ලොක්ඩවුන් කොට යටත්වීම , පාලකයන් සහ පූජකයන් ණය ගෙවන හෝරාව , වෛරසයට එරෙහි ප්‍රතිකර්ම

ලොක්ඩවුන් කොට යටත්වීම , පාලකයන් සහ පූජකයන් ණය ගෙවන හෝරාව , වෛරසයට එරෙහි ප්‍රතිකර්ම corona 19

හිටපු බුද්ධි අංශ නිළධාරි කීර්ති රත්නායක ලියූ ලිපියකි

මිනිසා වූ කලී විද්‍යාවේ කුළු ගෙඩි පහරින් මෝහනය වූ සත්වයෙකි. ඔවුහු ලෝකය ඇල්ලීමට ආවර්තිතා වගුවේ සිට සාපේක්ෂතා වාදය දක්වා කෙස් පැලෙන සෛද්ධාන්තික ගොඩනැගූහ. ඉන් නොනැවතුන ඔවුහු කෘතීම බුද්ධිය දක්වා විද්‍යාවේ නිම් වළලු පුලුල් කළහ.  ජීවීන්ගේ අධිපති තමා යයි පරිකල්පනය ඔවුන් තුල විය.  නමුත් බුද්ධියෙන් අසමසමයි සිතූ මිනිසා කෝවිඩ්-19  හමුවේ පරාජය විය. නොගැනිය හැකි තරම් කුඩා ජීවියෙකු මිනිසා ගොඩනැගූ ප්‍රතාපවත් බලකො‍ටු, බෙදුම් රේඛා සුන්බුන් බවට කළේය. පලා ගොස් සැඟවීමට තැනක් අහසෙහි ,පොලවෙහි පර්වත විවරයක තියා මිහිපිට වත් නොවුනි. මිනිසා ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් අපේක්ෂාභංගත්වයට පත් විය . ඔවුන් පරාජය වැළදගත් නිහඬ ප්‍රේක්ෂකයන් බවට පත් විය. සුන්බුන් වූ ලෝකය  ‘ලොක් ඩවුන්’ කොට යටත් වීම හැර විකල්ප නොවුනි.

කොරෝනා හමුවේ ලෝකය අසරණ වූයේ ඇයි ?

මිනිසා මේසා අසරණ වූයේ විද්‍යාවේ දුප්පත් බව නිසාම නොවේ. නමුත් මිනිසාගේ නොසංසිදෙන ආශාව සහ බල ලෝබීත්වය නිසාය. කෝවිඩ්-19 ඉදිරියේ ලෝකය අසරණ වූයේ පාලකයන්ගේ ප‍ටු දේශපාලන න්‍යාය පත්‍ර නිසාය. වෛරසය ව්‍යාප්තිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ වුවද ,එමගින් සිය ආර්ථිකයට ඇතිවන බලපෑම් සලකා චීනය එය ලොවට වසන් කළේය. සවුත් චයිනා මෝර්නිං පොස්ට් පුවත් පත වසංගතය ගැන ලොවට හෙළිකළේ නොවැ 17 දිනය. ඒ වන විට වෛරසය  වූහාන් සහ හුබෙයි යන ප්‍රාන්ත ගිලගෙන තිබුනි. රට භයානක වසංගතයකට ගොදුරුව ඇති බව  හෙළිදරව් කිරීමට චීනය ප්‍රමාද වූවා පමනක් නොව  රෝගින් ප්‍රමාණය , මියගිය ගණන  තව දුරටත් වසන් කළේය. එය කෝවිඩ්-19 ලොව පුරා පැතිරයාමට ප්‍රභල හේතුවක් විය. වෛරසය ව්‍යාප්ත වන මුල් අවස්ථාවෙදී ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වගකීම් නිසි ලෙස ඉ‍ටු කිරීමට අපොහොසත් විය

