මෝර්ය වංශයේ අවසානය සහ ලම්බකර්ණ ආගමනය – රට ඉල්ලන පෙරස්ත්‍රොයිකාව මෙන්න

මෝර්ය වංශයේ අවසානය සහ ලම්බකර්ණ ආගමනය – රට ඉල්ලන   පෙරස්ත්‍රොයිකාව මෙන්න Sajith ravi patali SF

එය ඉතිහාසයේ එක් සුවිශේෂිත දිනයකි. ආචාර සමාචාර මැද රජතුමා සිංහාසනාරූඩ විය. රාජ සභාවේ සිදුවන දෑ බලා සිටි දොරටුපාලයා හූ තලමින් සිනාසුනේය.ඉන් කෝප වූ රජතුමා දොරටුපාල මරා දැමීමට අණ කළේය. යසලාලක රජු දොර‍ටුපාල ලෙසත් සුභ නම් දොර‍ටුපාලයා රජු ලෙසත් වෙස් මාරු කර ගත් කවට කෙළිය එලෙස අවසන් වූ බව අප කියවා ඇත.

පැය කිහිපයකට රාජාභරන පැළදගත් දොර‍ටුපාලයාට නියම රජුගේ හිස ගසා දැමීමට තරම් එඩිතර බවක් ආරෝපනය වූයේ කෙසේද? නියම රජු දං ගෙඩියට ‍රැගෙන ගොස් හිස ගසා දැමීම දක්වා දීර්ඝ ක්‍රියාපටිපාටිය සාර්ථකව නිම කිරීමට හැකි වූයේ කෙසේද ?

නිසකවම රාජ සභාවේ ප්‍රභලයින්ගේ සහාය දොර‍ටුපාලයාට ලැබී ඇත.එය මනා ලෙස සැලසුම් කළ කුමන්ත්‍රණයකි. දොර‍ටුපාලයා මෙම කුමන්ත්‍රණයේ ඉත්තෙකි. කුමන්ත්‍රණයේ මහ මොළ කරුවන් කවුරුන්ද යන්න ඉතිහාසය වසන් කොට ඇත. යසලාලක තිස්සගෙන් මෝර්ය රාජ වංශය අවසන් විය.චෝල ආක්‍රමන සිද බිද දැමූ ගැමුනු වැනි ශ්‍රේෂ්ඨ නරපතීන් මෝර්ය රාජ වංශයට අයත් විය. නමුත් එකී රාජ වංශය අවසන් විය. අනතුරුව ලම්බකර්ණයන් නැගී ආහ

රනිල් පක්ෂය පාවාදී පුද්ගලික අභිලාශ මුදුන් පමුනුවා ගත් හැටි

2015 ජනපති සටනට පොදු අපේක්ෂකයෙකු අවශ්‍ය විය. කරු ජනපති අපේක්ෂකයා කොට සිරිසේන අගමැති අපේක්ෂකයා කිරීමට සැලසුමක් විය.එකී සැලසුම අනුව රනිල් අවලංගුය. එහෙයින් සිරිසේන ජනපති අපේක්ෂකයා කොට තමා අගමැති අපේක්ෂයා වීමට රනිල් සිතුවේය.ඒ අනුව ඉත්තා වූ සිරිසේනට ජනපති අපේක්ෂකත්වය ලැබුනි. මුල් වටයේදී රනිල් හීන් නූලෙන් රාජපක්ෂලාට කැපුවේය.19 වන සංශෝධනය හරහා  රාජපක්ෂලා ඉලක්ක කලේය අතෙකින් අගමැති ධූරයට වැඩි බලතල දුන්නේය. 2020දීත් පිං අගමැති වීම රනිල්ගේ ඉලක්කය විය. ජේ.ආර් මෙන් අඛන්ඩව වසර 10ක් රට පාලනය කිරීම රනිල්ගේ සිහිනය විය.

