රාජ්‍ය සේවක ලෝක වාර්තාව (ලක්ෂ 14 ) සහ රටේ අනාගතය

රාජ්‍ය සේවක  ලෝක වාර්තාව (ලක්ෂ 14 ) සහ රටේ අනාගතය image 30

තුෂාරා වන්නිආරච්චි ලියයි

මේ වන විට බොහෝ දෙනෙකුගේ කථා මාතෘකා  කොරෝනා මර්ධන වැඩසටහන සහ මැතිවරණ පැවැත්වීමෙහි යුක්ති යුක්ත බාවය කෙරේ යොමුව ඇත. වසංගත මර්ධන වැඩ පිළිවෙල සහ මැතිවරණය උත්කර්ශයට නගන බොහෝ දෙනෙකුට ලග එන සාගතය ගැන වගේ වගක් නැත. වසංගතය මෙන්ම ලග එන ආර්ථික අර්බුධය බිහිසුණුය. එලඹෙන ආර්ථික අවපාතය 1929 දී ලොව උඩු යටිකුරු කල මහා ආර්ථික අවපාතයටත් වඩා දරුනු විය හැකි බව අර්ථ ශ්‍රාස්ත්‍රඥයන් මේ වන විට අනතුරු අඟවා ඇත.  ආර්ථික ව්‍යධියේ ප්‍රතිවිපාක මෙරට ජනයා කරා නොපැමිණිමට හේතු නැත.

දළ දේශීය නිෂ්පාදිතයේ  අහිමි වීම

රටක ජීවන තත්වය තීරණය වන්නේ නිෂ්පාදනය කරන භාන්ඩ හා සේවා  ප්‍රමානයට සාපේක්ෂවය . ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 89 කි. ඒ අනුව එක් දිනක  දල ජාතික නිෂ්පාදිතය  ඇ. ඩොලර් මිලියන 244 ක් පමණ වෙයි. එනම්  රට ලොක් ඩවුන් කර ඇති සෑම දිනකම, ඇ.ඩොලර් මිලියන 244 ක් පමන හෝ ආසන්න මුදලක් අපට අහිමි වෙයි. මෙම අහිමි වීම ඉදිරියේදී විවිධාකාරයෙන් ජනයාට බලපානු ඇත. භාන්ඩ හා සේවා හිඟයක් ඇති වන විට, වත් පොහොසත් කම් ඇති අය වැඩි මිලක් ගෙවා ඒවා භුක්ති විඳීමත්, එවන් වත්කමන් නැති පිරිස් වලට නිකම් බලා සිටීමට හෝ පින්සෙන්ඩු වීමට සිදු වනු ඇත.

සංචාරක සහ අපනයන ආර්ථිකය බිඳ වැටීම

ලංකාවේ අපනයන ආදායම වසරකට ඇ.ඩොලර් බිලියන 12 ක් පමන වෙයි .  ලංකාව අපනයන විවිධංගී කරණයකින් යුතු රටක් යයි කිව නොහැක. බටහිර රටවල ඇතිවන අර්බුධයකින්  මෙරට අපනයන ආර්ථිකය මුළුමනින් කඩා වැටිය හැක. කැමති වුවද අකැමති වුවද දැන්  එම තත්වය උදා වී ඇත. මෙරට සංචාරක කර්මාන්තයෙන් වසරකට ඇ.ඩොලර් 4.5 උපයා දෙයි. මේ වන විට එම ආදායම මුළුමනින්ම අහිමි වී ඇත. ගුවන් තො‍ටුපොල විවෘත්ත කළද නීරෝධායනය ක්‍රියාත්මක වනු ඇත.  අතින් මුදල් වියදම් කරගෙන නිරෝධායන කඳවුරු වල ලැගීමට කිසිවෙකු පැමිනෙනු ඇතැයි සිතිය නොහැක. සංචාරක කර්මාන්තය කඩා වැටීමෙන් ඇ.ඩොලර් බිලියන 4 ක් පමන අපට අහිමි වනු ඇත.

