ප්‍රතිරූප මායාවක්, හද ගැස්ම යථාර්ථයක්- එජාපයට කුමක් වේද ?

ප්‍රතිරූප මායාවක්, හද ගැස්ම   යථාර්ථයක්- එජාපයට කුමක් වේද ? unnamed 2

පුද්ගල වන්දනාව රාජපක්ෂ කඳවුරේ පදනම යයි පැවසීම අතිශයොක්තියක් නොවේ. සජිත් වාදීන්ද පුද්ගල වන්දනාවේ යෙදෙන පිරිසකි. නමුත් සැබෑ එජාප පාක්ෂිකයා පුද්ගලයන් වන්දනාව කරන පිරිසක් නොවේ.ඔවුන් ප්‍රතිපත්ති ගරුක පිරිසකි. ඩී.එස්ගේ සිට රනිල් දක්වා ප්‍රතිපත්තීමය පරිචය දැකිය හැකි විය .

එජාපයේ නායකයන් කුලවත් වූයේ උපතින් නොව හැසිරීමෙනි. පක්ෂයට අනන්‍යවූ හර පද්දතියක් තිබුනි. නායකයන් සිය සුජාත භාවය ඔප්පු කළේ එකී හර පද්දතිය ආරක්ෂා කිරීමෙනි. ඩී.එස්ට රනිල්ට කළු සුද්දන් කී බව සැබෑය. නමුත් ඔවුන් ඔවුන්ම විය.  රෙද්දයි බැනියමයි හෝ රබර් සෙරෙප්පු දමා ජනයා ‍රැවටීමට ගියේ නැත. රැවටීම ඔවුන්ගේ දේශපාලනය නොවීය

ප්‍රතිරූප කියන්නේ මායාවක් – හද ගැස්ම  කියන්නේ යථාර්ථයක්.

ප්‍රේමදාස  එජාපයේ  ප්‍රතිරූපයකි , නමුත් එජාපයේ හද ගැස්ම  නොවීය . ඩී.එස් , කොතලාවල, ඩඩ්ලි, ජේආර්, ලලිත් , ගාමිනි, රනිල් , රවි  එජාපයේ හද ගැස්ම යයි පැවසීම අතිශයොක්තියක් නොවේ . ඔවුන් එජාපයේ හදගැස්ම වූයේ කුමක් නිසාද යන්න  විමසා බැලිය යුතු කරුනකි.  

එය සරල කථාවකි. මොවුන් කිසිවෙකු නළුවන් වූයේ නැත, රඟ පෑවේ නැත.සමාජයේ පුදගලයන් කොට්ඨාශයක් තොරාගෙන ඔවුන්ගේ වීරයා වීමට ගියේ නැත . ඔවුන් සිතුවේ සමස්ත රට ගැනය . නැණ පමනින් රටට වැඩ කළේය. ඔවුන් මනා ශික්ෂණයකින් හෙබි පුද්ගලයන් විය . එකී පරිචය ගලේ කෙටූ අකුරු මෙන් ජන සිත් සතන් තුල තැන්පත් විය. ඉනින් මතු පරපුරෙන් පරපුරට එජාප පාක්ෂිකයා සොයන්නේ එවැනි නායකයන්ය

ගල් ගසන්නේ ඵල ඇති රුකටය

ඩීඑස් ගොවි ජනපද හදන විට ජනයා බිලි දෙන්නේ යයි කීහ. නමුත් ගොවි ජනපද දුන්නේ සහල් පමනක් නොවේ . එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහි මිනිස් දම්වැලක් විය.කොතලාවල විදෙස් ඔත්තුකරුවෙකු යයි කීහ, අද ලංකාවේ ඇති එකම ආරක්ෂක විශ්ව විද්‍යාලය කොතලාවලගේ සංකල්පයකි. ගාමිනි මහවැලිය හදන විට ඔහුට ඔස්ට්‍රේලියාවේ ඇපල් වතු ඇතැයි කීහ. රනිල් කොටින්ට කත් අදින්නේ යයි කීහ .නමුත් එල්.ටී.ටී.ඊ එක දෙකඩ කළේ ඔහුය. රවීට බැංකු හොරා යයි කීහ , ඔහු කැඩූ බැංකුවක් නැත . ඉතිහාසයේ ප්‍රථම වතාවට රු 10000කින් පඩි වැඩි කළේ රවීය.

එජාපයේ ජනමූල නායකයන් කවුද?

ඩී.එස් , කොතලාවල, ඩඩ්ලි, ජේආර්, ලලිත් , ගාමිනි, රනිල් , රවි වැනි මිනිසුන්ට ගහට පොත්ත මෙන් බැඳුණු  හැදියාවක් විය.  දියුණු පෞර්ශයක් විය . හීන මානය නොතිබුනි. ඉතිහාසයේ මහා සම්ප්‍රදායය පක්ෂයට දුන් දායාදය එය විය .

රනිල් රවි දුර දකින නායකයන් දෙදෙනෙකි. ඔවුගේ හික්මීම , ඉවසීම අසමසමය. රනිල්, රවි උස් තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන අය නොවේ. මූනිච්චාවට කුඩා දරුවන් වඩා ගන්නා අය නොවේ. උස නම් කම්කරු මිටිනම් සිකුරිටි වැනි මාන නැත. මූනිච්චාවට ජනයා සමග කථා කලේ නැත , ජනතාව හා සම්මුඛ වූයේ හදවතිනි .

මෙවර වැඩිම මනාප ගන්නේ රනිල්ය

මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අපට කිසිවක් කිව නොහැක .කොරෝනා වෛරසය මුළු ලෝකයම අස්ථාවර කොට ඇත. නමුත් විශ්වාසීව එකක් කිව හැක . යම් මතු දිනක පැවැත්වෙන මැතිවරණයකදී කොළඹ දිස්ත්‍රක්කයෙන් මෙවර වැඩිම මනාප ගන්නේ රනිල්ය , රවීටටද නියත ජයක් හිමිය .

තවද කුරුනෑගල අකිල , කොළඹින් දයා , ගම්පහ අර්ජුන , කෑගල්ලේ ලිලාන් , රත්නපුරේ හසිත, පුත්තලමේ රංගේ, කළුතර තෙවරප්පෙරුම , නුවරඑළියෙ නවින් වාර්තාගත ජයග්‍රහන ලබනු ඇත. මක්නිසාදයත් ඔවුන් එජාප පාක්ෂිකයන්ගේ හදවත් තුලට කිඳා බැසගත් මිනිසුන්ය

හදවත් තුල ඔවුන් සදා ජීවමානය

එදා සුද්දන් දේශද්‍රෝහී හංවඩුව ගසා කැප්පෙටිපොළගේ හිස ගසා දැමුවේය, ඔහුගේ අරගලය උපහාසයට ලක් කළේය . නමුත් වීරනාමාවලියේ ඔහු අදටද ජීව මානය. වීරත්වයේ සහ දේශප්‍රේමයේ ‘අයිඩොල්’ එක ඔහුය

කොතරම් මඩ ගැසුවද, අපහාස කළද  එජාප නායක රනිල්  සහ උපනායක රවී පාක්ෂික හදවත් තුලින් ඉවත් කළ නොහැක. එජාප පාක්ෂිකයන්ගේ හදවත් තුල ඔවුන් සදා ජීවමානය. පාක්ෂිකයන් වෙන කවරදාකටත් වඩා එජාපය ඔසවා තැබීමට සූදානමින් සිටියි .කිරි බුන් තනය සපා උන්ට පාඩමක් ඉගැන්වීමට පුල පුලා බලා සිටියි.