ඉතාලියට කොරෝනා බෝ වූ හැටි

ලෝකයේ   ”ෆැෂන් බ්‍රෑන්ඩ් ” වැඩි ප්‍රමාණයක හිමිකම ඉතාලිය සතුය. ඒවායේ කාර්ය්‍යාල සංකීර්ණ  බොහොමයක් පිහිටා ඇත්තේ ලොම්බාඩි නුවරය. බ්‍රෑන්ඩ් එක ඉතාලි  සතු වුවද ඒවා නිෂ්පාදන කළේ චීනයේ වූවාන් වලය. එම හේතුව නිසා ඉතාලි ජාතිකයන් නිතර නිතර වූහාන් වලට ගියේය. ලොම්බාඩි නුවරට කෝවිඩ් 19 පැමිණියේ ඒ අයුරිණි. ඉතාලි වැසියන්ගේ සම්භාෂණ ජීවන රටාව , නයිට් ක්ල්බ් , පා පන්දු තරග වැනි දෑ  වෛරසයේ පැතිරයාම සීග්‍ර කළේය. ජනප්‍රිය දේශපාලන තීන්දු මිස නිසි අණ පනත් බල ගැන්වීමට ඉතාලි පාලකයන් විචක්ෂණ නොවීය. පාලකයන් අණ පනත් ක්‍රියාතමක කලේ අශ්වයා පැනගිය පසු ස්තාලය වසන ස්වරූපයෙනි . එම තත්වය  යුරෝපයේ , අමෙරිකාවේ පමනක් නොව ශ්‍රී ලංකාව තුලද දැකිය හැකි විය.

මහජන මුදලින් බුද්ධි අංශයක් නඩත්තු කරන්නේ කුමටද?

පුරවැසියන්ට  ආරක්ෂාව සැපයීම රටක බුද්ධි අංශයේ  මුඛ්‍ය වගකීම වෙයි. මහජන මුදලින් බුද්ධි අංශයක් නඩත්තු කරන්නේ ඒ වෙනුවෙනි. ජනතාව අනතුරට පත්වීම හමුවේ බුද්ධි අංශයට අත සෝදා ගත නොහැක. මේවන විට ලෝකයේ බුද්ධි අංශ ප්‍රධානීන් ගණනාවක් දුෂ්කර අඩියකට පත්ව ඇත. ඇතැමුන්ට එරෙහිව චෝදනා ගොණු කොට ඇත. සමහරෙක් සේවයෙන් නෙරපා ඇත. නමුත් ලංකාවේ දැකිය හැක්කේ ගෝඨා සහ සුරේෂ් සැලේ මාරුවෙන් මාරුවට පිට කහ ගන්නා තත්වයකි. පසුගියදා රාජ්‍ය බුද්ධි අංශයේ  පරාක්‍රම සිල්වා නැමැත්තෙක් දෙරණට ආවේය. බුද්ධි අංශය  කොරෝනා වාහකයන් සොයා යන අයුරු අතිශයොක්තියට නැගුවේය. බුද්ධි අංශයේ  වගකීම වාහකයා සමාජ ගත වූ පසු සොයා යාම නොව සමාජ ගත වීමට පෙර නිරෝධායනයට යැවීමට වග බලා ගැනීමය. නීතිය  නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ‘‘බරපතල නොසළකා හැරීම ” යන චෝදනාව මත සුරේෂ් සැලේට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.

ව්‍යවසනයට වගකිව යුත්තේ ප්‍රසන්නද , සැලේද, කමල් ගුණේද ,ගෝඨා ද ?

ප්‍රසන්න රණතුංග කෝවිඩ්-19 සංචාරක ප්‍රවර්ධනය සදහා යොදා ගත්තේය. ලංකාවේදී කොරෝනා  සුව කළ හැකි  යයි  හැඟවෙන ආකාරයේ වීඩියෝවක් සංචාරක ප්‍රවර්ධනය සදහා යොදා ගත්තේය. එම වීඩියෝව කොරෝනා  රෝගීන්ට යැවූ  ආරාධනා පත්‍රයක් බඳු විය. ඊට සමගාමීව SKY News සහ එංගලන්තයේ PC Agency සමාගම  ලංකාව කොවිඩ් 19 න් ආරක්ෂා වීමට හොදම රට ලෙස ප්‍රවර්ධනය කළේය. ඒ අනුව කොරෝනා ආසාදිතයන් මෙරටට එන බව අනුමාන කිරීමට  මහා ලොකු බුද්ධියක් අවශ්‍ය නැත. ලංකාවේ බුද්ධි අංශය එක්කෝ කෝවිඩ්-19 සංචාරක ප්‍රවර්ධනය යොදා නොගන්න ලෙස  ගෝඨා දැනුවත් කළ යුතුව තිබුණි , එසේ නොමැති නම්  ආසාදිත සංචාරකයන් ගුවන් තො‍ටුපොලේදී හදුනාගැනීමට යාන්ත්‍රණයක් සකස්  කළ  යුතුව තිබුනි. නමුත් ඉන් එකක් වත්  සිදු නොවින. චීන, ජර්මන්, ප්‍රංශ , ඉතාලි ආසාදිතයන්  අයාලේ පැමිණි බවත් ඔවුන්  කොරෝනා බෝ කොට ඇති බවත් රහසක් නොවේ . ජනතාව අනතුරේ හෙලීමට  වග කිවයුත්තේ ප්‍රසන්නද , සුරේෂ් සැලේද, ගෝඨා ද ?

