‘ 21  ඇල ඉරක් 4’ පෝස්ටර් ඇලවූ ගිරිබාවේ අප්පුහාමී ගෝඨාගේ කථාවට කෝපවෙයි !

ගෝඨාභය  මහත්තයෝ , මගේ නම  අප්පුහාමි. මගේ ගම ගිරිබාව . ඊයේ ඔහේ අපේ ගමට ආවා. ඔහේ අපේ ගමට එනව කියලා  දැන ගත්තේ වෑර්ලස්  ප්‍රවෘත්ති වලින්. ඒක දැනගත්තාම ගමේ වැඩි පුරම සතු‍ටු වුන කෙනා මම වෙන්න ඇති.  

මොකද පසුගිය ජනාධිපතිවරණයට ගිරිබාව පැත්තේ පෝස්ටර් ගැහුවෙ මම. ඔහේ දන්නවද මම එක ලයිට් කනුවක් ඇරියෙ නෑ. බස් හෝල්ට් වැහෙන්න පෝස්ටර් ගැහුවා. මම  වැඩිපුරම ගැහුවේ ඔහේ එවලා තිබුන ” 21 ඇල ඉරක් 4” පෝස්ටරේ.  

කසිප්පු ජොනී මගේ වැඩ දැකලා හොදටම පැහැදුනා. ඊට පස්සෙ  ගිරිබාවෙ විතරක් නෙවෙ වයඹ පලාත පුරා පෝස්ටර් අලවන්ඩ මාව ගත්තා.  මම වැඩි පුරම ඇලෙව්වේ අර කියපු  ” 21 ඇල ඉරක් 4”  පෝස්ටරේ.

කිව්වම මොකද මහත්තයෝ මට මුලින් මුලින්  ඔය ” 21  ඇල ඉරක් 4”  පෝස්ටරේ එච්චර ඇල්ලුවේ නෑ.  එකේ ගෝඨාභය මහත්තයගේ  රූපෙ  තිබුනේ නෑ නොවැ. ඉතින් දවසක් මම ඔය ගැන ගමේ පොහොට්‍ටු සභාපතිට කීවා.    

ගමේ පොහොට්‍ටු සභාපතියා කීව ” යකො මේක තමා ගෝඨා සෑර් දිනවන්ඩ තියෙන හොදම පෝස්ටරේ. පාස්කු ප්‍රහාරය විකුණලා තමා ගෝඨා සෑර් දිනවන්ඩ පුලුවන් . ” 21 ඇල ඉරක් 4”   කියන්නේ පාස්කු මන්තරේ , ‍තෝ ගහපිය මේ පෝස්ටරේ හැම තාප්පයකම කියලා. 

අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවොත් ඒ කථාවම කීව.    ”21 ඇල ඉරක් 4”  පෝස්ටරේ අලවන එක මහා පිනක් කියලා ලොකු හාමුදුරුවො කීව , ඒ පිනම ඇති නිවන් දකින්ඩ කියලත්  කීව.

ඉතින්  මට තවත් වෙන මොනවද ? ගෝඨාභය මහත්තයා ගමට එනව කියුවම මගේ ඉහේ මලක් පිපුනා වගේ .නමුත් මහත්තයො ඔහේ ගමට ඇවිල්ල මාර කථාවක් නොවැ කීවේ.  ඊයේ ඔහේ කීවනේ, ”අපි බලයට ආවේ පාස්කු ප්‍රහාරය විකුණලා නෙවෙයි”  කියලා. ඒ කියන්නේ මම අලවපු ” 21 ඇල ඉරක් 4”   පොස්ටර් වලින් වැඩක් නැතෙයි?

මට ගම සමග කයියෙදි ඔය ප්‍රශ්නය අහන්ඩත් හිතුනා. ඒ වුනාට ආයේ ඕනෑ කෑ  කියලා හිතුනා. මොකද කරුවලගස්වැව ගම සමග කයියෙදි අවසර නැතිව ප්‍රශ්න අහපු ජයරත්නයට ලැබුන ගුටි පූජාව මතක් වුනා . ඉතින් මම ප්‍රශ්නය අහන්ඩ නැගිටලා ආපහු ඉද ගත්ත.  ඊට පස්සේ තමා මේ ලියුම් කඩදාසිය එවන්ඩ හිතුනේ.

 මීට විශ්වාසී අප්පුහාමි