බැඳුම්කර මගඩියේ චූදිතයා අගමැති රනිල්ය

රනිල්ගේ දේශපාලන ව්‍යාපෘති වලට අවශ්‍ය මාධ්‍ය බලය  සහ මුදල් සම්පාදනය කිරීම ඇලෝසියස් බෑනාට සහ මහේන්ද්‍රන් මාමාට බාර විය. බෑනා ‘එම්ටි පොකැට්’ ආයෝජකයෙකි.  නමුත් මහ බැංකුව මාමා සතු වූ නිසා 1% පොලියට බෑනාට ලංකා බැංකුවෙන් ණයක් ලැබුනි.  බෑනා එම එම ණය මුදල මාමගෙ බැංකුවෙ  8% පොලියට ආයෝජනය කළේය. (බැඳුම්කරයේ දළ කථාව එලෙසිනි) අර්ජුන් මහේද්‍රන් වැලි කෙලියේ පටන් රනිල්ගේ මිතුරෙකි. බැඳුම්කර ගණුදෙනුව සිදුවන විට මහ බැංකුව තිබුනේ අගමැති රනිල් යටතේය. බෑනාට ණය දුන් ලංකා බැංකුව තිබුනේ කබීර් හෂීම් යටතේය. බැදුම් කර ගනුදෙනුවට අත් උදව් දුන්නේ මලික් සමරවික්‍රමය. බැඳුම්කරය පිරිසිදු යයි කීවේ හර්ෂ, සුජීව,අජිත් ප්‍රමුඛ ෆුට් නෝට් කල්ලියය. ඇලෝ ගෙන් මුදල් ගත්තේද ඔවුන්ය. නමුත් බෙල්ල ගියේ රවීගේය .

රනිල් එක ගලින් කුරුල්ලන් දෙබානක් බෑ හැටි

රවි යහ පාලන ආන්ඩුවේ මුදල් ඇමති විය. වරලත් ගණකාධිකාරිවරයෙකු මුදල් ඇමති පු‍ටුවට පත් වූ ප්‍රථම අවස්ථාව එය විය. ව්‍යාපාර ලෝකයේ අත්දැකීම් බහුල රවී රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000 කින් වැඩි කළේය. පාරිබෝගික භාන්ඩ මිල අඩු කළේය. පෙරෙළිකාර ලෙස රු 1000 කින් ගෑස් මිල අඩු කළේය. මේ අතර ජාත්‍යන්තර බෑන්කර් සගරාව විසින් ආසියා පැසි‍ෆික් කලාපයේ හොදම මුදල් ඇමති ලෙස රවි නම් කළේය. රවි වතුකරයේ සහ උතුරු නැගෙණහිර සංවර්ධනයට වැඩ කළේය.රවි සුළු ජාතික පක්ෂවල විශ්වාසය දිනා ගත්තේය.රවි සජිත්ට පමනක් නොව රනිල්ටද අභියෝගයක් විය. හීන් නූලෙන් ගේම් දෙන රනිල්, සජිත් – රවි කෙටෙව්වේය. රනිල්ට තොන්ඩුව වැටීමට නියමිත බැඳුම්කරයට රවි මාට්‍ටු කළේය. රනිල් රවීගේ බෙල්ල කපා පක්ෂ නායකත්වය සහ අගමැති ධූරය යන දෙකම ආරක්ෂා කර ගත්තේය.