සමාජ ගත වූ පසු  කොරෝනා වාහකයන් හඹා යාම

පෙබරවාරි අවසන් සතිය වන විට ඉතාලියේ තත්වය මාරාන්තික විය. ඒ සමගම එහි සිටින ශ්‍රමිකයන් මෙරටට පැමිනීම ආරම්භ විය. ඉතාලි ශ්‍රමිකයන් බොහොමයකගේ ‍රැකියාව වැඩිහිටියන් බලා ගැනීම විය. ශ්‍රමිකයන් හදිසියේ මෙරට එන්නේ මිය යන හෝ රෝහල් ගතවන ඉතාලි ජාතිකයන්ගේ මිල මුදල් සොරකම් කොට යයි කතාවක් විය. ඔවුන්ටද කොරෝනා ආසාදනය වී තිබිය හැකි යයි යන අනතුර ඒ සමග විය. පෙබරවාරි අවසන් සතියේ සිට 900 කට ආසන්න පිරිසක් නිරෝධායනය නොවී සමාජ ගත විය. එසේ පැමිණි ඇතැමුන්  රෝග වාහකයන් බව තහවුරු විය.  මෙරට බලධාරීන්, ඉතාලියේ සිට පැමිනි කොරෝනා  වාහකයන් සමාජ ගත වීම  නැවැත්වීමට අපොහොසත් විය .එපමනක් නොව  සමාජ ගත වූ  ඇතැම් වාහකයන් අත් අඩංගුවට ගැනීමට මේ දක්වා නොහැකි වී ඇත. කුඩා දරුවාගේ සිට රෝග ලෙස හදුන්වා, ඔවුන්  සොයා දෙන ලෙස ඉල්ලා සිටින දැන්වීම පසුගිය දින වල දැකිය හැකි විය.

බුද්ධි අංශ ප්‍රධානියාට දුරවබෝධ මනසක් තිබිය යුතුය

එළඹෙන මැතිවරණය ගැන සිතා නිලධාරීන්ගේ වැරදි සහ රජයේ අඩු පාඩු සුද්ද කිරීම රටට අහිතකරය. විශේෂයෙන්  රටක බුද්ධි අංශයක් යනු  දුර දකින , අනාගතය පුරෝකථනය කරන ප්‍රධානම ආයතනය වෙයි. පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  රටේ පාලකයාට මාර්ගෝපදේශ ලබා දිය යුත්තේ ඔවුන්ය. නමුත්  ලංකාවේ බුද්ධි අංශ අසාර්ථක විය.නියපොත්තෙන් කැඩීමට තිබූ ප්‍රශ්නය පොරොවෙන් කැපීමටවත් නොහැකි වන සේ වර්ධනය වීමට ඔවුන් වගකිව යුතුය. අද ලංකාවේ බුද්ධි අංශ ඉ‍ටුකරන්නේ  ග්‍රාම සේවකගේ  කාර්යභාරයයි. සිය මූලික වගකීම පැහැර හැරි බුද්ධි අංශයට දෙරණ වැනි ජඩ මාධ්‍ය සුදු හුණු ගාන්නේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් අනුව බව ජනයා තේරුම් ගත යුතුය. සුරේෂ් සැලේ ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ දක්ෂයෙකු නිසා නොව ගෝඨා බලයට ගෙන ඒම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය මෙහෙය වීම නිසා නොවේද යන්න ජනයා විසින් ප්‍රශ්න කළ යුතුව ඇත. මාධ්‍ය ආයතන  කළ යුත්තේ  වැඩ බැරි සුරේෂ් සැලේ වැනි බලධාරීන්ට ඩෑෂ් ගැසීමට පන්දුව ඔසවා දීම නොව මහජන මුදලින් ඔවුන් නඩත්තු කිරීමේ යුක්ති යුක්තභාවය ප්‍රශ්න කිරීමය.

