ඉතිරි කඩු හා උල් ආයුධ 5400 තිබෙන්නේ කොහේදැයි වාර්තා කරන ලෙස කමල් ගුනේට නියෝග

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට පෙර කඩු හා උල් ආයුධ 6000 ක් ආනයනය කිරීම ගැන සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අගරදගුරුතුමන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද විභාගයට ගැනුණි.

පාස්කු බෝම්බ පිපිරී වසර 2 කට ආසන්න කාලයක් ගත වුවද ආයුධ තොගය මෙරටට ගෙනාවේ කවර කාරණාවක් සඳහාද ? ඉතිරි කඩු 5400ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව නිසියාකාර පරීක්ෂණයක් සිදු කිරීමට ආරක්ෂක අංශ අපොහොසත් වූ බව අගරදගුරුතුමන් විසින් සිය නඩුකරයේ දක්වා තිබුණි.

ඩු හා උල් ආයුධ 5400ක් පමණ මේ වනවිට රට තුළ තිබෙන බවත් මෙය ජාතික ආරක්ෂාවට මෙන්ම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව අගරදගුරුතුමන් සිය පෙත්සම මගින් පෙන්වා දුන්නේය.

කරුණු සලකා බැලූ අධිකරණය ඉතිරි කඩු හා උල් ආයුධ 5400 තිබෙන්නේ කොහේදැයි කියා මාර්තු 31 අධිකරනයට වාර්තා කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුනේට සහ පොලිස්පතිට නියෝග කළේය.