ජන කතාවක්

ජන කතාවක් image 30

එක ගමක දාඩිය මහන්සියෙන් ජීවත් වෙච්ච ගමරාළ කෙනෙක් හිටිය. කොච්චර මහන්සියෙන් ගොවිතැන් බත් කලාද කිව්වොත් ගමරාළට අයිති වෙලා තිබුණ එක කුඹුරක්වත් කාටවත් වැඩ කරන්න දුන්නෙ නැහැ.

එක කන්නෙක මේ ගමරාළ එයාගෙ හේනක් කොටන්න ගියා. හේන මැද්දෙ මහ විසාල කහට ගහක් තිබුණ. ඔන්න කහට ගහේ අතු පාහිනකොට මේ ගහේ හිටපු යකා ගමරාළත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

“උඹ මම ඉන්න ගහේ අතු පාහින්නෙ අහවල් දේකටද?” කියල යකා ගමරාළගෙන් ඇහුව.

“උඹ මේ ගහේ ඉන්නව කියල මම මේ හේන ගොවිතැන් නොකර ඉන්නද?” කියල ගමරාළ ඇහුව.

මෙහෙම දිගින් දිගටම කතාව ගිය හින්ද යකාට හොඳටම තරහ ගියා. ඊට පස්සෙ යකා මෙන්න මෙහෙම කියන්න පටන් ගත්ත.

මේ කන්නෙ ඉඳන් උඹ හිටවන දේවල් වලින් හරියටම පංගුවක් මට ඕනෙ. මේ සැරේ මුල මට. උ‍ඩ උඹ‍ට”.

ගමරාළ මේ කතාව බොහෝම හොඳට අහගත්ත.

“හාඃ හොඳයිකො…” කියල ඒ කන්නෙ ගමරාළ කුරහන් ඉස්සා.

යකාට මේ ගමරාළ කරන වැඩේ ගැන වැඩි තේරුමක් උනේ නැහැ. ඔන්න දැන් පළවෙනි කන්නෙ අස්වැන්න කැපුවයි කියමුකො. යකා කිව්ව විදිහට මුල් ටික යකාට ඉතුරු කරල කුරහන් කරල් ටික ගමරාළ කපා ගත්තා. ඉතින් ගමරාළට කිසි පාඩුවක් උනේ නෑ. ඒත් යකාට කිසි වැඩක් උනෙත් නෑ.

දෙවෙනි කන්නෙදි යකා මෙහෙම කිව්ව.

“මේ කන්නෙදි යට උඹට, උඩ මට.”

ඒ කන්නෙදි මුළු හේන පුරාම ගමරාළ බතල හිටෙව්ව. අස්වැන්න නෙලා ගන්නකොට ගමරාළ යකා කියපු විදිහට බතල ටික අරගෙන බතල වැල්ටික ඉතුරු කරා.

කන්න දෙකේම පැරදිච්ච යකා ඊලඟ කන්නෙදි මෙහෙම කිව්ව.

“මේ කන්නෙදි මුලත් මට අගත් මට මැද හරිය උඹට.”

ගමරාළ “හාඃ හොඳයි…” කියල ඒ පාර පැණි කොමඩු හිටෙව්ව. පැණි කොමඩු වල ගෙඩි හැදෙන්නෙ වැලේ මැද හරියෙ නිසා ඒ කන්නෙදිත් ගමරාළට කිසි පාඩුවක් උනේ නෑ.

තුන්වෙනි පාරටත් පැරදිච්ච යකා පරාජය බාර අරගෙන හේනෙන් යන්නම ගියා.