හමුදාපතිට යුධ අද්දැකීම් නැතැයි කීවේ ගෙදර යන ගැට්ටේ සිටින ශවේන්ද්‍රද ?

හමුදාපතිට යුධ අද්දැකීම් නැතැයි  කීවේ ගෙදර යන ගැට්ටේ සිටින ශවේන්ද්‍රද ? army 1

බලය වෙනුවෙන්  දේශපාලන වේදිකාවේ සිදු කරන  ගහ මරා ගැනීම් සාමාන්‍ය දෙයකි. වාග් ප්‍රහාර වල සිට සූක්ෂම ඝාතන දක්වා ඒවා දිව යන්නේය.රටේ මුල් පු‍ටුව අත්පත් කර ගැනීම සදහා වන සටන මෙකී ක්‍රියාදාමයේ උච්චතම අවස්ථාවයි.. බලය වෙනුවෙන් දේශපාලකයන් ගහ මරාගැනීම්  සිදු කරන්නේ යම් සේද ඒ හා සමාන ක්‍රියාදාමයක්  හමුදාව තුලද සිදු වන්නේය. හමුදාවෙ මුල් පු‍ටු වෙනුවෙන් සිදුවන අභ්‍යන්තර බල අරගලය ඒ තරම් කුජීතය. නමුත් එම ජවනිකා සියල්ල සිවිල් සමාජයට වෙත නිරාවරණය නොවේ. හමුදාවේ ඒ ඒ  නිළයන්හි ‍රැදී සිටිය හැකි උපරිම කාලසීමාවක් ඇත. උපරිම කාලසීමාවට ලංවූ විට එක්කෝ ඔහු ඊලග නිළයට උසස් විය යුතුය නැත හොත් ගෙදර යා යුතුය. මෙකී නීතිමය රාමුව අතිශය  තීරණත්මක වන්නේ හමුදා පු‍ටුව වෙනුවෙනි

හමුදාවේ සංගීත පු‍ටු තරගය

යම් හෙයකින් හමුදාපති  කං කෙදිරිගා සේවා දිගුවක් ලබා ගත හොත්  හමුදාවේ දෙවැනියාට සිදුවන්නේ ගෙදර යාමය. මෙම මරාලයෙන් ගැලවීමට යුධ සමයේදී  හමුදාවේ වූ දෙවැනියන්   භාවිතා කලේ අපූරු උපක්‍රමයකි. මොවුන් හමුදාවේ අභ්‍යන්තර තොරතුරු ”ලීක්” කළෝය. යුද්ධයේ වැරදුනු තැන්, යුධ පරාජයන්  , අභන්තර දූෂණ වංචා වැනි රහස්‍ය තොරතුරු හිතවත් මාධ්‍යවේදීන්ට සහ දේශපාලනඥයන්ට දුන්නේ මොවුන්ය. ඉක්බාල් අතාස් වැනි මාධ්‍යවේදීන් ”හිට්” වූයේ ඒවා ලියමිනි. ඉක්බාල් අතාස් යනු හමුදාපති විශ්‍රාම යැවීමේ ජනප්‍රිය බලල් අත විය. යුද්ධයෙන් පසු එම තත්වය වෙනස් විය. ලික් කිරීමට තරම් ”කේස්”  දැන් නැත . සිටින හමුදාපතිවරුන්ට ඇත්තේද දේශපාලන ශරීරය. ඔවුන් නිළ ඇදුම් අදින  දේශපාලකයන් මෙනි. හමුදාපති දෙවැනියාට වඩා දෙගුනයකින් ආන්ඩුවට කඩේ යාමට සූදානම්ය.

සුරංගනා ”ප්‍රොපගැන්ඩා”

අද කාලයේ ත්‍රිවිධ හමුදාපතිලා  පැජට් පාරේ වළං හේදුවද ජාමේ බේරා ගැනීමට එය  ප්‍රමාණවත් නැත.  තම ප්‍රතිරූපය නංවා ගැනීමට ”ප්‍රොපගැන්ඩා” එකක් අවශ්‍යය. කපිල ජයම්පතී  ලංකාවේ ගුවන් යාන නිෂ්පාදනය කරන බව කියන්නේය. ‘ෆුට් සයිකලයක්’ නොහදන රටේ ගුවන් යානා තනණ  කථා සුරංගනා වුවද ඒවා හමුදාපතිට කැපය. නමුත් හමුදාවේ දෙවෙනියාට එසේ නොවේ.  හමුදාවේ දෙවෙනියාට කැමරා අකැපය. මාධය වේදීන් අකැපය . හමුදා නීතිය  හරහා   හමුදාපතිවරයට ”වන් මෑන් ෂෝ” එකක් ගෙනයා හැක . හමුදා නීතිය යනු  රාජ නීතියටත් එහා ගිය වියරුවකි. ශවේන්ද්‍ර යනු කැමරාවලින් තොර ලෝකයක් සිතා ගැනීමටවත් නොහැකි අයෙකි. නමුත් දැන් ඔහුට ඒවා තහනම්ය. ඇබ්බැහිය කොතරම් වුවද  කැමරා නැතිව සිටීමට දැන් ඔහුට සිදුව ඇත. අණ දෙන්නාට උඩින් ගිය හොත් උන් හිටි තැන් අහිමි වන්නේය. හමුදාවේ ස්වභාවය එයයි. හමුදාවේ උන් මෙය හොදින් දනී.

