ලංකාවේ තත්වය භයානකයි , ඉතාලියේ ආරම්භයට වඩා දරුණුයි, කොරෝනා ව්‍යප්තියට ගෝඨා වගකිව යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්

ලංකාවේ තත්වය භයානකයි , ඉතාලියේ ආරම්භයට වඩා දරුණුයි, කොරෝනා ව්‍යප්තියට ගෝඨා වගකිව යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන් gmo

කොරෝනා වසංගතය මුළු රටම  වෙළාගෙන සිටියදී  ජනපති ගෝඨා වගකීම් විරහිත ලෙස කටයුතු කරන්නේ යයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය චෝදනා කළේය. ඔවුන්  මේ බව කීවේ ඊයේ  (19) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු තවත් පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට ඊයේ සවස 4 සිට අද උදේ 8 දක්වා පනවන ලද ඇඳිරි නීතිය කිසිදු වග විභාගයකින් තොරව ඉවත් කිරීම රටම අනතුරේ දැමීමක් බව ඔවුන් කීහ . ඇදිරි නීතිය ඉවත් කළ යුත්තේ අදාල ප්‍රදේශය ”ලොක් ඩවුන්” කිරීමෙන්  පසුව බව ඔවුන් පෙන්වා දුන්හ . ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග එහි සිටි ජනයා වෙනත් ප්‍රදේශ වලට ගොස් ඇති බවත්  ඒ හරහා වෛරසයද රට පුරා ගොස් ඇති බව රජයේ වෛද්‍ය  නිළධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවූහ.

සිංහළ අවුරුද්දේ රටම මල ගෙයක් !

මේ වන විට ජනතාව අතර කොරෝනා වෛරසය සීග්‍රයන් පැතිර යන බවත් ඉදිරි සති දෙක තුන තුල බිහිසුණු ප්‍රතිථල අත්වන බව ඔවුන් කීහ . ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ මුල් සතිය ඉතාලියටද වඩා දරුණු බව  වෛද්‍ය නිළධාරීන් පෙන්වා දුන්හ. ඉතාලියේ මේ වන විට දිනකට  පුද්ගලයන් 400  පමන  මිය යයි. කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය 4% පමන වන තත්වයක් තුල නිවරදි තීරණ නොගත හොත් සිංහළ අවුරුද්දේ රටම මල ගෙයක් වනු ඇති බව ඔවුන් කීහ. නීරෝධායනය ප්‍රමාද කල , ගුවන් තො‍ටුපල වැසීම ප්‍රමාද කළ පුද්ගලයන් රට මලගමක් වීමේ වගකීම බාර ගත යුතු බව ඔවුන් කීහ . ත්‍රස්තවාදීන් සමග යුද්ධ කළ ආකාරයෙන් කොරෝනා වෛරසය සමග සටන් කළ නොහැකි බව ඔවුන් කීහ . වසංගත රෝග මර්ධනය  සදහා විද්‍යානුකුල ක‍්‍රමවේදය පවතින බවත් ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් එකී ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව අවධාරණය කළහ.

මුග්ධ තීන්දුව කාගේද ?

සෞඛ්‍ය බලධාරීන්ගේ අනුදැනුමකින් තොරව ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැන වෛද්‍ය සංගමය ගෝඨාගෙන් ප්‍රශ්න කර ඇති අතර,  එය කමල් ගුණේගේ වැඩක් කියා ගෝඨා ලිස්සා ගොස් ඇත. ගෝඨාගේ සහ කමල් ගුණේගේ තකතීරු  ක්‍රියාකලාපය  ගැන කම්පාවට  පත් වූ වෛද්‍ය සංගමය  සිය දුක්ගැනවිල්ල මහින්දට ඉදිරිපත් ඉදිරිපත් කොට ඇත. මාධ්‍ය හමුවක් පවත්වා ගෝඨාභයට සහ කමල් ගුණේට පහර දෙන ලෙස උපදෙස් ලැබී ඇත්තේ එහිදීය. රජයේ වෛද්‍ය සංගමය ගෝඨා සහ කමල් ගුණේගේ තකතීරු ක්‍රියා කලාපය  විවේචනය කළේ මහින්දගෙන් ලැබුණු තල්ලුව නිසාය. විවේචනයක්  පමනක් නොව ඔවුන්ගේ කථාව අනතුරු ඇඟවීමක්  විය. මාර්තු 10 පැවති කොරෝනා ‍රැස්වීමේදී, රටේ ක්‍රියාත්මක විය යුත්තේ තමන්ගේ නියෝග යයි ගෝඨා කීවේය . අවිධිමත් ඇඳිරි  නීතිය , ගුවන් තො‍ටුපල නොවැසීම ගෝඨාගේ තකතීරු වැඩ බව පැහැදිළිය

ගෝඨාගේ බල කුමන්ත්‍රණය

ගෝනි සෙල්ලම් කලාවක් නම් ගෝඨා පිකාසෝය. රට පාලනය කිරීමේ සුක්කානම අගමැති ( මහින්ද )  සතුය, පක්ෂය බැසිල් සතුය. ගෝඨා  කොරෝනා ව්‍යවසනය  අතර තුර සහෝදරයන් දෙදෙනා යට පත් කිරීමේ කුමන්ත්‍රණයක යෙදී  සිටින බව පසුගිය ලිපියකින් හෙළිදරව් කළෙමු. හදිසි තත්වයක් යනු විශේෂ අවස්ථාවකි. එවැනි මොහොතක නීති රෙගුලාසි ලඝු කළ හැක.  ගෝඨා ලෝකේ කොහේවත් නැති සමාගමකින් මිග් යානා ගෙන්වූයේ එවැනි තත්වයකදීය. හදිසි තත්වය තුල කල්ල මරේ බව ගෝඨා දනී.  

