බැඳුම්කර කාල බෝම්බය විපක්ෂයේ හෙට දවස තීරණය කරන අයුරු ..

ප්‍රේමදාස , ලලිත්, ගාමිනී  වැනි නායකයන් අහිමි වීමෙන් එජාපට  යලි පිළිසකර කළ නොහැකි  හානියක් සිදු විය.  හානිය කොතෙක්දයත් ප්‍රේමදාසගෙන් පසුව  එජාප ජනපතිවරයෙක් පත්කර ගැනීමට නොහැකි විය.  එනම්  අඛන්ඩව පසුගිය  වසර 32 පුරා  රට පාලනය කළේ එජාපට සතුරු ජනපතිවරුය . 2002 සහ 2015 දී  යාන්තමින් ආණ්ඩු අටවා ගැනීමට සමත් වුවද ජනාධිපති වූයේ  උපන්ගෙයි එජාප සතුරන්ය. එම නිසා එම අණ්ඩුවලට පැවැත්මක් නොවීය.චන්ද්‍රිකා ජනාධිපති ධූරයේ තබා 2002 පිහිටවූ එජාප රජය වසර දෙකකට වඩා දිව්වේ නැත. සිරිසේන ජනාධිපති ධූරයේ තබා 2015 පිහිටවූ එජාප ආන්ඩුවටද එම ඉරණම අත්විය .  සිරිසේන සමග කෑ දීගය නිසා  එජාපයට නැත්තටම නැති විය. 

 එජාප  හයිබ්‍රිඩ්  ආන්ඩු සහ  ධනයෙන් බලයෙන් ආඩ්‍ය  රාජපක්ෂ පෙරමුණ

ලංකාවේ තනි විශාලතම දේශපාලන පක්ෂය වූ එජාපය විනාශ වීමට ඔවුන් පිහිටවූ හයිබ්‍රිඩ් ආණ්ඩු ප්‍රමුඛව බලපෑවේය . පසුගිය දශක තුන පුරා එජාපය  සෝදා පාළු විය, රාජපක්ෂ කඳවුර ශක්තිමත් විය, රාජපක්ෂලා තමන්ට ෂුවර් නැති ව්‍යාපාරිකයන් , මාධ්‍යවේදීන් රාජ්‍ය තාන්ත්‍රිකයින් වලපල්ලට යැවූහ . කොතලාවල , කදිරගාමර්, ලසන්ත වලපල්ලට යැවූ අයවළුන්ට සාක්ෂිය .රාජපක්ෂලා තමන්ට හීලෑ  අළුත්  ව්‍යාපාරික ජාලයක් බිහි කලේය, මාධ්‍ය ආයතන ඇති කළේය . සොෆ්ට් ලොජික් පතිරගේ, ඇවන්ට්ගාඩ් සේනාධිපති, දෙරණ දිළිත් , හිරු රෙනෝ, පිරමිඩ්  සජාත් යන ආදී වශයෙන් ලියවෙන රාජපක්ෂවාදී  ලැයිස්තුව  පොඩි නැත . අගනුවර පමනක් නොව  ප්‍රාදේශීයවද  රාජපක්ෂවාදී ව්‍යාපාරික ජාලයක් ඇති දැඩි කළේය . 


දෙරණට , හිරුට දේශපාලන පක්ෂ ‘හයිජැක්’  කිරීමේ සැලසුම් නැත, එවැන්නක් ඇත්තේ සිරසට පමනි 

පඳුරකට ගැසුවද  අද රාජපක්ෂවාදී ව්‍යාපාරිකයන් දුසිම් ගනනක් විසිවන්නේය .නමුත් සජිත්ට රනිල්ට හිතැති ව්‍යාපාරිකයන් දුලබය.කිලී මහරාජා  රාජපක්ෂ විරෝධී කඳවුරේ ප්‍රධාන අනුග්‍රාහකයෙකි. නමුත් කිලී මහරාජා,  දිළිත්ට රෙනෝට වඩා වෙනස්ය.  කිලීගේ අරමුණ ව්‍යාපාරික ගනුදෙනු පමනක් නොවේ.තමන් අනුග්‍රහය දක්වන දේශපාලන පක්ෂය මුළුමනින්ම තමන් යටතට ගැනීමට ඔහුට අවශ්‍යය . හිරු සහ දෙරණ කිසිවිටෙක පොහොට්‍ටුවේ බලය ඇල්ලීමට ගියේ නැත. නායකයා වෙනස් කිරීමට ගියේ නැත . 