වංගු දැමීමට ගොස් උන්හිටි තැන් අහිමි  වීම


කර්නලර් රත්නප්‍රිය බන්දු යනු අව කල් ක්‍රියා හේතුවෙන් උසස් වීම අත්හි‍ටුවා තිබූ අයෙකි . ඔහු විශ්වමඩු කදවුරේ සේවය කරන විට නිලයේ ‍රැදී සිටිය හැකි උපරිම කාල සීමවට පැමිනියේය. ඒ අනුව එක්කෝ ඔහු ඊලග නිලයට උසස් විය යුතු විය නැත්නම් ගෙදර යා යුතු විය. විශ්ව මඩු පුනරුත්තාපන කඳවුරින් යන අවස්ථාවේ රැඳවියන් හා යාපනයේ දෙමළ ජනතාව සංවේදීව කඳුළු සලන අයුරු පුවතක් වූයේ නිකම් නොවේ. එය රත්නප්‍රිය බන්දු විසින්ම පෙන්වූ නට්‍යයකි. රත්නප්‍රිය බන්දු කෙනෙක් ගැන ජනපතිගේ කනට පවා ගියේය. නමුත් රත්නප්‍රියගේ බලාපොරොත්තුව ඉ‍ටු නොවිනි, ඔහුට උසස් වීම ලැබුනේ නැත. මක්නිසාදයත්  හමුදා නීති ප්‍රකාරව උසස්වීම නිර්දේශ කල යුතු වූයේ හමුදාපතිය. හමුදාපතිට උඩින් යාමට සැලසුම් කල රත්නප්‍රිය හිරවූයේ එහිය. හමුදාපති රත්නප්‍රියගේ උසස් වීමට අනුමැතිය දුන්නේ නැත. මාධ්‍ය හරහා එක ‍රැයකින් වීරයෙකු වූ රත්නප්‍රියට ගෙදර යාම හැර විකල්ප නොවිනි.

ගෙදර යන ගැට්ටේ සිටින ශවේන්ද්‍ර

ශවේන්ද්‍ර සිල්වා මේජර් ජනරාල් ධූරයට උසස් වූයේ 2009 ජූනි මස 24 දිනය. 2019 ලබන ජූනි 23 දින වන විට ඔහු එම ධූරයේ  සමපූර්ණ කරන්නේ  දස වෙනි වසරය. ඔහු මේවන විට සේවා දිගු 3ක් ලබා ඇත්තේය . හමුදා ඉතිහාසයේ වැඩිම සේවා දිගු ලැබූ පුද්ගලයා ලෙස වාර්ථා වන්නේ සරත් ෆොන්සේකාය. ඊලාම් යුද්ධය ඔහු ලද  සේවා දිගු සාධාරනීකරණය කලේය. ශවේන්ද්‍ර සිල්වාට තවත් සේවා දිගුවක් ලබාගත හැකි වාතාවරනයක් නොමැත, ශවේන්ද්‍ර සිල්වාට ඉතිරිව ඇති එකම විකල්පය ඊලග නිළයට උසස්වීමය. එනම් ලුතිනන් ජෙනරාල් නිළයයි. නමුත් එම නිළය දැරිය හැක්කේ හමුදාපතිට පමනි. වර්ථමාන හමුදාපති මහේෂ් සේනානායක්ට අගෝස්තු 24 දක්වා සේවය කල හැක. එනම් ශවේන්ද්‍රට ගෙදර යාම හැර වෙනත් විකල්පයක් නොමැති බවය.

හමුදාපති අභිමතය සහ වෙබ් අඩවි මෝඩ කතා

දින කිහිපයකට පෙර ‘‘බංකර් කුරුටු ගී එළිදැක්වීමට එන්න හිටපු ජනපතිවත් නවත්වාපු හමුදාපති’’ ශීර්ශයෙන් ලංකා නිවුස් වෙබ් ලිපියක් ඵල කළේය.  එම ලිපියේ කියා ඇත්තේ මහේෂ් සේනානායක උත්සවයට නො ආවේ ක්‍රියාන්විත සේවා අද්දැකීම් වල හිග කම නිසා බවය. මෙය මාධ්‍යවේදී චරිත් කිරිඇල්ල ලියූ පොතක් එලිදැක්වීම වෙනුවෙන් පැවැත්වූ උත්සවයකි. ඉදිරියේදී තවත් එකෙකු ” බංකර් පැල් කවි” කියා පොතක් එලි දැක්විය හැක. පොත විකුනා ලබන ආදායම රණ විරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරනවා යයි කීමට බැරි කමක් නැත . මෙවැනි උත්සවයකට හමුදාපති යන්නේද නොයන්නේද පිලිබදව ඔහුට අභිමතයක් හිමිය. එය සිදුවන්නේ  යුධ අද්දැකීම හිග වීම හෝ බහුල වීම මත යයි ලංකා නිවුස් වෙබ් කල නිගමනය අඥානය. බොහෝ විට එම උත්සවයට පැමිනි ශවේන්ද්‍ර සිල්වා එවැනි අඥාන කථාවක් කීවා විය හැක, ලංකානිවුස් වෙබ් ලියූවේ එම කථාව විය හැක. ශවේන්ද්‍ර එවැනි කථාවක් කීමෙහි හෝ  ලංකා නිවුස් වෙබ්  එය ලීමෙහි  අතිශයොක්තියක් නැත. මක්නිසාදයත් ශවේන්ද්‍ර – ලංකානිවුස්වෙබ්  සම්බන්ධය රහසක් නොවේ

By තුෂාරා වන්නිආරච්චි