අජිත් පී, හර්ෂ, සුජීව වැනි අඳබාලයන් අතීතයෙන් උගත යුතු පාඩම් බෝහෝය       

මහ බැංකු කොල්ලයෙන් පසු සිරිසේන ශක්තිමත් විය. ඉත්තා කප්පිත්තා විය.සිරිසේන ඊලග ජනපති සටනට නිදහස් පක්ෂයෙන් තරග කිරීමට සැලසුම් කළේය.සිරිසේන මුලින් ගෝඨා සමග ගමනක් යාමට හැදුවේය. ගෝඨා සමග ගණුදෙනුව අසාර්ථක වූ තැන සජිත් හා එක්ව ගමනක් යාමට සැලසුම් කළේය. අජිත් පී, හර්ෂ, සුජීව වැනි අඳබාලයන් සිරිසේන සමග එක ගෙයි කෑහ . සිරිසේනගේ ලණු කෑ සජිත් ජනපතිවරණයට ඉදිරිපත් වූයේ අපේක්ෂකයෙකු ලෙස නොව 7 වන විධායක ජනපති ලෙසිනි. සජිත් පිල කටමැත දෙඩෙව්වා මිස ජනතාව සමග සම්මුඛ නොවූහ. එහි ප්‍රතිපලය ලෙස ඔවුන්ගේ ආසන බර ගනන් වලින් පරාජය විය. අතීතයෙන් උගත යුතු පාඩම්  බෝහෝය. නිවරදි කරගත යුතු තැන් බොහෝය    

සුභ යස කථාවෙ කථාවේ නොපෙනෙන රූපාන්තරය වන් වූ රනිල් – මහින්ද රහස් ගණුදෙනු

මැතිවරණ පරාජයත් සමග සජිත්ගේ මූල්‍ය වංචාවක් ගැන පරීක්ෂණ ආරම්භ විය. නිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකොට මධ්‍යම සංස්කෘතික අරමුදලින් ගෙවීම් කළ බවට සජිත්ට චෝදනා එල්ල වී ඇත. චම්පික ඉලක්ක කොට 2016 වසරේ සිදුවූ රිය අනතුරක් ගැන පරීක්ෂණ ආරම්භ විය. මහ බැංකු වෝහාරික වාර්තාව ගල් විය. යම් හෙයකින් මහ බැංකු වෝහාරික වාර්තාව පර්ලීමේන්තුවට ඉදිරිපත් වූයේ නම් සියලු චෝදනා වලින් රවි නිදහස් වී රනිල්ගේ බෙල්ල යාමට නියමිතව තිබුනි.  මහ බැංකු මංකොල්ලය රවි පිට පැටවීම  , චම්පිකගේ රිය අනතුර යලි විභාග කිරීම, සජිත්ට එරෙහි පරීක්ෂණ සිදුවන්නේ හාමුලාගේ රහස් න්‍යාය පත්‍ර අනුවය . එය සුභ යස කථාවෙ කථාවේ නොපෙනෙන රූපාන්තරය මෙනි .

කූඹින්ට මූත්‍රා පාරත් ගංගාවක්  වන හෙයින් ගෝඨා මාකට් යාමත් මෙරට මිනිසුන්ට සිස්ටම් චේන්ජ් එකකි

එජාපය  දිනෙන් දින පරිහානියට ලක් වන සමයක ගෝඨා සිදු කරමින් යන ප්‍රතිසංස්කරණ ගැන  ඇස් ඇර බැලිය යුතුය. චීනය දියුනු වූයේ  මධ්‍යගත අධිකාරියක්  දේශපාලකයන්ට ඉහලින්  ක්‍රියාත්මක වන පරිපාලන රාමුවකිනි. සිංගප්පූරුව , ජපානය,  කොරියාව , වියට්නාමය තුලද එකී ක්‍රමය දැකිය හැකි විය. ගෝඨාභය පැහැදිලිවම සාම්ප්‍රදායික දේශපාලනය වෙනුවට නව යාන්ත්‍රණයක් සකසමින් සිටියි. මේ වන විට වියත් මග හරහා මහින්ද, නාමල්, බැසිල්ගේ දෑත් බැද ඇත. දේශපාලකයන්ට ඉහලින් ක්‍රියාත්මක වන බල අධිකාරියක්  නිර්මානය වෙමින් පවතියි . ගෝඨා ‘සිස්ටම් චේන්ජ්’ කිරීමට පැමින අයෙකි. කූඹින්ට මූත්‍රා පාරද ගංගාවක්  වන හෙයින් ගෝඨා මාකට් යාමත් මෙරට මිනිසුන්ට සිස්ටම් චේන්ජ් එකක් ලෙසින් දකින බව අමතක නොකල යුතුය. නමුත් එසේ කියා ප්‍රතිවාදියාගේ  වැඩ පිලිවෙල අවතක්සේරු නොකල යුතුය