සිරස මහරාජා රාජපක්ෂ විරෝධී කඳවුරේ මාධ්‍ය භූමිකාව ඉ‍ටු කළද  බලය පිළිබද සැඟවුන අපේක්ෂාව නිසා තමන්ගේම  කඳවුරට සිදුකල විනාශය අති මහත්ය. එජාපය හේදී යාමට කිලී මහරාජාගේ ක්‍රියා කලාපය  දැඩිව බලපෑවේය . සජිත් සහ ඔහුගේ පක්ෂයටද මෙම තත්වය බලපානු ඇත. සජිත් එක්කෝ කිලීගේ පදයට නැටිය යුතුය නැත්නම් එජාපයට අත්වූ ඉරණමට මුහුණ දීමට සූදානම් විය යුතුය. ප්‍රභාකරන් බලහත්කාරයෙන් දෙමල ජනයාගේ එකම නියෝජිතයා වූයේ යම් සේද,  කිලී මාධ්‍ය සහ ව්‍යාපාරික ඒකාධිකාරයකට මාන බලයි.

යහපාලන ආණ්ඩුවට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය

සිරස මහරාජා එජාපයට හිතවත් තවත් මාධ්‍ය ආයතනයක් ඇති වනවාට  විරුද්ධ විය. සිරස මහරාජාගේ  කේවල් කිරීමේ හැකියාව අඩු වීම ඊට හේතුව විය . යහපාලන ආණ්ඩු කාලයෙදී අර්ජුන ඇලෝසියස්ගේ මුදල් වලින්  එජාප හිතවාදී දැවැන්ත මාධ්‍ය ආයතනයකට අඩිතාලම දැමුවේය. සිරස මහරාජා එවක ජනපති සිරිසේන සමග එක්ව එම සැලසුම  අඩාල කළේය.

එපමනක් නොව  බැඳුම්කරය දේශපාලන සුනාමියක් බවට පත්කිරීමේ මූලිකයා සිරස මහරාජාය. බැඳුම්කරයට කොමිශන් පත් කර රනිල් අගමැති ධූරයෙන් එළවා දැමීමට සිරිසේන සහ කිලී මහරාජා කුමන්ත්‍රණය කළහ. කිලී තමන්ට හිලෑ නැති රනිල්  දුර්වල කිරීමට දඟ දැමුවේය. අවසානයේ රනිල් නැසීමට  ඇටවු බැඳුම් කර බෝම්බයෙන් යහ පාලන රජය විනාශ විය.

 රාජපක්ෂලා තමන්ට උදව් කරන ව්‍යාපාරිකයන් ‍රැක බලා ගන්නේ ඇහැක් මෙනි  

වත්මන් රජයේ පොත් තෙල්, සීනි, සහ සිගරට් වංචාව කෝටි 6000 කට ආසන්නය ( බැඳුම්කරය මෙන් පස් ගුණයකි). ගෝඨාණ්ඩුව කියන්නේ එය ‘වංචාවක්’ නොව ‘පාඩුවක්’ බවය. ගෝඨාණ්ඩුව ඒවා සෙවීමට කොමිසන් පත් කරන්නේ නැත. රජයට පාඩු වුනා කියා මුදල් ඇමති ගෙදර යවන්නේ නැත .


සීනි,පොල්තෙල් ගණුදෙනුවෙන් කෝටි 5000 කට ආසන්න මුදලක් ගියේ සජාත් මව්සීන්ගේ සාක්කුවටය. සජාත් බැසිල්ගේ හිතවතෙකි. ගෝඨාගේද හිතවතෙකි. මොහු යහ පාලන රජය පැරදවීමට අතදිග හැර වියදම් කළ අයෙකි. ගොඨාණ්ඩුව ගහට පොත්ත මෙන් ව්‍යාපාරිකයන් සමග වෙලී ඇත . සීනි පොල් තෙල් වංචාවේ අලාභය බිලියන  කීය වුවද සාජාත් මව්සීන්ගේ මයිලකට වත් හානි නැත. 


