නුවරකලාවියේ හදවත අයෝජකයන්ට විකුනයි !

නුවරකලාවියේ හදවත අයෝජකයන්ට විකුනයි  ! image 16

කලා වැව් තාවුල්ලේ අක්කර ගණනාවක් අඹ වගා ව්‍යාපෘතියක් සඳහා “ප්‍රයිම් සයිට්” නම් පුද්ගලික සමාගමට ලබා දීමට කටයුතු කරමින් සිටින බවට පරිසර සංවිධාන චෝදනා කරයි. එම ගණුදෙණුව හොර රහසේ මහවැලි සංවර්ධන අධිකාරිය හරහා කිරීමට යන බව ඔවුන් ප්‍රකාශ කරයි

අඹ වගා කිරීමට යන භූමිය එක් පසෙකින්  වැව් තාවුල්ලටත්, තවත් පසෙකින් කිරලව රක්ෂිතය, ජාතික නාමල් උයන සහ කහල්ල රක්ෂිත වලටත් මාඉම් වන බව ඔවුන් ප්‍රකාශ කරයි.

මෙම භූමිය අලි ඇතුන්ගේ  සංක්‍රමනික බල  ප්‍රදේශයකි. පැහැදිලිව හදුනාගෙන ඇති අලි මංකඩ ගණනාවක් මෙහි වෙයි.මෙතෙක් පැවැති එක් රජයක් වත් අලි මිනිස් ගැ‍ටුම දෙස ඇස් ඇර බැලුවේ නැත.

2019 වසර තුළ දී  ලංකාවේ අලි 361 ක් මියගොස් ඇත.  අලි ඇතුන්ගේ මරණවලින් 85% සිදු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් යැයි පරිසරවේදීන් පවසති. 2019 වසරේ වල් අලි ප්‍රහාර වලින් අහිමි වූ  මිනිස් ජීවිත ප්‍රමාණය 29 කි.

පහ වසර විභාගයට දියනිය ‍සමග ගිය පියා වල් අලි ප්‍රහාරයකින් මියගියේ අපේ රටේය. පියාගේ නිසල සිරුරට වැඳ විභාගය ලියූ  දියනියන්ගේ  දසුන හද කම්පාකරන සුළු විය.  අහිංසක පුරවැසියන්ගේ කඳුළු සමග මෙරට පාලකයන් තවත් සෙල්ලම් කරන්නේ මන්ද ?

මෙම වනාන්තර ප්‍රදේශය පෞද්ගලික ව්‍යාපෘති සඳහා ලබාදීම ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම උග්‍ර කරවනු ඇත.

කොරෝනා වසංගතය අස්සේ , පාර්ලීමේන්තුව වසා දමා තිබියදී හොර රහසේ ක්‍රියාත්මක කිරීමට යන මෙම ව්‍යපෘතිය කොමිස් කුට්ටියට යටවූ තවත් එක් ව්‍යාපෘතියක්ද ?