කිං කැකිල්ලේ කරලියට , ධනුෂ්ක රාමනායක CID ට කැඳවයි

කිං කැකිල්ලේ කරලියට , ධනුෂ්ක රාමනායක CID ට කැඳවයි image 18

මාධ්‍ය ක්ෂේත්‍රයේ තීරණාතමක භූමිකාවක නියුතු ධනුෂ්ක රාමනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව වාර්තා වෙයි. ඒ පිළිබදව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය ආයතන වෙත ඔහු විවෘත ලිපියක් යවා ඇත. 2015 සිරිසේන ජයග්‍රහණය කළ ජනාධිපතිවරණයේ තීරණත්මක කාර්යභාරයක් ඉ‍ටු කල පුද්ගලයන් අතරින් ධනුෂ්ක රාමනායකද අයෙකි.

ධනුෂ්ක රාමනායක CID වෙත කැදවා ඇත්තේ ආන්දෝලනාත්මක වූ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් දාන ශාලාවේ සුවපහසු අසුන් වල වාඩි වී සිටින ඡායාරූපය ලීක් වූ ආකාරය පිලිබදව ප්‍රකාශයක් ගැනීමටය.

අපට පෙනීයන ආකාරයට කිං කැකිල්ලේ පන්නයේ සිදුවීම යලි මෙසිරි ලංකාවේ පුනරූපනය වීම ආරම්භ වී ඇත. මක්නිසාදයත් මෙම සිද්ධියට අදාල ඡායා රූපය එඩිට් කල පුද්ගලයා යහතින් සිටින අතර ඊට කිසිදු සම්බන්ධයක් නැති අයෙක් CID වෙත කැදවා ඇත.

අපට වාර්තා වන අන්දමට දාන ශාලාවේ රාජපක්ෂලා වාඩිවී සිටින ඡායාරූපය ඔරිජිනල් එකය. ධනුෂ්ක පල කලේ එම ඡායාරූපය. ඊට දස අතින් විරෝධය එල්ල වන විට ගවුම් අදින කූටාලියා විසින් මුල් එක එඩිට් කොට ඇත. දැන් ගවුම් අදින කූටාලියාට කිසිදු ප්‍රශ්නයක් නැත . CID ට කැඳවා ඇත්තේ නියම ඡායාරූපය පල කළ අයය

මාධ්‍ය ආයතන වෙත ධනුෂ්ක එවූ ලිපිය පහතින් කියවන්න

හෙට උදෑසන මා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබේ.


ඒ ජනාධිපති, අගමැති ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ අතිපූජනීය බෞද්ධ සිද්ධස්ථානයක දාන ශාලාවේ සුවපහසු අසුන් වල වාඩි වී සිටින, ගරුතර මහා සංඝරත්නය සිටගෙන සිටින ජායාරූපයක් සමාජජාල මාධ්‍ය මත පළ කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශණයක් සඳහා කටඋත්තර ලබාදීමටයි. 

ඊයේ සවස් කාලයේ මා සමාජජාල පරිශීලනය කරන අවස්ථාවේදී මෙම ජායාරූපය මා විසින් දුටු අතර එහි ස්වරූපය අනුව ව්‍යාජ ජායාරූපයක් යැයි හැඟි නොයන නිසා එය මාගේ ගිණුමේ සහ පිටුවේ පළ කලෙමි. මෙම ජායාරූපය මා විසින් උපුටා ගන්නා ලද පුද්ගලයාගේ ගිණුමේ ස්ක්‍රීන් ෂොට් සහ අනෙකුත් සත්‍යාපන සාක්ෂි මා හමුවේ තිබේ. එය කිසිසේත්ම  මා හෝ මාගේ අනුදැනුම යටතේ මාගේ හිතවතුන් විසින් ලබාගන්නා ලද හෝ ව්‍යාජ ලෙස සකස් කරන ලද ජායාරූපයක් නොවන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි. 


මෑතකදී පටන් ගරු ජනාධිපතිවරයා සහ වර්තමාන ආණ්ඩුවට එල්ල වෙමින් පවතින මහජන විරෝධය පාඨලී චම්පික රණවක මහතා, මම සහ මාගේ හිතවතුන් විසින් කෘතීමව නිර්මාණය කරන ලද “මඩ කැම්පේන්” එකක් ය යනුවෙන් ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් විසින් මතයක් ජනගත කරමින් සිටියි. අප විසින් වර්තමාන ආණ්ඩුව දේශපාලනිකව පරාජය කිරීම සදහා නීත්‍යානුකූලවත් ප්‍රජාතන්ත්‍රවාදීවත් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව කිසිදු පැකිලීමකින් යුතුව ප්‍රකාශ කරමි. නමුත් ඒ සදහා කිසිලෙසකින්වත් ව්‍යාජ ජායාරූප ජනගත කිරීම වැනි මුග්ධ ක්‍රියාකාරකම් වල නොයෙලෙන බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. 


උක්ත ජායාරූපය මා විසින් පළ කරනු ලැබූයේ,  සිංහල – බෞද්ධ ජනසමාජය විසින් අති ගෞරවනීයව වන්දනාමාන කරන භික්ෂු සංස්ථාවට සහ ආගමික පදනමට හානි වන ආකාරයෙන් රටේ රාජ්‍ය නායකයා සහ අගමැතිවරයා හැසිරීම ඉතා නුසුදුසු බවට හැඟී ගිය නිසා බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සිංහල බෞද්ධ රටක ජීවත්වන පුරවැසියෙකු සතු අයිතිය භාවිත කරමින් බව ඉදුරාම ප්‍රකාශ කල යුතුය. 


හෙට උදෑසන 9.00 ට මම අනිවාර්යයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිටින අතර එහිදී යොමු කෙරෙන ඕනෑම ප්‍රශ්ණයකට සෘජු පිළිතුරුද ලබාදෙමි.
රටේ අපරාධමය නිමිත්තක් සහිත කරුණු රාශියක් තිබියදී රාජපක්ෂ පවුලේ සාමජිකයින්ගේ දිනපතා චර්‍යාවන්ට එල්ල වන මහජන විරෝධයන් යටපත් කිරීම සදහා සිදුකෙරෙන පොලිස් පරීක්ෂණ කෙරෙහි අපගේ බලවත් කනස්සල්ල ප්‍රකාශ කරන අතර මේ රටේ පුද්ගල නිදහස සම්බන්ධයෙන් සංවේදී පොදු මහජනතාව මේ සම්බන්ධයෙන් අවදියෙන් සිටිනු ඇතැයි විශ්වාස කරමි. 
ධනුෂ්ක රාමනායක16.11.2020