
ප්‍රවීණ ගායක ක්‍රිස්ටෝපර් පෝල් ශ්‍රී ලාංකික ගීත කලාවේ නොමැකෙන පිටුවකි. බොහෝ දෙනෙකු ඔහු අමතන්නේ ” ක්‍රිස්ටො අයියා ” නමිනි. ඔහුගේ පරපුරේ ජෝතිපාල, මිල්ටන් පෙරේරා, අමරදේව ,ඇන්ටන් ජෝන්ස්, සිසිර, එම්. එස්. වැනි කිසිවෙකු අද ජීවතුන් අතර නැත. ක්‍රිස්ටො අයියා ගැයූ ‘‘හා මල් පිපෙන්නෙ’’, ‘‘වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා’’ වැනි ගීත සදා අමරනීය සිහිවටනය. රන් රුවන් තොරන් ඔහු ගැයූ තවත් ජනප්‍රිය ගීයකි
‘රුවන් තොරන් තනා,රන් තැඹිලි පොකුරු ගසා…පුන්කළස් දෙපස තබා තිබේ මඟ සරසාලා….හිරු පායනු බලා…ඔබෙ අත්තටු සලා..මගේ පුංචි කිරිල්ලියේ වරෙන් ඉගිලිලා…බොල්ගොඩ ගඟෙන් එගොඩ වෙලා… දකුණු පැත්ත බලා…ඉතින් හෙමින් ඉගිල්ලියන් මඟ සළකුණු බලා……
ක්‍රිස්ටෝපර්ගේ මෙම ගීය තරුණ සිත් සතන් වසඟ කළේය .මෙය තම සිත් ගත් යුවතියට මනමාලියක්ව, සිය නිවහන වෙත රැගෙන යන ආදර බර ඇරියුමකි. එය කියන්නේ සංදේශ කාව්‍යක මෙනි. ඈ ඔහුට කිරිල්ලියකි. පුංචි කිරිල්ලිය එන මග ඔහු තොරන් තනා රන් තැඹිලි වළු එල්ලා සරසා පුන් කලස් තබා හැඩ වැඩ කොට ඇත. ඈට එන මං ලකුණු කියන්නේ මෙසේය. කිරිලිය යා යුත්තේ බොල්ගොඩ ගඟෙන් මෙපිට සිට ගිං ගඟෙන් එපිට ට ය. ඈ ප්‍රියයා වෙත යන්නේ එවන් සුන්දර මග හසරක් ගෙවා ගෙන ය.
ක්‍රිස්ටො අයියා ගැමි සුන්දරත්වය දනවන ගීත අපූරු කටහඬකින් ගායනා කළේය. මේ වන විට දිවි සැරියේ සැදෑ සමය ගෙවන ඔහු 84 වියැතිය. සුවහසක් හදවත් තුල සත්සරින් තොරන් දැල්වූ ක්‍රිස්ටො අයියා අද ලෙඩ දුක් සමග ගැටෙමින් කල් ගෙවයි. පසුගිය පාස්කු ඉරුදින රවි සහ කලාවට කවදත් අත හිතදෙන ඒ.එස්.පී ක්‍රිස්ටො අයියා බැලීමට ගියේය. ඔවුන් ක්‍රිස්ටො අයියා වෙනුවෙන් රු ලක්ෂයක පරිත්යගයක් කළහ. මුදල් පරිත්‍යාගයට වඩා රවී සහ ඒ.එස්.පී හෘදයාංගම වචන වලින් දැල්වූ බලාපොරොත්තුවේ තොරණ ඔවුන්ට කිසි දිනෙක අමතක නොවනු ඇත