පැසැල් දරුවන්ගෙන් 66% කට ඉන්නෙට් නෑ, ලක්ෂ 30 දරුවන්ගේ අනාගතය අඳුරු වෙයිද ?

පැසැල් දරුවන්ගෙන් 66% කට ඉන්නෙට් නෑ, ලක්ෂ 30  දරුවන්ගේ අනාගතය අඳුරු වෙයිද ? image 5

කොළඹ උතුර මට්ටක්කුලියයේ පදිංචි ශානිකා තිදරු මවකි. ඇයගේ සැමියා මීට වසර 3 කට පෙර විදේශ ගත විය . ඔහු විදේශ ගත වූයේ සෞදි අරාබියේ පෞද්ගලික සමාගමක රියදුරු වෘත්තිය සදහාය. 2020 මාර්තු වලදී කොරෝනා තත්වය නිසා එම සමාගම වසා දැමුවේය. එම සමාගමේ සේවය කළ ඉන්දියානු ජාතිකයන් සහ බංගාලි ජාතිකයන් මාර්තු මාසයේදීම ආපසු ගියහ. නමුත් ශානිකාගේ සැමියා මේ දක්වා උන්හිටි තැන් අහිමිව කාන්තාරයේ සිරවී සිටියි.

ශානිකාගේ වැඩිමහල් දියනිය මෙවර උසස් පෙල විභාගය සදහා පෙනී සිටි අතර දෙවන දියනිය තව නොබෝ දිනකින් සා/පෙ විභාගය සදහා පෙනී සිටියි. පාසැල් වසා දැමීමත් සමග ඔවුන් ගේ අධ්‍යාපනය මුළුමනිනම අඩාල විය. ඔවුන්ගේ නිවසේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් නැත. එවැන්නක් තිබුනත් ඩේටා කාඩ් දැමීමට තියා කෑමට බීමට වත් මුදල් නැත. ඔන්ලයින් අධ්‍යාපනයක් ගැන ඔවුන්ට සිතීමට වත් නොහැක.මේ මෑතකදී මා ඇසින් දු‍ටු දුක්ගැනවිල්ලකි.

ලංකාවේ පාසැල් වල මිලියන 4 කට ආසන්න සිසුන් අධ්‍යාපනය ලබයි, පහත වගුව බලන්න. ඔවුන්ගෙන් 66% කට අන්තර් ජල පහසුකම් නැත. එනම් ලක්ෂ 27ක් වන පාසැල් සිසුන්ට අධ්‍යාපනය අහිමි වී ඇත. ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් සහ 3G සිග්නල් තිබූ පමනින් ඔන් ලයින් අධ්‍යාපනයේ යෙදිය නොහැක . ඩේටා කාඩ් දැමීමට නිවසේ මුදල් තිබිය යුතුය.කරුණු එසේ හෙයින් අධ්‍යාපනය අහිමි වී ඇති දරුවන් පිරිස ලක්ෂ 27ට බෙහෙවින් වැඩි බව පැහැදිලිය.ලංකාවේ තත්වය ගෝත්‍රික අප්‍රිකානු රටවල තත්වයටත් වඩා භයානකය

පැසැල් දරුවන්ගෙන් 66% කට ඉන්නෙට් නෑ, ලක්ෂ 30  දරුවන්ගේ අනාගතය අඳුරු වෙයිද ? image 4

අධ්‍යාපනය යනු රටක අනාගත දිශාදර්ශකයයි. රටේ අනාගතය හැඩ ගැසෙන්නේ එම ක්‍රමයෙන් බිහිවන දරුවන් අනුවය. මේවන වන විට ලංකාව යනු දරුවන්ගෙන් මිලියන තුනක පමන ප්‍රමාණයකට අධ්‍යාපනය අහිමි කොට මිලියනයක පමන ප්‍රමාණයක් යහමින් අධ්‍යාපනය ලබන රටකි. අධ්‍යාපනය අහිමි වූ එකී දරුවන් සමාජයට පැමිණි දිනක සමස්ථ ක්‍රමයට වෛර කරනු ඇත. මෙම තත්වය විශාල ඛේදවාචකයකි, විශාල අනතුරකි.