කොරෝනා රෝගීන් 28 හිටියා කියලා මට පුළුවන්ද රට ශට් ඩවුන් කරන්ඩ”

මේ වන විට ලෝකයේ සෑමරටකම පහේ කොරෝනා තර්ජයන්ට ලක්ව ඇත.  නමුත් ඒ කිසිම රටක පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා හෝ හමුදාපති වීරත්වයට ඔසවා නැත . එරට පුරවැසියන් දේවත්වයෙන් සලකන්නේ සෞඛ්‍ය සේවකයන්ටය . නමුත් ලංකාවේ දැකිය හැක්කේ එහි කන පිටය. උද සිට රෑ වන තෙක් හමුදාපති , පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ වොයිස් කට් සිතා සෞඛ්‍ය සේවකයන් දෙසට ගලා යා යුතු ප්‍රණාමය මිලිටරිය දෙසට හරවමින් සිටියි. මේ වන විට සෞඛ්‍ය අංශය සහ ගෝඨාගේ මිලිටරිය අතර සීතල යුද්ධයක් දක්වා වර්ධනය වී ඇත. කොරෝනා මාරයා ගෙයි එළිපත්තටම පැමිණ සිටියදීත් ගෝඨා හැසිරුන හැටි අමතක නැත . ”කොරෝනා රෝගීන් 28 හිටියා කියලා මට පුළුවන්ද රට ශට් ඩවුන් කරන්ඩ” ගෝඨා කිවේ එවැන්නකි. ඉදිරියේදී රටම මලගමක් වන විට ඉන් ගැලවී යාමට ගෝඨාට නොහැක. බොරුවට වැඩි ආයුෂ නැත. අජිත් රෝහන, සුරේෂ් සැලේ , ශවේන්ද්‍ර , කමල් ගුනේ වැනි ගෝඨාගේ ගොට්ටන් නුඳුරේම  ජනතා අධිකරණය හමුවේ  චූදිතයන් වනු ඇත .  

රජය වහ වහා පිළියම් යෙදිය යුතු කරුණු

පසුගිය දින කිහිපය පුරා ආණ්ඩුවට හිතවත්  මධ්‍ය  වල ලංකාවේ කොරෝනා පාලනය උත්කර්ෂයට නගා තිබුනි. ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය සහ ලංකාවේ තත්වය සංසන්දනය කරන අයුරු දැක ගත හැකි විය. ගෝලීය වසංගතයකදී මුළු ලෝකයම එක් රටකි. එහෙයින් ඇමෙරිකාවේ වැඩියි අපේ අඩුයි කීම හරසුන් කථාවකි. ලෝකය තනියායක් වී ඇති  යුගයක  සාමූහික ප්‍රයාත්නයකින්  මිස හුදකලා  සටනකින් කෝවිඩ්-19 ජය ගත නොහැක. වරාය, ගුවන් තො‍ටුපල වසා යලි ගොංකරත්ත යුගයකට යාම ප්‍රායෝගික නැත. තවද , ව්‍යවසනකාරී  තත්වයෙන් ගොඩ ඒමට ලංකාව භාවිතා කළ යුත්තේ තවත් රටක කාබන් කොපියක් නොව අපේ මහ පොළවේ දිවිය  හැකි ක්‍රම වේදයකි.

රජය වහ වහා පිළියම් යෙදිය යුතු කරුණු 3කි

  1. කොරෝනා ව්‍යසනය හේතුවෙන් අවම වශයෙන් ලක්ෂ 10 කට පමන  ‍රැකියා අහිමි වනු ඇත, ඔවුන්ට යම් කිසි වෘත්තියක් නියලීම සහ යැපෙන්නන් ‍රැක බලා ගැනීමට  රජය අත්වැලක් සැපයිය යුතුය  
  2. මව පියා හෝ වැඩිහිටි බාරකරු වෛරසයට ගොදුරු වූ විට අසරණ වන  දරුවන් ‍රැක බලා ගැනීමට ක්‍රම වේදයක් සැකසිය යුතුය
  3. දිවි පරදුවට තබා කෝවිඩ් 19 සමග  සටන් කරන සේනාවක් නිර්මානය කළ යුතුය

