බැසිල්ගේ ඡන්ද මැසිම වැඩ අල්ලයි – රාජපක්ෂ විරෝධී කඳවුර අරාජිකයි

ඔබට යම් කිසි ආදායම් මාර්ගයක් ඇත්නම් බැංකුවෙන් ණයක් ලබා ගත හැක. බැංකුව විසින් ණය ලබා දෙන්නේ ආදායමට සාපේක්ෂවය. කිසිම බැංකුවකින් අසීමිත ලෙස ණය ලබා ගත නොහැක. එනම් බැංකුවකින් ලබාගත හැකි ණය වල උපරිමයක් ඇත.

නමුත් ගමේ ගිණි පොලියාගෙන් ණය ලබා ගැනීමේදී ණය සීමා අදාල නැත, ඔබගේ අදායම පිලිබද ගණන් ඉලක්කම් අදාල නැත. ඔබ සතුව ඇප තැබිය හැකි වත්කම් තිබේ නම් ඕනෑ තරම් ණය ලබා ගත හැක. රටක ආණ්ඩුවකටද මෙම තත්වය අදාලය.

2021 වන විට ලංකාව ලබා ගැත හැකි ණය වල උපරිමයට පැමිණ ඇත . මේ වන විට අපට ණය ලබා දෙන්නේ ගිණි පොලියා වන චීනය පමනි. ගිණි පොළියා ණය දෙන්නේ අපට ඇති ආදරයට නොව ගේ දොර – යාන වාහන පමනක් නොව හැකිනම් අඹුවද සින්න කර ගැනීමේ අදහසිනි. චීනයද එසේය.

ලංකාව මේ වන විට ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණිගත කිරීම්වල CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ. (මෙම ශ්‍රේණිගත කිරීම කෙරෙන්නේ දිගුකාලීන ණය ගෙවීම හැකියාව මතයි)

CCC යනු ලංකාව විශාල ණය අර්බුධයකට ලක්ව ඇති බව ලෝකයාට දැනුම් දීමකි. තව මාස 4 කින් ලංකාව තවත් අංකයක් දක්වා පහත හෙලීමට නියමිතය. ජාත්‍යන්තර බැංකු දැනටමත් අපේ ණයවර ලිපි ප්‍රතික්ෂේප කරන මට්ටමට පැමිණ ඇත. තව අංකයක් පහල දැමු විට ණයවර ලිපි අවලංගු වන අතර ඛනිජ තෙල් ගෙන්වීම ඇතුළු ආනයන ක්‍රියාදාමය අර්බුධයට ලක් වනු ඇත.

එනම් ඉදිරි කාලයෙදී රට තුල දැවැන්ත දේශපාලණ සහ ආර්ථික අර්බුධයක් ඇති වීම නොවැලැක්විය හැක.

නමුත් අර්බුධය කළමණාකරනය කිරීමට බැසිල් ඉදිරිපත් වී ඇත. රට බුන්වත් ගැට්ටේ තිබියදී පලාත් සභා මැතිවරණය පවත්වන වගකීම බැසිල් විසින් කරට ගෙන ඇත . විපක්ෂ නායක සජිත්ගේ පිහිටින් එලඹෙන පලාත් සභා මැතිවරණය බැසිල්ගේ පොහොට්‍ටුව ජයග්‍රහණය කරනු ඇත.

අප එසේ කියන්නේ ඇයි? විපක්ෂ නායකයා යනු විපක්ෂයේ බහුතරය වන සජබ කණ්ඩායමට නායකත්වය දෙන පුද්ගලයා නොවේ. විපක්ෂ නායකයා යනු රාජපක්ෂ කඳවුරට එරෙහි සියළුම පුද්ගලයන්ට ජීවය දෙන,මග පෙන්වන පුද්ගලයාය. රාජපක්ෂ විරෝධී කඳවුරට නායකත්වය දීම කෙසේ වෙතත් සජිත්ට සිය කන්ඩායම ‍රැක ගැනීම වත් කල නොහැකි විය. චම්පික, හකීම්, බදුර්දීන් , ඩයනා ඊට සාක්ෂිය.

රාජපක්ෂලා බලයට පැමිණි විගස සිය ව්‍යාපාරික සගයන්ට බදු සහන, මාර්ග ඉඳිකිරීමේ කොන්ත්‍රාත් ඇතුළු දහසක් වරප්‍රසාද ලබා දුන්නේය. පොල්තෙල් – සීනි බදු මගඩියෙන් පමනක් රාජපක්ෂ හෙන්චන් අතට ගිය මුදල කෝටි 5000 කට වැඩිය. මෙවා ගැන සජිත් වචනයක් කථාකළේ නැත. නමුත් එම මුදල් මෙවර මැතිවරණයේදී සජිත්ට එරෙහිව කථා කරනු ඇත.

2015 පරාජය වූ රාජපක්ෂලා එතැන් පටන් යලි බලය ලබා ගැනීමට උත්සාහ කළේය , නමුත් සජිත් උත්සාහ කළේ එජාප නායකයා වීමටය. සජිත් දැන් උත්සාහ කරන්නේ රාජපක්ෂලා පරාජය කිරීමට නොව විපක්ෂ නායක ධූරය සහ 2025 ජනපති අපේක්ෂකත්වය ‍රැක ගැනීමට පමනි

අප එදා සිටම හඬ නැගුවේ රාජපක්ෂ විරෝධී කඳවුර වෙනුවෙනි. අදටද එසේමය. සජිත් සමග පෞද්ගලික අමනාපයක් අපට නැත. සජිත් සජබ පිලේ ලපයි සිපයි චරිතවලට පමනක් නොව රාජපක්ෂ විරෝධී කදවුරටම නායකත්වය දිය යුතුය බැරිනම් බැස යා යුතුය .