රටේ සුක්කානම බාරදිය යුත්තේ බුද්ධිමතුනට, සටන්කාමින්ට මිස ජෝකර්ලාට නොවේ

රටේ සුක්කානම බාරදිය යුත්තේ බුද්ධිමතුනට, සටන්කාමින්ට මිස ජෝකර්ලාට නොවේ IMG 20190709 170304 5 2

සජිත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාගත්තේ ශිෂ්ඨ සම්පන්න ආකාරයෙන් නොවේ. රනිල්ගේ බෙල්ලට පිහිය තබමින් බලහත්කාරකම් කරමින්  ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගත්තේය. සජිත්ට සහ අනුරට වූ තදියම නිසා   පුළුල් සංධානයක් හැදීමට තිබූ අවස්ථාව අහිමි විය. අනුර සහ සජිත් යන දෙදෙනාම තමන් ගැන අධිතක්සේරුවක විය. එහි ප්‍රතිඵල ලෙස  අති පිරිසිදු සමාජවාදීයා 3% වැ‍ටුනි.  ගම්මට්ටම් බිම්මටටම් වීරයා වූ සජිත් ඉතිහාසයේ ලද දරුණුම පරාජය වාර්තා කළේය .

සජිත් සුළග අධෝවායුවකි

සජිත් යනු ගම ඉල්ලන නායකයාය , සජිත් යනු පාක්ෂිකයා නැවත ඡන්ද පොළට ගෙන්වා ගත හැකි චරිතයක්ය වැනි තර්ක සියල්ල බොරු වී හමාරය . පුළුල් සන්ධානයකින් ගෝඨාට එරෙහි ශක්තිමත් ප්‍රතිවාදියෙක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව නැති ‌කළේ මෙම තර්කය. සජිත්ගේ දේශපාලන පෞර්ෂයද හුලං පිරවූ බැලුමක් මෙනි .කිසිදු  මාධ්‍ය හමුවකට තනියම මුහුණ දීමට තරම් තීක්ෂණ බවක් සජිත්ට නැත. භූදේශපාලනය,  ආර්ථිකය , නවෝත්පාදනය ගැන කිසිදු දිනෙක හරබර කථාවක් කොට නැත. ඔහුගේ මෙම ස්වභාවය ගැන බරපතල කුකුසක් උගත් සමාජ කොටස් අතර ඇත. සිරිසේනගේ විකාර වලින් හෙම්බත් වී සිටි මධ්‍යම පාංතිකයින් සජිත්ව දැක්කේ ‘තවත් මෝඩ යකෙක්’ ලෙසය. මේ මෝඩ සමයම අපේ විපක්ෂ නායකයා ලෙස පිළිගත හැකිද යන පැණය දැන් අප ඉදිරියේ ඇත.

එජාපය විනාශ කළ ප්‍රේමදාස පරපුර

එජාප නායකයින්ගේ බිරින්දෑවරු ගෞරවණීය සමාජ පිලිගැනීමක් ලබා ගැනීමට සමත් වී සිටියහ. විශේෂ‌යෙන්ම ජයවර්ධන මැතිණිය, දිසානායක මැතිණිය, වික්‍රමසිංහ මැතිණිය ඒ අය අතුරින් ප්‍රධානය. ඔවුහු ප්‍රසිද්ධ ස්ථානයක පැමිණෙන විට තම ස්වාමියාගේ තනතුර, රට නියෝජනය කරන ස්ත්‍රී ප්‍රතිරූපය රැක ගැනීමටත් ඒ අනුව ඇඳුම්-පැළදුම් පවා නිසි කල්පනාවෙන් තෝරා ගැනීමටත් ක්‍රියා කළහ. එජාපයේ මෙම ගෞරවණීය සම්ප්‍රදාය විනාශ ක‌ෙළේ හේමා ය.  ජනාධිපතිවරණය ආරම්භයේදීම ජලනි ප්‍රේමදාස කරළියට පැමිණ ‘ආර්යාව’ තමා බව කියා සිටියාය. එම වීඩියෝ ව දරුණු විවේචනයටත් තියුණු උපහාසයටත් ලක්විය.