යුද්ධය ගොඩ ගියේ ෆොන්සේකා නිසාය. නමුත් පොත් ලියමින් ”මං පොර” වූයේ ගෝඨා සහ කමල් ගුණේය. යුද්ධයේ  ගෞරවය තම නමට ලියගත් ‘තියරිය’ ගෝඨා සහ කමල් ගුණේ කොරෝන සංග්‍රාමයටද ‘ඇප්ලයි’ කොට ඇත . ගෝඨා කොරෝනා මෙහෙයුම  කොළ තොප්පි කමල් ගුණේට සහ ශවේන්ද්‍රට  දුන්නේ නිකම් නොවේ. ගෝඨාගේ සැලසුම කොරෝනා මෙහෙයුම  පිට දමා රාජ්‍ය පාලනයේ උපරිම  බලතල සතු කර ගැනීමය.  

ශවේන්ද්‍රගේ නම යෑම සහ  වෛද්‍ය වෘත්තිකයන්ගේ හම යාම

යුධ ජයග්‍රහනයේ තීරනාත්මක වැඩ කොටස ඉ‍ටු කළේ සාජන්ලා කෝප්‍රල්ලාය. සතුරා සමහ මුහුණට මුහුණ ලා සටන් කළේ ඔවුන්ය. යුද්ධය පුරාවට ගෝඨා උතුරට ගියේ එක් වරකි. නමුත්  යුධ  ඔස්තාර්ලා වූයේ  ගෝඨා, කමල් ගුණේ සහ ශවේන්ද්‍රය.කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් අතිශය වැදගත්ම කාර්යභාරය ඉ‍ටුකරන්නේ සෞඛය බලධාරීන්ය . කොරෝනා රෝගීන් හදුනා ගන්නේ, ඔවුන්ට උවටැන් කරන්නේ, ආහාර පාන ලබා දෙන්නේ , සානීපාරක්ෂාව ගැන වග බලා ගන්නේ සෞඛ්‍ය සේවාවේ  සේවකයන්ය. වෛද්‍යවරයාගේ සිට සුළු සේවකයා දක්වා දිවි පරදුවට තබා  කොරෝනා ඉදිරි ආරක්ෂක වලල්ලේ සේවය කරයි. නමුත් කොරෝනා මෙහෙයුමේ වීරයා ශවේන්ද්‍රය. නම යන්නේ ශවේන්ද්‍රගේය. හම යන්නේ වෛද්‍යවරුන්ගේය. මෙහෙයුම් කමි‍ටුවේ ප්‍රධානියා ලෙස වෛද්‍යවරයෙකු පත් නොකළ හේතුව පැහැදිලිය .

ගෝඨා සහ කමල් ගුණේ තේරුම් ගත යුතු සත්‍ය

ශවේන්ද්‍ර සහ කමල් ගුණේට  යුද්ධ කරන කාලයේදී කැමරාව නැතිවම බැරි එකක් විය. කෝප්‍රල්ලා සාජන්ලා යුද්ධ කරන විට ශවේන්ද්‍ර සහ කමල් ගුණේ මාධ්‍ය සංදර්ශන තැබූහ.අද පවතින තත්වය ඊට වෙනස් නැත . කොරෝනාවට එරෙහි මෙහෙයුම ගැන කථා පවත්වන්නේ ශවේන්ද්‍ර සහ කමල් ගුණේය. කොට අදින්නේ සෞඛ්‍ය නිලධාරීන්ය, පෙරහැරේ යන්නේ ශවේන්ද්‍ර සහ කමල් ගුණේය. ගෝඨාගේ සහ කමල් ගුණේගේ අවිධිමත් වැඩ වලද නිමක් නැත.

 කොරෝනාවට එරෙහිව ඉදිරි ආරක්ෂක වලල්ලේ සටන් කරන සෞඛ්‍ය සේවකයන් ගැන ඇගයීමක් නැත. මිලිටරිය විසින් සෞඛ්‍ය සේවය යටපත් කොට ඇත .  ඒ.සී කාමර වල සිටි නියෝග දෙන ශවේන්ද්‍ර සහ කමල් ගුණේ  වීරයන් වී ඇත. රට අමු සොහොනක් වුවද චන්ද්‍රප්‍රේම,  ගෝඨා සහ කමල් ගුණේගේ නමින් වීරකාව්‍ය ලියනු ඇත. නමුත් එකක් කිව යුතුය,  ත්‍රස්තවාදය මර්ධනය  කළ ආකාරයෙන්  ගෝලීය වසංගතයක් මර්ධනය කල නොහැකි  බව තේරුම් ගත යුතුය .