විශ්වයේ සනාතන ධර්මතාවය

කොරෝනා වෛරසය පිළිබද විවිධාකාරයේ මතිමතාන්තර ඇත. (Conspiracy theories). වෛරසය ඇමෙරිකානු විද්‍යාගාරයක  නිපදවූ එකක්  බවට  කථාවක් විය. නමුත් එම කථාවෙහි වලංගු භාවය දිනෙන් දින අහෝසි වෙමින් පවතියි.  මිහිමත ශක්ති උත්පාදනයේ  ප්‍රභවය සූර්යා නොව මිනිස් සිතය. සූර්යා  ශක්ති කෝෂයක් පමනි. මිනිස් සංකාරයදී නොහොත් සිතුවිල්ලකදී  සිතට (භවයට), ශරීරයට සහ විශ්වයට ලෙසින්  ශක්ති කදම්බ තුනක් පිට වෙයි  . මිහිමත ජීව, අජීව සියල්ල උද්පාද වන්නේ සංකාර වලට අනූරූපවය . වෙනත් වචන් වලින් කිව හොත්,  විශ්වය යනු විපාක නම් උප කුලක සමූහයකි. අතීතයේ HIV  වෛරසය කියා එකක් තිබුනේ නැත. HIV වෛරසය කාම සංකාර වලට ප්‍රතිරෝද විපාකයකි. HIV වෛරසය කරන්නේ ප්‍රතිශක්තීකරණය දුර්වල කිරීමය. ප්‍රතිශක්තීකරණය දුර්වල කරන රෝග බොහොමයකට හේතුව අවිචාරවත් ලෙස පංචස්කන්ධය පිනවීමය. කෝවිඩ් 19 ප්‍රතිශක්තීකරණය දුර්වල අයට මරණ වරෙන්තුව ‍රැගෙන විත් ඇත. අතීතයේ වෛරස් රෝග වලට දෙයියන්ගේ ලෙඩ කීවේ කට කහනවාට විය නොහැක.

කොසිඩ් -19 විභාගයකි

කෝවිඩ් -19 වෛරසයේ  හැසිරීම සහ පර්යේෂණ ප්‍රතිඵල අනුව පෙනීයන්නේ රෝගය සුව කළ හැකි ඖෂධයක් පිළිබද තැබිය හැකි බලාපොරොත්තු අවම බවය. කරුණු එසේ හෙයින් කෝවිඩ් -19 පාලනය කිරීමට ඇත්තේ ප්‍රතිකර්ම 2කි.

  1. චීන ක්‍රමය – දැඩි නීති රීති පනවමින් වෛරසය ආවරණය කිරීම. මෙහිදී මරණ ප්‍රමාණය අඩු වන නමුත් ආර්ථිකය  සහ පුද්ගල නිදහස අභාවයට යනු ඇත
  2. බටහිර ක්‍රමය – ලිහිල් නීති රීති සහ සහ වෛරසය නිරාවරණය කිරීම.  මෙය ස්වාභාවික ප්‍රතිශක්තීකරණය සහ වෛරසය අතර ද්වන්ධ සටනකට ඉඩ සැලසීමකි. ප්‍රතිශක්තීකරණය සිරුර තුල ජනිත වීමත් සමග කෝවිඩ් -19 හුදෙක් සාමාන්‍ය උණක් බවට පත් වනු ඇත. මෙම ක්‍රමය අභිජනන වේගය අඩු කිරීමේ උපක්‍රමය  ලෙස හැදින් වෙයි .

කැමති වුවද අකැමැති වුවද පාලකයන්ට සහ පුරවැසියන්ට මෙම ක්‍රම 2න් එකක් ‍තෝරා ගැනීමට සිදුවනු ඇත . පුරවැසියන්ට වඩා දුෂ්කර කාලයක් ගෙවීමට සිදුවන්නේ පාලකයන්ට සහ පූජකයන්ටය. ඉතිහාසය පුරා ජනතාව ‍රැවටූ ඔවුන්  වන්දි ගෙවන කාලය පැමින ඇත. පාලකයන් සහ පූජකයගේ දූෂිත ජීවිත තව දුරටත් මේ  මහ පොළව නුහුලනු ඇත. ඔවුන් පැදුරටත් නොකියා අතුරුදහන් වන යුගය එළඹෙනු ඇත.

වචන වෙනස් වුවද ත්‍රීපිටකයේ අනිච්ඡත්වය. බයිබලයේ ප‍ටු දොර‍ටුව , කුරානයේ ‘තමා සෙවීම’ එකම කථාවකි. Die before death වෛරසයට නොවරදින ප්‍රතිකර්මයකි. අවසන් හුස්මට පෙර ‘මම’ නසාලීම කෝකටත් තෛලය බව සිහිකැඳවා ඇත. කෝවිඩ් -19 විභාගයකි . පාස්වීමේ ප්‍රතිශතය රටින් රටට වෙනස් විභාගයකි .