විපක්ෂය රාජපක්ෂ දේශපාලනයෙන් උගත යුතු පාඩම් බොහෝමය 

රටක ආණ්ඩු පෙරළි නිකම් සිදුවන ඒවා නොවේ.දැවැන්ත පිරිවැයක් ඒ පි‍ටුපස ඇත . රවී 2002 සහ 2015  බලපෙරළි වල  ප්‍රධාන සම්පත් දායකයෙකු විය. එමෙන්ම රවී කාර්ය බහුල දේශපාලන අගනගරයේ කෝකටත් තෛලය විය . අර්ජුන් ඇලෝසියස් පක්ෂය වෙනුවෙන් මාධ්‍ය ජාලයක් තැනීමට කෝටි 600 කට ආසන්න මුදලක් ආයෝජනය කළේය. මේවාට ආයෝජනය කළේ බැඳුම්කර විකිනීමෙන් ලද ලාභයය. නමුත් එජාපයට හිතැති ව්‍යාපාරිකයන් ‍රැක ගැනීමට එජාපයට නොහැකි විය. 


 රාජපක්ෂ සමයේ බැඳුම්කර විකුනූ  එන් ට්‍රස්ට් සමාගමට ලැබුන මුක්තිය ඇලෝසියස්ගේ ප්ර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට ලැබුනේ නැත. මුදල් ඇමති මහින්දට ලැබුන මුක්තිය රවීට ලැබුනේ නැත. සාජාත් මව්සීන්ට ලැබුන මුක්තිය ඇලෝසියස්ට නැත. ධනයෙන් බලයෙන්  , බර අවි වලින් සංනද්ධ රාජපක්ෂ කඳවුර  කැටපෝල වලින් පරාජය කළ හැකි යයි කිසිවෙකු සිතන්නේ නම් ඒ සදහා බොහෝ කලක් බලා සිටීමට සිදු වනු ඇත  

  විපක්ෂය භේද බින්න කිරීමේ රාජපක්ෂ සැලසුම 

 
ප්‍රතිවාදියාගේ කඳවුර භේද බින්න කිරීම රාජපක්ෂලා අනුගමනය කරන ප්‍රධාන උපක්‍රමයකි. ගෝඨාණ්ඩුව බැඳුම්කර නඩුව එක දිගට විභාග කිරීමට විශේෂ මහාධිකරණයක් පණවා ඇත . හිටපු මුදල් ඇමති රවී රක්ෂිත බන්ධනාගාර ගත කළේය. එය රනිල් අපේක්ෂා   කළ සිදු වීමක් නොවිය. එය දැනගත් සැනින් රනිල්, රවීගේ ගෙදර ගියේය. රවීට අත්වූ ඉරණම  සිය දේශපාලන දිවියේදී තමන් මුහුණ පෑ සංවේදීම සිදුවීම බව රනිල් කීවේය . බැඳුම්කරයේ ප්‍රතිවිපාක එජාප හිතවාදීන් තුල ඇති කරන  සහකම්පනය  සජිත්ට  එරෙහි  බෙදුම් රේඛාව තවත් ශක්තිමත් කරනු ඇත


එන් ට්‍රස්ට්  , සජාත් මව්සූඩ් ,   සජින් , ජොන්ස්ටන්, රෝහිත , මහින්දානන්ද නිදොස් කොට නිදහස් කරන පසුබිමක ‘බැදුම්කරය’ නඩුවකට වඩා අවනඩුවක් වනු ඇත . යම් හෙයකින්  රවි සහ අලෝසියස්  වරදකරුවන් වුව හොත්  බැඳුම්කරය දේශපාලන සුනාමියක් බවට පත් කළ  කිලී-සජිත්-සිරිසේන එජාප පාක්ෂිකයන්ගේ ගර්භාවට ලක් වනු ඇත.එවැනි පසුබිමක් තුල එජාපය සහ සජබ එක් කිරීම දුෂ්කර වනු ඇත . විපක්ෂය භේද බින්න කිරීමේ රාජපක්ෂ සැලසුම සාර්ථක වනු ඇත

ලංකා ඊ නිවුස් උපුටා ගැනීමකි