මෙවැනි ඛේදවාචකයක් හමුවේ රටේ අධ්‍යාපන ඇමති සහ විපක්ෂ නායකයා නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස සිටීම ඊටත් වඩා ඛේදවාචකයකි. අනාගතය භාරගැනීමට දරුවන්ගේ අනාගතය අඳුරු කිරීම තරම් අපරාධයක් ලොව තවත් නැත. එක්තරා පැලැන්තියක් යහමින් අධ්‍යාපනයේ යෙදී සිටියදී දුප්පත් දරුවන්ට අධ්‍යාපනය අහිමි වීම එම දෙමාපියන්ට මහත් වේදනාවකි.

අධ්‍යාපනයේ ඛේදවාචකයට මූලික හේතුව රටේ දුප්පත්කමට වඩා ආණ්ඩුවේ සහ විපක්ෂයේ නොහැකියාවය. මෙවන විට ලෝකයේ දුප්පත් රටවල් ගණනාවක් එක්සත් ජාතීන්ගේ ලමා අරමුදල සමග සම්බන්ධ වී ඔන්ලයින් අධ්‍යාපන පහසුමක් වැඩි දියුණු කොට ඇත. ජාත්‍යන්තරය සමග නිසි සම්බන්ධතාවයක් නැති රාජ්‍ය නායකයෙකු සහ විපක්ෂ නායකයෙකු සිටින රටකක්ට මෙවන් ඉරණමක් අත්වීම පුදුමයක් නොවේ.පාසැල් දරුවන් එම ඛේදවාචකයේ වින්දියන් වීම සංවේදී තත්වයකි

ලංකාවේ පැවැති වැඩ වසම් ක්‍රමය, දුප්පත් පොහොසත් භේදය පි‍ටුදැකීමට නිසි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ සහ එහි පුරෝගාමිය සී.ඩබ් කන්නන්ගරයන්ය. ඔහු බිහිකල නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් දුප්පත් දරුවන් ලක්ෂ ගණනක් ලෝකය ජය ගත්හ. එය ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් විය.

ඉන්පසු යලි එවන් සේවාවක් කළේ මාගේ දේශපාලන ගුරුවරයා වූ ලලිත් ඇතුලත්මුදලිය . ඔහු බිහි කළ මහපොළ ශිෂ්‍යවත්ව ක්‍රමයෙන් ලක්ෂ ගණනක් ලෝකය ජය ගත්හ. මා මුදල් ඇමතිව සිටියදී මහපොළ ශිෂ්‍යවත්වය රු 5000 දක්වා වැඩි කිරීමට හැකි විය. සැම පාසැල් දරුවෙකුටම ටැබ් එකක් දීමට මුදල් වෙන් කිරීමට හැකි විය. අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ඛේදවාචය හමුවේ තව දුරටත් නිහඩ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටිනවාද යන්න හදවතට තට්‍ටු කොට සෑම පුරවැසියෙකුම විමසිය යුතුය

යම් රටක ආණ්ඩුව අලියෙකුට සමාන කරයි නම් විපක්ෂය හෙන්ඩුවට සමාන වෙයි. යන මග වැරදිනම් අලියාට බැන අඬ ගැසීමෙන් පලක් නැත. හෙන්ඩුව භාවිතාකොට අලියා යන මග නිවරදි කළ යුතුය. මක්නිසාදයත් එක් වරම අලියා මාරු කිරීම පහසු නැත. අලියා යන මග නිවරදි කිරීමට හෙන්ඩුව අතැතිව සිටින ඇත් ගොව්වා අසමත් වී ඇත. එසේනම් පලමු කොට හෙණ්ඩුව භාවිතා කිරීමට නොදන්නා ඇත්ගොව්වා මාරු කල යුතුය. එම වැඩ පිලිවෙල එලඹෙන ජනවාරි මාසයේදී කරළියට පැමිනීමට නියමිතය.

පස්සලේ ඝාන්ඨාරය ගැසූ විට කළ යුත්තේ එය නාද කළ කෙනා විමසීම නොව ගැසූ කාරණය විමසීමය. කරුනු එසේ හෙයින් රටේ පවතින ඛේදවාචකය වටහා ගන්නා ලෙස සමස්ථ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි.

රවි කරුණානායක