ජාතික ගැටළු එන විට සජිත්  ඇඳ යට

දේශපාලන්ඥයෙක් යනු වරෙක වීදී සටන් කරුවෙකි, තවත් වරෙක මුහුනට  උරෙන් උර ගැටී වාද විවාද කරන වාග්චාතූර්යෙහි නිපුනයෙකි. දක්ෂ සැලසුම් කරුවෙකි, නායකයෙකි. මහින්දට වීදි සටන් ඉතිහායක් තිබේ. 94 ගිලිහුණු බලය නැවත 2001 දී ලබා ගැනීමට රනිල් කටයුතු ක‌ෙළේ ‘ජනබල’ මෙහෙයුමක් මගින් පාරේ සටන් කරය. සජිත් පාරට බැස කළ එකදු හෝ උද්ඝෝෂණයක් ගැන අසන්නට නැත. මහජනතාවගේ එවැනි උද්ඝෝෂණයකට පැමිණ වචනයකින් ‌හෝ සහාය දැක්වීමක් ‌හෝ ‌කෙදිනකවක් සජිත් සිදුකර නැත. දින 52 නීතිවිරෝධී ආණ්ඩුවට එරෙහිව අවම ක්‍රියාකාරිත්වය පෙන්වූයේ සජිත්ය. ජාතික වැදගත්කමකින් යුතු ගැටළු පැන නගින විට සජිත් සිටියේ  ඇඳ යටය .නමුත් නායක්ත්වය තමා සතු කර ගැනීමට පාරට බැස සටන් කලේය

නායකත්වය පියාගෙන් පුතාට හිමිවන බූදලයක් නොවේ

පසුගිය ජනාධිපතිවරණය ඉතිහාසයේ අප අත්දුටු විකාර සහගත සහ අසංවිධානාත්මකම කැම්පේන් එක විය. ගෝඨා ආර්ථිකය, ජාතික ආරක්ෂාව, නීතිය සහ සාමය, නවෝත්පාදනය , වැනි කාරණා ගැන කතා කරන විට සජිත් කළේ පියානෝ සහ තමන් ගැන කටමැත දෙඩවීමය. අඩුම තරමේ යහපාලන රජය ඉටුකළ ධණාත්මක කාරණා ගැන හෝ කතා ක‌ෙළේ  නැත. මැතිවරණ ව්‍යාපාරයේදී සාධණීය මැදිහත් විමක් සිදු ක‌ෙළේ නම් ඒ සජිත්ගේ පාර්ශවය නොව රනිල්ගේ පාර්ශවය පමනි.  නමුත් ජනාධිපතිවරණ පරාජයෙන් පසු අතුරුදහන් වූ සජිත් හදිසියේ මතු වී ප්‍රයෝගකාරී ලෙස විපක්ෂ නායක ධූරය තමන් සතු කර ගත්තේය. ඉන් අනතුරුව එජාපයෙන් පළුවක් ‍රැගෙන ගොස් අළුත් පක්ෂයක් අටවා ගත්තේය.

රටේ සුක්කානම බාරදිය යුත්තේ බුද්ධිමතුනට සටන්කාමින්ට මිස ජෝකර්ලාට නොවේ

රාජපක්ෂලා බලයට එන්නේ පවුලේ අනාගත වසර 25 ක පාලන සැලැස්ම අතැතිවය. රාජපක්ෂලා උත්සාහ කරන්නේ, කිසිදු  ආකාරයක සටන්කාමී බවක් නැති, ජාත්‍යන්තර පිළි ගැනීමක් නැති ගොබ්බයෙක් විපක්ෂයේ මුල් පුටුවේ තබා ගැනීමටය. ඊට නියම සුදුස්සා සජිත්ය. නමුත් ජනතාවට අවශ්‍ය විපක්ෂයේ ආත්ම ගෞරවය රැකගත හැකි, ලොව ඉදිරියට යා හැකි, නව දේශපාලන නැමියාවන් ගැන අවබෝධයක් ඇති විපක්ෂ නායකයෙකි.

අප සිටින්නේ අර්ධ හමුදා පාලනයක් ඇති වීමේ අනතුරකය. නිළ නොවන මර්දනය ආරම්භ වී තිබේ. වාරණය දැන්ටමත් සෑම අංශයකටම  බෝ වී ඇත. අනාගත අනතුර තවත් බරපතල වනවා ඇත. සජිත් වැනි ජෝකර් කෙනෙකුට මර්දනීය පාලනය සමඟ ගණු දෙනු කළ නොහැකිය. ඒ සදහා විශේෂ වූ දේශපාලන පරිචයක් අවශ්‍යය. ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ අභියෝග අප ඉදිරියේ ඇත . රටේ සුක්කානම බාරදිය යුත්තේ බුද්ධිමතුනට සටන්කාමින්ට මිස ජෝකර්ලාට නොවේ.