නොවැලැවිය හැකි විනිමය අර්බුධය

විදේශ ශ්‍රමිකයන් වසරකට ඇ.ඩොලර් බිලියන 8කට ආසන්න මුදලක් ලැබුණි. වැඩිම ප්‍රේශන ලැබුනේ මැදපෙරදිගිනි.  මැදපෙරදිග රටවල ලක්ෂ 8 කට ආසන්න ශ්‍රමිකයන් පිරිසක් සේවය කරයි. තෙල් බැරලයට ඉතිහාසයේ අවම මිලක් ලැබීමත් සමග මැදපෙරදිග ආර්ථිකය කඩා වැටීම නොවැලැක්විය හැක . ඒ අනුව මැදපෙරදිග  විශාල පිරිසකට ‍රැකියා අහිමි වනු ඇත. විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේශන වලින් 50% අහිමි වුව හොත්  එය  බිලියන 4කි. අපනයන , සංචාරක, විදේශ ප්‍රේශන යන ප්‍රමුඛ ක්ෂ්ත්‍ර සියල්ල කඩා වැටීම හරහා ඩොලර් බිලියන 30 ක පමන අහිමි වීමක් සිදු විය හැක.  එය උග්‍ර විණිමය අර්බුධයක් ඇතිවීම දක්වා වර්ධනය වනු ඇත.

‍රැකියා අහිමි වීම

ලංකාවේ ලක්ෂ 40ක් පමන අවිධිමත්  ‍රැකියා කරන්නන් වෙයි ( එදිනෙදා මෙහෙයුම මගින් ආදායම සරි කර ගන්නා අය ) රට ලොක් ඩවුන් කිරීම නිසා මොවුන් සියල්ලන්ට ‍රැකියා අහිමි වීඇත . සංචාරක ව්‍යාපාරය ලබා දුන් සෘජු ‍රැකියා 170000 ක් සහ වක්‍ර ‍රැකියා 230000 මුළුමනින්ම අහිමි වී ඇත. විදේශ ශ්‍රමිකයන් ලක්ෂ 4ක් ‍රැකියා අහිමි වන ගැට්ටට පැමින ඇත. ලංකාවේ පෞද්ගලික අංශයේද ලක්ෂ 4ක පමන ‍රැකියා කප්පාදුවක් සිදු වනු ඇත. සමස්ථයක් ලෙස ගත් කළ ලක්ෂ 50 කට ‍ පමන රැකියා අහිමි විය හැක. (පූර්ණ හෝ අර්ධ වශයෙන් ).එවිට, එවන් පුරවැසියන් පිරිසකගෙන් ගන්නා බදු මුදල් වලින් ලක්ෂ 14ක පමන රජ්‍ය සේවකයන් නඩත්තු කිරීමේ යුක්ති යුක්ත භාවය පිළිබද ප්‍රශ්නාර්ථයක්  පැන නගිනු ඇත.

රටට ආදරය කරන පුරවැසියන්ගේ යුතුකම

ලංකාවේ ආර්ථිකය සමාන්‍ය තත්වයෙන් දුවන කාලයේ පවා රජයේ සමස්ථ ආදායම ණය වාරික ටික ගෙවා ගැනීමට ප්‍රමාණවත් නොවූ බව ප්‍රසිද්ධ කරුණකි. රජය ණය ගෙවූයේ චීනයෙන් ගිණි පොලියට තවත් ණය ලබා ගනිමිනි. පසුගිය ආන්ඩුව ණය ගෙවූයේ හම්බන්තොට වරාය වැනි ජාතික සම්පත් කුණු කොල්ලයට විකිනීමෙනි. කොරෝනා ව්‍යවසනය හරහා ඩොලර් බිලියන 30 කට ආසන්න මුදලයක් අපට අහිමි වෙයි. නමුත් ලබා ගෙන ඇති ණය වලින් සතයක් වත් අඩු වන්නේ නැත. ආර්ථික අර්බුදයේ දිග පලළ මින් ගම්‍ය වෙයි. සංකීර්ණ රොකට් විද්‍යාවක් නොවන මෙය  රටට ආදරය කරන ඕනෑම අයෙකුට තේරුම් ගත හැක. කරුණු එසේ හෙයින්, වහල් මානසිකත්වයෙන් දේශපාලන ප්‍රතිරූප වලට ආවැඩීම වෙනුවට රට ගොඩ නැගීමට ‘ඇක්ෂන් පෑලෑන්’ ඉදිරි පත් කිරීමට කාලය පැමින ඇත. එවා ක්‍රියාත්මක කිරීමට , අධීක්ෂණය කිරීමට පාලකයන්ට බල කළ යුතු කාලය පැමිණ ඇත.