පක්ෂය වෙනුවෙන් විශාලතම මෙහෙය කළ හැක්කේ රනිල්ටය, ඒ වනාහි  වහාම විශ්‍රාම ගැනීමය

ගෝඨා වැනි බලසම්පන්න ප්‍රතිවාදියකු සමග සටන් කිරීමට කන්ඩායමක් අවශ්‍යය. සජිත්ට  රවීට   හෝ චම්පිකට එය තනිව කළ නොහැක. එය අජිත් පී, හර්ෂ, සුජීව වැනි අඳබාලයන් සමග කළ නොහැක.1970 මහ මැතිවරණයෙන් එජාපය අන්ත පරාජයකට පත් විය. නමුත් අළුත් මුහුණුවරකින් ප්‍රතිසංවිධානය  වූ එජාපය ඊලග මැතිවරණය අති විශිෂ්ඨ ලෙස ජය ගත්තේය. එජාපය යලි ගොඩ ගත්තේ ප්‍රේමදාස, ගාමිනි සහ ලලිත්ය. එකී විශිෂ්ඨයන්ගේ ඊලග පරම්පරාව ජීවමානය. පරහකට ඇත්තේ කිසියම් අදෘෂමාන බලවේගයක් විසින් ඔවුන් භේද බින්න කිරීමය. මොවුන් සමගි වුව හොත්, සජිත්ට අඩු වරප්‍රසාදිත පංතියට කථා කළ හැක. චම්පික, නවීන්  සහ ෆොන්සේකාට බෞද්ධ ලකුණ ආරක්ෂා කළ හැක. නාගරික ප්‍රජාව සහ සුළු ජාතීන් රවීට බාරය. පක්ෂය වෙනුවෙන් විශාලතම මෙහෙය කළ හැක්කේ රනිල්ටය. ඒ වනාහි  වහාම විශ්‍රාම ගැනීමය.

නූතන වසභයෙකුගේ ආගමනය නවතාලිය නොහැක

මෝර්ය රාජ වංශය අවසන් කිරීමට  ලම්බකරණ වංශිකයෝ දොර‍ටුපාල යොදා ගත්හ. නමුත් දොර‍ටුපාල රජවූ පසු ලම්බකර්ණයන්ට කොකා පෙන්නුවේය. දොර‍ටුපාලයා කොකා පෑවද ලම්බකර්ණයන්ගේ ආගමනය නවතාලිය නොහැකි විය. ලම්භකර්න වංශික වසභ මෙරට රජ වී අවු 44 අඛන්ඩව රට පාලනය කළේය. මොහු රටේ කොදුනාරටිය වන් වූ කෘෂිකර්මාන්තය සහ වෙලදාම  ඉංජිනේරු ශිල්පය හා බද්ධ කළේය. යෝධ ඇල මාර්ග, විශාල වැව් සහ මං මාවත් තැනීම් ආරම්භ කළේ  වසභ රජුය. දූෂිත රාජපක්ෂලා දේශපාලනයෙන් අතුගා දැමීමට 2015දී සිරිසේනට සහ රනිල්ට වරමක් දුන්හ. නමුත් සිරිසේන සහ රනිල් ජනයාට කොකා පෑහ.නමුත් පුරවැසියන්ගේ අභිලාශ එලෙසමය. රට ගොඩනගන නූතන ලම්බකරණයන්ගේ ආගමනය නවතා ලිය නොහැක්කේ එබැවිනි

හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ පුරවැසියන් යථාර්තය වටහා ගත යුතුය

