් කරුත් එවයි කියලා. නමුත් කරූ ලියුවෙ එක පේලියයි.  ‘‘ඇදුම පිළිබද  සම්පූරණ  වගකීම බාර ගනිමි. නිදහසට කීමට කිසිදු කරුනක් නොමැත. ඔබ විසින් පනවන ඕනෑම දඩුවමක් බාර ගැනීමට මා සූදානම්ය’’  කරූගෙ ලියුම අමුතු එකක්. නිදහසට කරුණු කියනව වෙනුවෙට ඕනෙම දඩුවමක් දෙන්ඩ  කියනව. සමහර විට ශෝට ගහගෙන හිටපු මම ඔයින් බේරුනා ඇති කියලා මේජර් හිතුව වෙන්නඩත් පුලුවන්. ඒ ලියුම දැකපු මේජර් ආයෙත් කිසිම දවසක් කරුගේ ඇදුම ගැන අවවාද දෙන්ඩ ගියේ නෑ. ටික කලකට පස්සේ  කරූ ඒ ඇදුම තමන්ගේ ”සිම්බල්” එක බවට පත් කර ගත්තා.

By තුෂාරා වන්නිආරච්චි