ඉතිහාසය ලියවෙන්නේ ජයග්‍රාහකයාට මනාප අයුරිනි. මිනීමැරූ සුදු වෑන් කල්ලි නිදහස් වී රාජිත ගස් යාමට ඉඩ ඇත. සොහොන් ගෝඨා සුදු නෙළුමක් වී සජිත් හොරෙක් විය හැක. එක්නැලිගොඩ කේස් එක චම්පික පිට පටවා රාජපක්ෂලා නිදහස් විය හැක . මහ බැංකු කොල්ලය රවි පිටවා රනිල් නිදහස් විය හැක .  නමුත් හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ පුරවැසියන් යථාර්තය වටහා ගත යුතුය. දේශපාලනයට  තියා දොර‍ටුපාල වෘත්තියටවත් නුසුදුසු රනිල් දශක දෙකකටත් වැඩි කාලයක් එජාපය පාලනය කරන්නේ රාජපක්ෂලාගේ ආශිර්වාදයෙන් බව තේරුම් ගත යුතුය . 25 වසරක් පුරා එජාපය වෙලා ගත් රනිල් නැමති සාපය අවසන් කිරීමට සජිත්-රවි-චම්පික  එකාවන්ව දැන්වත් පෙරට ආයුතුය.

රට ඉල්ලන භෞතික සහ ආධ්‍යාත්මික පෙරස්ත්‍රොයිකාව

රනිල් එලවා දමා එජාපයට භාරකාර නායකයෙකු පත් කල යුතුය . පක්ෂය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කළ යුතුය. පක්ෂයට තින්ක් ටෑන්ක් එකක් අවශ්‍යය. දක්ෂයාට තැන දිය යුතුය. පක්ෂ කාර්යාල වැඩ බිම් බවට පත් කල යුතුය.පක්ෂ මූලස්ථානය ප්‍රධාන මෙහෙයුම් මැදිරිය විය යුතුය. මහජන නියෝජිතයන් දුක් ගන්නා රාලලා විය යුතුය. ක්‍රියාකාරීන් භෞතික සහ අධ්‍යාත්මික වශයෙන් බල ගැන්විය යුතුය. නායකයන් පුරවැසින් සමග සම්මුඛ විය යුතුය. පක්ෂයට ”කෝඩ් ඔෆ් කන්ඩක්ට්” එකක් අවශ්‍යය . අණ සහ පාලනය ස්ථාපිත කළ යුතුය. අරමුදල් ලැබීම සහ ගෙවීම නිසි ක්‍රමවේදයකට යටත් කළ යුතුය. නව තාක්ෂණය හා මුසු විය යුතුය. පියාගෙන් පුතාට උරුම වන දේශපාලනය වෙනුවට දක්ෂයින් ඉහලට ඔසවා තබන ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

විප්ලවය දියත් කළ යුතු කාලය එලඹ ඇත

ගෝඨා තමාගේ පක්ෂය හදා ගැනීමට පෙර රට හැදීමට ආවේය. කළුවා මාරපන් ගියාසේ දේශපාලනයට ආ ගෝඨා සියල්ල අනාගත්තේය. දැන් රට හැදීම පසෙක තබා පක්ෂය හැදීමට ගෝඨාට සිදුව ඇත . පක්ෂය  හදාගත නොහැකි පිරිසකට කිසි දිනක රට හැදිය නොහැක.. එහෙයින් රට හැදීමට උත්සාහ කරන්නෙක්  මුලින්ම කළ යුත්තේ ශක්තිමත් පදනමක් මත පක්ෂය ගොඩ නැගීමය. අරගලයෙන් තොර ජයග්‍රහනයක් නොමැත. එජාපය විප්ලවීය වෙනසකට ලක් විය යුතුය. පක්ෂයේ, පුරවැසියන්ගේ  සහ රටේ  විමුක්තිය  වෙනුවෙන් එකී විප්ලවය දියත් කළ යුතු කාලය එලඹ ඇත. යුක්ති යුක්ත දේශපාලන අරමුනු වෙනුවෙන් සටන්කාමී ධජය වැලද ගත යුතු හෝරාව එලඹ ඇත

By Keerthi ratnayaka – Former armed forces intelligence officer